මහින්ද අගමැති කිරීමේ රැළි 'මැතිවරණ රැළි වේවි'

"හිටපු ජනාධිපතිතුමා මැතිවරණයට තරඟ කරනව නම් එතකොට සියලු දෙනාම එකම වේදිකාවේ නේ කතාකරන්නේ?"
ඡායාරූප ශීර්ෂ වැකිය, "හිටපු ජනාධිපතිතුමා මැතිවරණයට තරඟ කරනව නම් එතකොට සියලු දෙනාම එකම වේදිකාවේ නේ කතාකරන්නේ?"
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සිංහල සේවය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙසින් නම්කරන මෙන් ඉල්ලන උද්ඝෝෂණ රැළි මින් අනතුරුව සිය මැතිවරණ ප්‍රචාරක රැළි බවට පත්වනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහලේකම්වරයා පවසයි.

හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට අවශ්‍ය නම් එයට කිසිදු විරුද්ධත්වයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෙනසුරාදා සන්ධානයේ නායකයන් හමුවේ ප්‍රකාශකිරීමත් සමඟ එවැනි හැකියාවක් උද්ගත වන බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් බීබීසී සංදේශයට කියා සිටියේ.

ඔහු ඒ බව කියා සිටියේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රකාශයත් සමඟ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂක ලෙසින් නම් කරන මෙන් ඉල්ලා දියත්වන උද්ඝෝෂණවලට සහභාගිවීම තහනම් කිරීමේ නියෝගය අහෝසි වන්නේ දැයි බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

'අගමැති අපේක්ෂකයෙක් නෑ'

"දැන් එහෙම ප්‍රශ්නයක් එන්නේ නෑනේ? හිටපු ජනාධිපතිතුමා මැතිවරණයට තරඟ කරනව නම් එතකොට සියලු දෙනාම එකම වේදිකාවේ නේ කතාකරන්නේ?," ඔහු පැවසීය.

එළඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාද එයට සම්බන්ධ කරගෙන එක්සත්ව තරඟ වැදිය යුතු බව සන්ධානයේ 'අති බහුතරයක' විශ්වාසය බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

"ඒ රැස්වීම් මාලාවයි, ඒ සියල්ලම එතකොට උද්ඝෝෂණය කිරීමේ රැස්වීම් නෙවෙයි, මැතිවරණ ව්‍යාපාරයේ රැස්වීම් විදියට ඒ රැස්වීම් ටික පවත්වාගෙන යන්න පුළුවන්."

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්ප්‍රදායයක් වශයෙන් අගමැති අපේක්ෂකයකු නම් නොකරන බවයි, පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මේ තත්වය යටතේ සාලින්ද දිසානායක, එස්එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටීබී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකුගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණයද බොහෝ දුරට යළි සලකා බැලෙනු ඇති බවත් ඔහු පැවසීය.