රැකවරණය පතා ඕස්ට්‍රේලියාවට ගිය හතළිස් එකක් ආපසු එවයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඕස්ට්‍රේලියාවේ සරණාගත භාවය පතා බෝට්ටුවක් මගින් එහි මුහුදු තීරයට පිවිසි ශ්‍රී ලාංකිකයන් හතළිස් එක් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉරිදා මඩකලපුව වරාය ආසන්නයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර දුන් බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.
ශ්‍රී ලංකාවට භාර දුන් සරණාගතයන් හතළිස් එක් දෙනාගෙන් තිස්හත් දෙනෙක් සිංහල ජාතිකයන් වන අතර සෙසු හතර දෙනා ද්‍රවිඩ ජාතිකයන් බවයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කරන්නේ.
මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මීට ඉහතදීත් පුද්ගලයන් දෙසීයක් පමණ මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව වෙත භාර දීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර ඇති බවයි.
වද හිංසනයට
මෙසේ භාර දුන් පුද්ගලයන් අතර ශ්‍රී ලංකාව තුළ වද හිංසනයට ලක් වූ දෙමළ ජාතිකයන්ද සිටින බව මානව හිමිකම් සංවිධාන සඳහන් කරයි.
බෝට්ටු දෙකකින් ඕස්ට්‍රේලියානු මුහුදු තීරයට ලඟා වී සිටින දෙසීයකට අධික ශ්‍රී ලාංකික සරණාගතයන් සම්බන්ධයෙන් පසුගිය සතියේ ජාත්‍යන්තර අවධානය යොමු වූ අතර ඇතැම් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කලේ මෙලෙස පැමිණි සරණාගතයන් රැගෙන යාමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ඔස්ට්‍රේලියාව දෙසට ගමන් ආරම්භ කර ඇති බවයි.
එම වාර්තා ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රතික්ෂේප කල අතර ඔවුන් පැවසුවේ මුහුදු තීරයේ දී සිදු වන සරණාගත හුවමාරුවක් පිළිබඳ තමන් කිසිදු තොරතුරක් නොදන්නා බවයි.
පුද්ගලයන් එක සිය පනස් දෙනකු රැගත් ශ්‍රී ලංකාවට අයත් අනෙක් බෝට්ටුව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය කිසිවක් ප්‍රකාශ කර නොමැත.




