"දරුවන් වැදුව කියලා ඔවුන්ට හිංසා කරන්න අම්මටවත් බැහැ" - සඳමාලිගේ කතාව

ඡායාරූප මූලාශ්‍රය, SandamaliDissanayake
- Author, දැහැමි රණවීර
- Role, BBC සිංහල
අනේකවිධ දුක් කම්කටොළුවලින් පිරී තිබුණ ඇයගේ දිවිමග තවමත් සිය "සිහිනයේ" නතර වී නොමැත. අසීමිත බාධක මධ්‍යයේ ඉහළ අධ්‍යාපනයක් ලැබූ තිස්දෙහැවිදිරි ඇය වර්තමානයේ දී යුරෝපා රටක රැකියාවක නිරත වෙමින් සිටින්නීය. දුෂ්කරතා මධ්‍යයේ දිවිමග "ජයග්‍රහණය" කරා යොමු කළ ඇය සඳමාලි දිසානායක නමින් හඳුන්වන ලෙස ඉල්ලා සිටියාය.
ඇය බීබීසී සිංහල සේවයට හෙළි කළ කතාවයි, මේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක ඉපිද හැදී වැඩුණු සඳමාලිට සිටියේ මව පමණි. පියාගේ සෙනෙහස කිසිදිනෙක නොලැබුණු ඇයට මවගේ ආදරය ද නොලැබුණු තරම්ය.
"මට හිටියේ දරදඬු අම්මා කෙනෙක්. අසීමිත බැණුම්, ගුටි කෑම් මැද්දේ පොඩි කාලයේ ජීවිතේ ගෙවුණේ එක එක ගෙවල්වල. අම්මට කුලී වැඩ නැති දවස් ගණන් ගෙවෙද්දි කොහිල අල ටිකකින්, මඤ්ඤොක්කා අල ටිකකින්, තම්බපු බඩ ඉරිඟු කරල් දෙක තුනකින්, වරක මදුල් ටිකකින්, කොස් ඇට ටිකකින්, බැදපු ඉරිඟු ඇට සෝයා ඇට ටිකකින් ගෙවපු දවස් ඕනෑ තරම්," සඳමාලි සිය කතාව ආරම්භ කරමින් පැවසුවාය.
"ඒ 1995 අවුරුද්ද. මට වයස අවුරුදු අටයි; මල්ලිට අවුරුදු තුනයි. අම්මට අපිට කන්න දෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ගමේ කුලී වැඩ හැමදාම නෑ. මාවයි මල්ලිවයි කාට හරි භාරදීලා අට වසරෙ හිටපු අක්කව ඉස්කෝලෙන් අස්කරගෙන අම්මා කොළඹ යන්න තීරණය කරල තිබුණා ගෘහ සේවිකාවක් විදියට.
අපේ ගෙදරට කිලෝමීටර් දෙකක් විතර ඈතින් නෑදෑ කෙනෙකුගේ මැටි පැලක අපිව නැවැත්තුවා. ඒ කාලෙ ඒ පැත්ත මහ කැළේ. ගෙයක් තිබුණේ කළාතුරකින්. ඒකත් දුරින් දුරට. කරන්ට් අරන් තිබුණෙත් නැහැ.
ඒ නෑදෑ ගෙදර එකම වධකාගාරයක් විදියට දැණුනත් ඒ වයසට එතනින් පිටමං වෙන්න මම දැනං හිටියේ නැහැ. මාමා කුලී වැඩට ගිහින් හැමදාම හවසට ගෙදර එන්නෙ වැනි වැනී. ඒ ඇවිත් නැන්දට වධ දෙනවා. ගෙදර වළන් මුට්ටි උයපු කෑමත් එක්කම අහසට ඉගිළෙනවා.
නැන්දගෙ රෙදි දාපු පොහොර උරේ එළියට අරන් ගිහින් ගිණි තියනවා මිදුල මැදට රෙදි ටික හලලා. මාමා බීගෙන එනව ඈතින් දකිද්දිම නැන්දා කරන්නෙ ඉක්මනට මල්ලිවයි මාවයි කොහෙ හරි තැනක හංගනවා. එයත් හැංගෙනවා. පරක්කු වුණ දාට සෑහෙන්න ගුටි කන්න වෙනවා.
