ක්‍රිකට්: අලුත් අතුරු පාලක මණ්ඩලයක්?

මාස ගණනාවක් මුළුල්ලේ පැවති අර්බුදය 'දැන් උත්සන්න වෙලා'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මාස ගණනාවක් මුළුල්ලේ පැවති අර්බුදය 'දැන් උත්සන්න වෙලා'

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නායකයන් දෙදෙනා අතර හටගෙන තිබෙන ගැටුමක් හේතුවෙන් ආයතනයේ පරිපාලනය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙන බව ක්‍රීඩා විශ්ලේෂකයෝ පවසති.

අර්බුදය කෙතරම් උත්සන්න වී තිබෙන්නේද යත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම හැර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට විකල්පයක් නැති බවයි, ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා සංදේශයට කියා සිටියේ.

මාස හයකට ආසන්න කාලයක් මුළුල්ලේ සභාපති ජයන්ත ධර්මදාස සහ ලේකම් නිශාන්ත රණතුංග අතර පවතින ගැටුම මේ වන විට උච්ඡතම තත්වයකට පත් වී ඇති බව පවසන ඔහු, සභාපතිවරයාට සහ ලේකම්වරයාට සහාය දක්වන පාර්ශවයන් එකිනෙකාට චෝදනා කරමින් <link type="page"><caption> ඊමේල් පණිවුඩ</caption><url href="http://www.dailymirror.lk/top-story/52297-slc-volcano-about-to-erupt.html" platform="highweb"/></link> හුවමාරු කරගන්නා තත්වයක් මතු වී තිබෙන බවද කියා සිටියේය.

'මට නම් පේන විදියට ඇමතිවරයාට වෙන පියවරක් ඉතිරිවෙලා නෑ'

ඡායාරූප මූලාශ්‍රය, facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මට නම් පේන විදියට ඇමතිවරයාට වෙන පියවරක් ඉතිරිවෙලා නෑ'

විශේෂයෙන්ම බංග්ලාදේශයේ පැවැත්වුන විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කොට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මහේල ජයවර්ධන <link type="page"><caption> නිශාන්ත රණතුංගගේ ක්‍රියාකලාපය</caption><url href="http://www.bbc.co.uk/sinhala/sport/2014/04/140408_cricket_mahela_retirement.shtml" platform="highweb"/></link> දෝෂදර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව මෙම ගැටුම ප්‍රසිද්ධියේම දක්නට ලැබුන බවත් චන්නක ද සිල්වා සඳහන් කළේය.

ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාට තවත් බලතල පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගැනීමෙන් අනතුරුව ප්‍රධාන විධායක නිලධාරියා ගත් තීන්දු හේතුවෙන් ආයතනයේ සුළු සේවකයන්ද දෙපිලකට බෙදී සිටින බවත් ඔහු පවසයි.

අර්බුදය විසදීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා මැදිහත් වූ බවත්, ක්‍රීඩා අමාත්‍යවරයාද කිහිප වරක්ම දෙපාර්ශවය කැඳවා සාකච්ඡා කොට දෙපාර්ශවය සමගි කිරීමට උත්සාහ දැරූ බවත් සංදේශයට කියා සිටි ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා කර්තෘවරයා, දැන් ඒ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී තිබෙන බැවින් අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම හැර ඔහුට විකලපයක් තිබෙන හැඩක් දකින්නට නැති බවත් සඳහන් කළේය.

මේ තත්වය පිළිබඳව විමසීම පිණිස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත ධර්මදාස සහ නිශාන්ත රණතුංග ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.