මට විරුද්ධව දේශපාලන හස්තයක් - මහින්ද

ඡායාරූප මූලාශ්‍රය, AFP

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රැස්වීමකට ගිනි අවියක් ගෙන ඒමේ චෝදනාව මත යුද හමුදා කෝප්‍රල්වරයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා හා තම පවුලේ සමාජිකයන්ට එරෙහිව ඇති දේශපාලන හා පුද්ගලික කෝන්තරවලට යුද හමුදා හෝ පොලිස් නිලධාරීන් පටලවා නොගන්නා මෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.

ඉකුත් අප්‍රෙල් 25 වනදා ජනාධිපතිවරයා ද සහභාගී වූ ශ්‍රී.ල.නි.ප. හම්බන්තොට දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමට ගිණි අවියක් රැගෙන ඒමේ චෝදනාව මත යුද හමුදාවේ කොප්රල් සේනක කුමාර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

කෝප්රල් කුමාර අත්අඩංගුවට ගැනීම තමාටත්, තමා සමග සිටින සැමටත්, තම පවුලේ සාමාජිකයන්ටත් එරෙහිව දිගින් දිගටම ගෙන යන අවලාද හා අඩන්තේට්ටම් ව්‍යාපාරයේ තවත් අංගයක් බව පැහැදිලි බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කොට ඇත.

දේශපාලන හස්තයක්

“මීට කලින් අවස්ථාවකදී මමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අතර හමුවකට දින යොදා ගෙන තිබිය දී මාගේ සොයුරු බැසිල් රාජපක්‍ෂ සිර භාරයට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී. දැන් නැවතත් එම හමුව සඳහා දිනයක් නියම වී තිබෙන අවස්ථාවක මාගේ ආරක්ෂක බල ඇණියේ සාමාජිකයකු සිර භාරයට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත. අද හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද හිර භාරයට ගන්නා ලදී. මේ සිදුවීම් සියල්ල දේශපාලන හස්තයක් විසින් මෙහෙයවන ඒවා බව පැහැදිලිය, ” හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවදුරටත් සිය නිවේදනයේ සඳහන් කරයි.