මාමගෙ යුද්ධෙ පැයකින් දෙකකින් ඉවර වුණාම එයා ගේ මැද්දෙ වමනෙ ගොඩක් දාලා ගොරව ගොරව නිදා ගන්නවා. සේරම නිහඬ වෙලා සන්සුන් උනාම මායි මල්ලියි හෙමින් එළියට ඇදෙනවා.
එතන හැමදාම රණ්ඩු නිසා නැන්දා මට කියල ලියවපු ලිපියක් අම්මට යැව්වා. අම්ම ඇවිත් අපි දෙන්නව එතනින් අර ගත්තා. එහෙ ඉද්දි මං ඉස්කෝලෙ ගියෙත් අතරින් පතර.
අපේ ගෙදර ඉඳන් ඉස්කෝලේ යන්න මම හරි කැමතියි. ඒ පාර දිගේ යනකොට උදේ පාන්දර පින්න වැටිල කුඹුරු වල ගොයම් පැළ යායට දිළිසෙනවා. ඒ මැද්දෙන් උඩහ කඳු පන්තියට උඩින් සෞම්‍ය ඉරක් පායගෙන එනවා. ඇළේ වතුර පිරිලා ඉවුරුවල තියෙන තණකොළ අස්සෙන් පොළොවෙ වැළි පෙනෙද්දි ඒ මැද්දට පැනල කකුල් තෙමාගන්න එන ආසාව දරාගන්නෙ හරි අමාරුවෙන්.

ඡායාරූප මූලාශ්‍රය, SandamaliDissanayake
පාර දෙපැත්තෙ පාට පාට හිඟුරු මල් පිපිලා.
ඉඳහිට ඒ අතරින් ලස්සනම නියඟලා මලුත් පිපිලා. රෑන් රෑන් එකතුවෙලා මොනවා හරි කියව කියව යන ගමේ අනිත් ළමයින්ට ඉස්සරවෙලා යන්න ඇරල මං හෙමින් වට පිට බල බල පින්න අතේ තැවරෙන්න ගස් කොළන් අල්ල අල්ල හෙමින් යනවා.
අනිත් හැම ළමයගෙම කරේ පොත් ටිකයි කෑම පෙට්ටියයි වතුර බෝතලේකුයි එක්ක පොත් බෑග් එක එල්ලුනාට මගෙ කරේ එල්ලුනේ පොත් ටිකේ බර විතරයි."
4 ශ්‍රේණියේ දී සඳමාලිගේ මව ඇය පාසලෙන් ඉවත් කරගෙන මොරටුවේ නිවසක රැකියාවකට යොදා ඇත.
"අම්මට අපිව ජීවත් කරවන්න විදියක් ගමේ තිබුණේ නෑ. මල්ලිව ලොකු අම්මගෙ ගෙදරට භාර දීලා මාව ඉස්කෝලෙන් අස්කරන් කොළඹ අරන් ගියා. අම්මා වැඩ කළේ වැල්ලවත්තෙ ගෙදරක. මාවත් අරන් ගියේ එහෙට. කොළඹ දැකලම තිබුණේ නැහැ ඒ වෙද්දි. බස් එකේ ජනේලයෙන් එළියට මුහුණ දාගෙන හරි පුදුමෙන් එක ළඟ හැදුණු විශාල ගොඩනැගිලි, තට්ටු ගෙවල් දිහා බලන් හිටියා.
"දැක්කද ? කොළඹ කාක්කන්ගෙ බෙල්ල සුදුයි."
"අම්මා මට කාක්කො රංචුවක් පෙන්නලා අළුත් දෙයක් කියල දුන්නා. ගමේදි දකින කළුම කළු කාක්කන්ට වඩා මෙයාලගෙ බෙල්ල වෙනස්. අළුපාටට හුරු රෝම තියෙන්නෙ. මං කොළඹ ගිය පළවෙනි වතාවෙ මුලින්ම ඉගෙන ගත්ත පාඩම ඒක.
අම්මා වැඩ කරපු ගෙදරට මාව අරන් යද්දි මගෙ මානසිකත්වය කොයි වගේද කියල පැහැදිලි මතකයක් නෑ. එච්චර ලොකු ගෙදරක් මං ජීවිතේ පළවෙනි වතාවට ඒ දැක්කෙ. ඒත් හුඟක් දවස් ඒ ගෙදර මාව තියාගත්තෙ නෑ. ඒ මැඩම්ගෙ දුව බැඳල හිටියෙ මොරටුවෙන්. එහෙ ඉන්න පොඩි බබාගේ තනියට මාව මොරටුවට ගෙනිච්චා."
