ජනපති, හිටපු ජනපති සාකච්ඡා: 'තීරණයක් නෑ'

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පැවති සාකච්ඡා තීන්දුවකින් තොරව නිමා වූ බව බීබීසී සංදේශයට වාර්තා වේ.
සාකච්ඡාවල ප්‍රගතිය ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවට දැනුම් දෙන බවයි, අමාත්‍ය දුමින්ද දිසානායක සාකච්ඡාව අවසානයේ මාධ්‍යවේදීන්ට කියා සිටියේ.
රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක සහ එම්කේඩීඑස් ගුණවර්ධන අමාත්‍යවරුන් මෙන්ම අනුර ප්‍රියදර්ශන යාපා සහ ෆයිසර් මුස්තාෆා මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡාවට සහභාගි වූහ.
'රනිල් ගෙදර යැවීම'
ඩලස් අලහප්පෙරුම, කුමාර් වෙල්ගම, ජීඑල් පීරිස්, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡාවට එක්වී සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, AP AFP
නායකයන් දෙදෙනා අතර සාකච්ඡාවේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කොට අගමැති රනිල් වික්‍රමසිංහ 'ගෙදර යැවීම' බවයි ශ්‍රීලනිපයේ ප්‍රකාශක ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.
එහෙත් තමන් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ 63 ලක්ෂයක් ඡන්දදායකයන් තමන් කෙරෙහි තැබූ විශ්වාසය බිඳ නොදමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
සාකච්ඡාවේ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාළ කරුණු පිළිබඳව පමණක් බවද එම නිවේදනයේ සඳහන් විය.
ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා කළ ප්‍රකාශය සත්‍යයක් නම් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට ලැබුණු ජනවරමට පිටුපෑමක් බව බීබීසී සංදේශයට කියා සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, ජනාධිපතිවරයා ඒ පිළිබඳව සිය ස්ථාවරය හෙළි කළ යුතු බව අවධාරණය කළේය.
ජනවාරි අට වැනි දින ජනපතිවරණයෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා මුණගැසුණු දෙවැනි වතාව මෙයයි.








