පක්ෂ විනය කැඩූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්ට දඬුවම්

ඉවත් කරනු ලැබුණ මධ්‍යම කාරක සභිකයෙක්-බන්දුල ගුණවර්ධන
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉවත් කරනු ලැබුණ මධ්‍යම කාරක සභිකයෙක්-බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය සිය මධ්‍යම කාරක සභිකයන් පස්දෙනකු ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

සාලින්ද දිසානායක, එස් එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, ටී බී ඒකනායක සහ රෝහිත අබේගුණවර්ධන යන මධ්‍යම කාරක සභිකයන් පස්දෙනාගේයි සාමාජිකත්වය අත්හිටවනු ලැබ තිබෙන්නේ.

පසුගිය පස් වැනි දා මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබුණ තීන්දුවලට පටහැනිව කටයුතු කිරීම එවැනි පියවරක් ගැනීමට හේතු වූ බව ඉහත කී මධ්‍යම කාරක සභිකයන්ට ඔවුන් ඉවත් කරනු ලැබීම දැනුම් දීමේ ලියුම්වල සඳහන් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.

මහින්දවාදීන්

ඉවත් කරනු ලැබුණ මධ්‍යම කාරක සභිකයෙක්- සාලින්ද දිසානායක.

ඡායාරූප මූලාශ්‍රය, indigenousmedimini.gov.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉවත් කරනු ලැබුණ මධ්‍යම කාරක සභිකයෙක්- සාලින්ද දිසානායක.

ඉහත සඳහන් පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කොට ඇති සාමාජිකයන් සියලු දෙනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධූර අපේක්ෂකයා වශයෙන් පක්ෂය තුළට යළි ගෙන ඒමට කටයුතු කරන දේශපාලනඥයෝ වෙති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පෙර කී මධ්‍යම කාරක සභිකයන් ඉවත් කිරීමේ ලිපිවලට අත්සන් තබනු ලැබ ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි.

හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දීම් වස් සංවිධානය කෙරෙන මහජන රැලිවලට සහභාගී වීමෙන් වළකින මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය සාමාජිකයන්ට දැනුම් දෙනු ලැබයි තිබුණේ.

එහෙත් එම උපදේශය නොතකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් එවැනි රැලිවලට සහභාගී වෙමින් සිටිති.