කෙසේනමුත්, මෙම ස්ථානයෙන් සඳමාලිව පරිවාස භාරයට ගෙන තිබිණි. ඉන් පසු ඇය අනුරාධපුරේ අවන්තිදේවි ළමා නිවාසයට යොමු කෙරිණ.
"ළමා නිවාසෙ ඉඳන් ආයෙමත් 4 වසරට කේ.බී රත්නායක විදුහලට ඇතුළත් කෙරුණා. විභාග අතපසු වෙලා තිබුණ නිසා 4 වසරේ තව අවුරුද්දක් මට ඉන්න වුණා. හැබැයි එදා ඉඳන් දැඩි අධිෂ්ඨානයකින් ඉගෙනීම් කටයුතු කළ මම හැම අවුරුද්දකම, හැම වාරෙකම පන්තියේ පළවෙනියා වුණා.
අම්මා මාව බලන්න ඒවි කියලා හැම ඉස්කෝලෙ නිවාඩුවටම ළමා නිවාසේ ගේට්ටුවේ එල්ලිලා තහනම් වෙච්ච එළිමහන් පාර දිහා ඇස් රිදෙනකම් බලා හිටියා."
වසර තුනකින් පසු ළමා නිවාසයේ ළමුන් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් භාරකාරයින් සිටින දරුවන් නිවාසයෙන් ඉවත් කෙරිණ.

ඡායාරූප මූලාශ්‍රය, SandamaliDissanayake
"මම ඒ වෙලාවේ ගෙදර යන්න බෑ කියලා සෑහෙන්න අඬුවා. ආයේ මම දරුණු විදිහට දුක් විඳින ජීවිතයට වැටුණා. ඒ අතරෙ අම්මගේ වද දීම් ඉවසන්න බැරිම තැන කණේරු ඇට කාලා ඉස්පිරිතාලෙ සෑහෙන කාලයක් අසිහියෙන් හිටියා.
අපි හිටියේ අඩි දහයක් දිග අඩි දහයක් පළල පුංචි කටුමැටි ගෙදරක. වැස්සට ගේ ඇතුළෙ මඩ වෙනවා. මේස පුටු කිසිදෙයක් තිබුණේ නැහැ ඉඳගන්න. නිදියන්න සේරටම තිබුණේ මැටි පිළ. කුප්පි ලාම්පුවෙන් පාඩම් කළේ."
මව කොළඹ රැකියාවෙන් නිවාඩු ගෙන සෑම මසකම අනුරාධපුරයට පැමිණි දින දෙක තුන හැර අන් කාලය සිය කුඩා සොහොයුරා සමග කැලෑ බඳ ප්‍රදේශයක පිහිටි නිවසේ ගත කිරීමට සඳමාලිට සිදු විය. ඇයට වයස අවුරුදු දොළහේ සිට තනිව ආහාර පිසගෙන ආහාරයට ගෙන පාසල් යෑමට සිදුවිය.
"කන්න දෙයක් ගෙදර නැතිම තැන හන්දියේ බේකරියෙන් කුණු ගොඩට විසිකරපු පුස් කාල කුණුවෙච්ච පාන් අහුලන් ඇවිත් කුණුවෙලා ඇලෙන මදේ විසිකරලා දංකුඩ හරිය නිකම්ම ගිලදාල වතුර එකකින් වේල් පිරිමහගන්නවා," ඇය පැවසුවාය.
"මං හරිම ආසයි දෙසැම්බර් මාසයේ අන්තිම කාලයට. අළුත් පාසල් වාරය පටන් ගන්න දවස් දෙක තුනක් තියල අම්මා මාවයි මල්ලිවයි අරන් ගමේ ටවුමට යනවා. ඒ කාලෙ මුළු ටවුමටම තිබුණේ එක පොත් සාප්පුවයි. ඒකෙන් අළුතින් එක්සයිස් පොත් ටික තෝරන වැඩේට මම පුදුම ආසයි.
හත අට වසරවලින් පස්සෙ අම්ම බොහෝ වෙලාවට මට අරන් දෙන්නෙ පිටු 400 පොත්. ඒත් සිංහලයි ගණිතෙටයි ඇරෙන්න අනිත් විෂයන් වලට පිටු 400 එපා කියල මං අම්මට කියනවා.
