‘ගහන්නෙත් නැහැ- ගුටි කන්නෙත් නැහැ’- ඩිලාන් පෙරේරා

පසුගිය විසි වෙනි දින අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව සිදු කෙරුණ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නවයක් අද බ්‍රහස්පතින්දා වන විට වාර්තා වී ඇති බව මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.
ඌව පළාත් සභා මැතිවරණයට පසු සිදු කරනු ලැබ ඇති ප්‍රචණ්ඩ පහර දීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කාර්යයේ නිරත වෙන ප්‍රධාන සංවිධාන තුන වන CMEV, CAFFE සහ PAFFREL ආයතන ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරමින් කියා සිටින්නේ විපක්ෂයේ දේශපාලනඥයන්, ඔවුන්ගේ ආධාරකරුවන් සහ දේපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කොට ඇති බවයි.
රාජ්‍ය බලය යොදා ගනිමින්

ඡායාරූප මූලාශ්‍රය, dilanperera.com
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක බීබීසී සංදේශයට අදහස් දක්වමින්, සමස්ත පූර්ව මැතිවරණ සමය පුරාම ප්‍රචණ්ඩත්වය පමණක් නොව රාජ්‍ය බලයත් යොදා ගත් දේශපාලන කණ්ඩායම් පශ්චාත් මැතිවරණ සමයේත් ප්‍රතිවාදී දේශපාලන පක්ෂ ඉලක්ක කොට පහර දී ඇති බව සිය නිරීක්ෂකයන් විසින් වාර්තා කරනු ලැබ ඇති බවයි කියා සිටියේ.
ඌව පළාතේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබන ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ගෙන් එක් අයකු වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා ඇමතිවරයා හාලිඇල ආසනයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම් අතර සිටි බව එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා CMEV ආයතනයට දැනුම් දී ඇති බව මැතිවරණ නිරීක්ෂක ආයතන වල ඒකාබද්ධ ප්‍රකාශනයේ දැක්වෙයි.
‘ගුටි කන්නේ නැහැ’
එම චෝදනාව සම්බන්ධයෙන් බීබීසී සංදේශය ඩිලාන් පෙරේරා ඇමතිවරයාගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, මැතිවරණ නිරීක්ෂක සංවිධාන එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් හැටියට ක්‍රියාත්මක වෙන බවයි.
තමා කිසිදාක පූර්ව හෝ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හවුල් වී නැති බව කියා සිටි ඇමතිවරයා ‘අපි කාටවත් ගහන්නෙත් නැහැ - හැබැයි ගහන්න ආවොත් ගුටි කන්නෙත් නැහැ’ යි කියමින් සාකච්ඡාව නිම කළේය.
මෙවර ඌව පළාත් සභා මැතිවරණය ‘සාපේක්ෂ මට්ටමින්’ සාර්ථක ආකාරයට පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා උත්සාහ ගත් නමුත් පොලිසියෙන් ඉල්ලා සිටි සහයෝගයවත් නොලැබුන බවයි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක බීබීසී සංදේශයට කියා සිටියේ.




