උතුරේ පාසල් සිසුන්ගෙන් සියයට හතළිහකට මන්දපෝෂණය

ඡායාරූප මූලාශ්‍රය, AP

    • Author, දිනසේන රතුගමගේ
    • Role, වවුනියාවේ සිට

උතුරු පළාත තුළ සිටින පාසල් සිසුන්ගෙන් සියයට හතළිහක් මෙන්ම ගර්භණී මවුවරුන්ගෙන් සියයට තිස්පහක් මන්දපෝෂණයෙන් පෙළෙන බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හෙළි වූ බව කියා සිටි අමාත්‍යවරයා උතුරු පළාතේ සිටින මන්දපෝෂණ රෝගීන් සංඛ්‍යාව වසරින් වසර වැඩිවන තත්ත්වයක් පෙන්නුම් කරණ බවයි ප්‍රකාශ කළේ.

රුධිරයේ ඇති රතු සෛල ප්‍රමාණය අඩුකම,වයසට සමානුපාතිකව උස සහ බර නොමැතිකම මෙම රෝගීන් අතර දක්නට ලැබෙන ප්‍රධාන තත්ත්වයන් බවද පී.සත්‍යලිංගම් කියා සිටියේය.

යුද පරිසරය

උතුරු පළාත තුළ මේ අන්දමට මන්දපෝෂණ රෝගී තත්ත්වයක් වර්ධනය වූයේ කෙසේදැයි ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ වසර තිහක යුද පරිසරයක් තුළ උතුරේ වැසියන්ට පෝෂ්‍යදායක ආහාර පාන නොලැබීමත් යුද ගැටුම් හේතුවෙන් ඉතා දීර්ඝ කාලයක්ම එම පළාත් වැසියන් මානසික පීඩනයකට ලක්වීමත් යන කාරණා මේ තත්ත්වයට හේතු විය හැකි බවයි.

යුද්ධයේදී ඥාතීන් මියයාම,මිනිසුන් මියයන අන්දම සියැසින් දැකීම,යුද ගැටුම් වලට බියවීම යන හේතූන් මත ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහී යාම මන්දපෝෂණ තත්ත්වයට බෙහෙවින් බල පා ඇති වග පෙන්වා දුන් පී.සත්‍යලිංගම් වෛද්‍යවරයා උතුරේ වැසියන්ගේ වැරදි ජීවන රටාවන් සහ යහපත් සෞඛ්‍ය පෝෂණ ක්‍රමයන් ගැන ඔවුන්ට ඇති අල්ප දැණුමද ඊට බලපා ඇතැයි ප්‍රකාශ කළේය.

විශේෂ වැඩපිලිවෙලක්

කෙසේවෙතත් උතුරු පළාතෙන් මෙම මන්දපෝෂණ තත්ත්වය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම පිණිස රජයේද ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍යංශයේද සහාය ලබාගෙන උතුරු පළාත් සභාව විශේෂ වැඩපිලිවෙලක් දැනටමත් දියත් කොට ඇති බව කී පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට උතුරු පළාත් සභාවේ අධ්‍යාපන,සෞඛ්‍ය,හා කෘෂිකර්ම අමාත්‍යංශ වල සහාය ලැබී ඇතැයිද කියා සිටියේය.

උතුරු පළාත තුලින් මන්දපෝෂණය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම පිණිස අවම වශයෙන් වසර හතරක කාලයක්වත් ගතවිය හැකි බවටද උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් වෛද්‍යවරයා සිය විශ්වසය පළ කළේය.