"ගන්න එකක් එක සැරේ ගන්න. ඉවරවෙන සැරේට අරන් දෙන්න සල්ලි ගස් වලින් කඩන්නේ නෑනේ මං."
අම්මාගේ සැර වදන් ළඟ මම සමහර වෙලාවට පිටු 400 පොත් තුනක් විතරක් ගන්නවා. ඊටපස්සෙ අඩුවෙන් සිලබස් තියෙන විෂයයන් දෙකකට පොත මැදින් දෙකට බෙදල පාවිච්චියට ගන්නවා.
අම්මා මතක ඇතුව පොත්වලට කවර දාන්න බ්‍රවුන් පේපර් කොළයි ඉටි කොළයි ස්ටේප්ලර් කටු පෙට්ටියයි ගන්නවා. ඒ අරන් ගෙදර ඇවිත් මැටි පිළ අස් කරලා පැදුරක් එළාගෙන අළුත් පොත් සේරම ඒකෙන් අඩුක් කරගන්නවා.
ඊටපස්සෙ රෑ වෙනකම් අම්මා මටයි මල්ලිටයි පිළිවෙලට ලස්සනට අළුත් පොත්වලට කවර දාලා දෙනවා.
මට තියෙන්නෙ අම්මා බ්‍රවුන් පේපර් වලින් කවර දාලා පැත්තකින් තියන ඒවයෙ ඉටි කොළේ දාන්න කලින් නමයි විෂයයි පන්තියයි ලියන්න. පොඩි කාලේ ඉඳන් මගේ අත්අකුරු හරිම ලස්සනයි."
කොතෙක් බාධක මධ්‍යයේ වුව ද ඇය වාර විභාගවලින් දිගින් දිගටම සිය පංතියේ පළමු ස්ථානය ලබා ගැනීමට සමත් වී තිබේ.
"ඉස්කෝලෙන් නිළ ඇඳුම් මහන්න ලැබෙන සුදු රෙදි සමහර අවුරුදුවල අම්මා ගන්නවා එයාගෙ උවමනාවලට. අළුතින් පන්තියකට පාස්වෙන හැම අවුරුද්දෙම අළුතින් ගවුම් මැස්සුවෙ නෑ. මට අවුරුද්දක්ම අඳින්න ලැබෙන්නෙ ගවුම් දෙකයි. කලින් අවුරුද්දෙ ඇඳපු ගවුමයි අළුත් පන්තියට මහපු ගවුමයි.

ඡායාරූප මූලාශ්‍රය, SandamaliDissanayake
"පොඩි පන්තිවලදි නම් ඇන්දෙ ගමේ ගෙවල්වලින් අම්ම ඉල්ලගෙන ආපු ඇඳුම්. මගෙ ඇඟට වඩා ලොකුයි නම් අම්මා ඒව මගෙ ගානට අතේ මහල දෙනවා."
බොහෝ හිරිහැරවලට ලක්වුව ද තවමත් සිය මවට ගෞරව කරන බව කතාව අතරතුර ඇය විටින් විට පැවසුවාය.
"හැබැයි අම්මා මගේ ජීවිතයට කළ බලපෑම් ගැන හෙළි නොකර මේ කතාව කියන්න බැහැ," ඇය තවදුරටත් පැවසුවාය.
"ඔය අතරේ මගේ අක්කගේ ඉස්කෝල ගමන වයස අවුරුදු 12 වෙනකොට නතර කරලා එයාව ගෙදරක වැඩට යැව්වා.
මගේ අහිංසක මල්ලිව කන්න දෙයක් නැතිකමට සිවුරක් අන්දලා පන්සලට ගිහින් ඇරලුවා. ඒක තවත් එක් දුක්බර අවසානයක් වුණා."
"විසිතුරු භාණ්ඩෙ"
සිය බාල සොහොයුරා කීපවතාවක් නොයෙක් හේතු මත සිවුරු හැර නිවසට පැමිණි බව සඳමාලි පැවසීය. කෙසේනමුත්, අවසානයේ දී ඔහු ජීවිතයෙන් පලා යාමට තීරණය කර ඇත. එයට හේතුව අදටත් අපැහැදිළි බව ඇය පැවසුවාය.
"මල්ලි කී වතාවක් සිවුරු ඇරල ගෙදර ආවද මට මතක නෑ. තුන් පාරක්, හතර පාරක්. මුලින්ම මහණ කළේ ගාල්ලෙ බද්දේගම ලොකු පන්සලක. මට නම මතක නෑ. පන්සලේ හිටියෙ අවුරුදු 40ක විතර ලොකු හාමුදුරුවොයි මල්ලියි, මල්ලිත් එක්කම මහණ කරපු අනිත් දරුවයි විතරයි.
