ඌවේ අංක තහඩු නැති ‘ඩිෆෙන්ඩර් ’ විවාදය

ඡායාරූප මූලාශ්‍රය, CAFFE
තමන් විසින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කරනු ලැබීමෙන් පසුවත් ඌව පළාතේ අංක තහඩු නොමැති සැක කටයුතු වාහන සැරි සරමින් ඇතැයි නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන ආයතනය (කැෆේ) පවසයි.
එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී කියා සිටියේ, එවැනි වාහන කීපයක් ම සිය ආයතනයේ මැතිවරණ නිරීක්ෂකයන් විසින් දැක ඇති බවයි.
කැෆේ සංවිධානය විසින් පැමිණිලි කරනු ලැබීමෙන් අනතුරුව අංක තහඩු නොමැති වාහන අල්ලා ගැනීමේ මෙහෙයුමක් ගෙන ගියත් තමන්ට එවැනි කිසිදු වාහනයක් සොයා ගත නොහැකි වූ බවයි,ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, CAFFE
“අංක තහඩු නොමැති සුදු පාට ‘ඩිෆෙන්ඩර්’ රථ සැරිසරන බව පවසමින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කරලා තිබුණා. මමත් මගේ නිලධාරීනුත් ඊයේ රාත්‍රිය පුරාම මෙහෙයුමක් කළා. කනගාටුයි කියන්න, අපට එක ඩිෆෙන්ඩර් වාහනයක් සොයා ගන්න බැරි වුනා” නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු පවසයි.
පොලිසිය ඉදිරිපිටත්
එහෙත් එම ප්‍රකාශයෙන් පැය කීපයකට පසුවත් එවැනි වාහන දුටු බවයි කැෆේ මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ.
සැප්තැම්බර් නවය සහ දහය යන දින දෙකේම අංක තහඩු නොමැති වාහන පස්සර ,බදුල්ල මොනරාගල ප්‍රදේශවල සැරිසරා ඇති බවයි කැෆේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ ඇති මාධ්‍ය ප්‍රකාශනයක දැක්වෙන්නේ.
“ C 2014-2915 අංක දරන ‘ඩිෆෙන්ඩර්’ රථය මොනරාගල පොලිසිය ඉදිරිපිට නතර කර තබා තිබුණේ මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් ගන්නා ජීප් රථය ඉදිරිපිටයි” රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ප්‍රහාර වලට යොදා ගැනීම
අද, සැප්තැම්බර් දහවෙනි දින මොනරාගල රෝහල ඉදිරිපිට එවැනි වාහනයක් නතර කර තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර කැෆේ සංවිධානයට දැනුම් දී ඇත.
පසුගියදා විපක්ෂයේ ආධාරකරුවන්ට ප්‍රහාර කීපයක් ම එල්ල කෙරුණ අතර ප්‍රහාරකයන් ගමන් ගත්තේ අංක තහඩු නැති ඩිෆෙන්ඩර් රථවලින් බවයි ඊට ගොදුරුවූවන් පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, CAFFE
ඌව පළාතේ සැරි සරණ අංක තහඩු නැති 'ඩිෆෙන්ඩර්' රථ ඇතුළත් ඡායාරූප 'කැෆේ' මැතිවරණ නිරීක්ෂකයන් විසින් නිකුත් කරනු ලැබ ඇති අතර ඒවාට මාධ්‍යය මගින් විශාල ප්‍රසිද්ධියක් දී ඇත.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




