මහින්දගේ ප්‍රචාරයට හෙලිකොප්ටර්: 'මුදල් ගෙවා නෑ'

හිටපු ජනපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් යොදාගත් ගුවන් හමුදා යානා වෙනුවෙන් 'මුදල් ඉල්ලා දැනුම්දීමක් කරනවා'

ඡායාරූප මූලාශ්‍රය, airforce.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් යොදාගත් ගුවන් හමුදා යානා වෙනුවෙන් 'මුදල් ඉල්ලා දැනුම්දීමක් කරනවා'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා වෙනුවෙන් තවමත් මුදල් ගෙවා නැති බව ආරක්ෂක අමාත්‍යාංශය සනාථ කළේය.

හිටපු ජනපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදීම පිණිස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් යොදා ගැනුන හෙලිකොප්ටර් චාරිකා 23 ක් ඇතුළු හිටපු අමාත්‍යවරුන්ගේ චාරිකා ගණනාවක් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක මුදලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතුව තිබෙන බව <link type="page"><caption> සන්ඩේ ටයිම්ස් පුවත්පත</caption><url href="http://www.sundaytimes.lk/150412/columns/144396-144396.html" platform="highweb"/></link> වාර්තා කොට තිබුණි.

හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, සුසිල් ප්‍රේම්ජයන්ත් සහ විමල් වීරවංශ හිටපු අමාත්‍යවරුන් භාවිත කළ හෙලිකොප්ටර් යානා වෙනුවෙන්ද තවමත් මුදල් ගෙවා නැති බවයි පුවත්පත පවසන්නේ.

එම වාර්තාව සත්‍ය බව බීබීසී සංදේශය කළ විමසීමකදී සනාථ කළ ආරක්ෂක අමාත්‍යංශයේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වන ලද පරීක්ෂණ වාර්තාවක තොරතුරු මත පුවත්පතේ වාර්තාව පදනම් වී තිබෙන බව කියා සිටියේය.

ජනමාධ්‍යවලට අදහස් දැක්වීමට අවසර නොමැති බැවින් සිය නම හෙළි නොකරන මෙන් එම ආරංචි මාර්ගය සංදේශයෙන් ඉල්ලා සිටියේය.

ගුවන් හමුදාවට අයවිය යුතුව තිබෙන එම මුදල් ගෙවන මෙන් අදාළ පුද්ගලයන්ට ඉතා ඉක්මනින්ම දැනුම්දීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.