විපක්ෂය මැඩලීමේ සැලැස්මක් - කැෆේ

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීමේ උපාය මාර්ගයක නිරත වී සිටින බවට කැෆේ සංවිධානය චෝදනා කරයි.
ජනාධිපතිවරණයට පෙර විපක්ෂ ක්‍රියාකාරීන් නිහඬ කිරීමේ එම සැලැස්මේ කොටසක් වශයෙන් පසුගියදා ප්‍රහාර කිහිපයක්ම එල්ල කර ඇති බවයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරය (CaFFE) පවසන්නේ.
නාවලපිටිය ඡන්ද කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ නිවසකට අඟහරුවාදා ගල් ගසා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව කැෆේ සංවිධානය පවසයි.
දින පහක් ඇතුළත විපක්ෂයේ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් ඉලක්ක කර එල්ල වූ තෙවැනි ප්‍රහාරය මෙය බව එම සංවිධානය කියා සිටියි.
ආණ්ඩුවෙන් 'ප්‍රහාර'
‘ප්‍රබල ආධාර ඇතිව විපක්ෂ දේශපාලනඥයන් ඉලක්ක කරලා ආණ්ඩුව ප්‍රහාර ගණනාවක් දියත් කරලා තියනවා. මේ ප්‍රහාර වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්’ යනුවෙන් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, CAFFE
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සඳහා නාවලපිටිය ඡන්ද කොට්ඨාශය ප්‍රසිද්ධියක් උසුලන අතර දෙදහස් දහය වසරේ පැවති මහ මැතිවරණය එම කොට්ඨාශයේ නැවත පැවැත්වීමට සිදු විය.
ඉහත කී ප්‍රහාරය එල්ල වූ නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය නව ආසන සංවිධායක ආනන්ද අලුත්ගමගේ විසින් සංවිධානය කර තිබූ අතර ඊට එම පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වීමට නියමිතව සිටි බව කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මීට අමතරව ගිරිඋල්ල ප්‍රදේශයේදී ද එක්සත් ජාතික පක්ෂ අධාරකරුවන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය වැඩි දුරටත් පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාරට අයත් කරුවලගස්වැව හොටලයකටද සඳුදා ප්‍රහාරයක් එල්ල කෙරුණු බවත් කැෆේ සංවිධානය වාර්තා කරයි.