මට මතකයි ඒ දවස. මල්ලිට සුදු අන්දලා හිස මුඩු කරද්දී එයාගේ මුහුණේ තිබුණ කඩා වැටිච්ච බැල්ම මතක් වෙද්දි තාමත් පපුව පිච්චෙනවා. එයාට ඕනෙ වුණේ පවුලක් ඇතුලෙ දුවල පැනල සතුටින් ඉන්න. බඩට නොකා හරි මාත් එක්ක ආදරයෙන් ඉන්න.
ඒත් එයාව පන්සලක තනි කළා. එතකොට යන්තම් අවුරුදු නවයයි. එදා දවසම මල්ලිගෙ තිබුණේ හොල්මනක් දැකපු ගානට සුදුමැලි වෙච්ච අමුතු මූණක්.
අවුරුදු කාලෙට රතිඤ්ඤා දාන්න මල්ලි හරි ආසයි. ඉස්සර එයා මහණ වෙන්න කලින් අම්ම එයාට කියල වැඩක් මොනා හරි ගන්නෙ අවුරුදු කාලෙට රතිඤ්ඤා අරන් දෙන්නම් කියල රවට්ටගෙන. මල්ලිට ඉස්සර ලස්සනට සින්දු කියන්න පුළුවන්.
කොහොමහරි, ගාල්ලෙ පන්සලේ මල්ලිව තනිකරල අපි එන්න ආවා. මාත් එතකොට පුංචි නිසා ඒ හැඟීම් ගැන ලොකුවට තේරුනේ නැහැ. ඒත් දුප්පත්කම එක්ක ජීවිතේ ඕනෙ දෙයක් ගැන හිස් හැඟීමෙන් බලන්න මම හුරුවෙලා හිටියා. ටික කාලයකින් මල්ලි ගාල්ලේ පන්සලෙන් පැනල ආවා.
අම්ම ගිහින් ආයෙ භාර දෙනකොට මල්ලි යන්න බෑ කියල හුඟක් ඇඬුවා. ලොකු හාමුදුරුවෝ හරි වසයි. පොඩ්ඩ ඇත්නම් ගහනව බණිනවලු. ඒත් දෙවෙනි පාරත් මල්ලි ගාල්ලෙන් සිවුර ගලවලා වැලට දාලා කුස්සියේ උයන්න හිටපු මනුස්සයාගෙ සරමකුයි කමිසෙකුයි හොරෙන් අරන් ඇඳගෙන තනියෙන් ගෙදර හොයන් ආවා ගාල්ලෙ ඉඳලා.

ඡායාරූප මූලාශ්‍රය, SandamaliDissanayake
ඇයි කියල අහල බලද්දි මල්ලි බුදුගේ තියෙන ගල් ගුහාව ඇතුළෙ හඳුන් කූරක යටට රතිඤ්ඤයක් ගැට ගහලා, මොකුත් නොදන්නව වගේ ආවාසෙට වෙලා ඉද්දි කවුරුත් නැති බුදු ගේ ඇතුළෙන් එකපාර පිපුරුමක් ඇහිලා.
ලොකු හාමුදුරුවෝ හොඳටම බයවෙලා අහල පහළ ගෙවල්වල අයත් එක්ක හෙමින් බයෙන් ගිහින් බලද්දි රතිඤ්ඤාවෙ කඩදාසි කෑලියි වෙඩි බෙහෙත් ගඳයි බුදු ගේ පුරාම. ඉතින් මල්ලිට අල්ලන් ගහලා හොඳටම.
දෙපාරක් ආවට පස්සෙ ආයෙ ලොකු හාමුදුරුවෝ මල්ලිව භාරගන්න බෑ කියන්න ඇති. මල්ලි අකීකරුයි කියල අම්මට හුඟක් දොස් කිව්වා මතකයි මට. ඒත් එයා අකීකරු දරුවෙක් නෙවෙයි කියන්න මං දන්නවා. හැබැයි සෙල්ලම් වැඩවලට නොයෙකුත් අත්හදා බැලීම් කරන ඇබ්බැහියක් තිබුණා.
මල්ලිව ඊලඟට ගිහින් භාරදුන්නෙ කුරුණෑගල සැඟෑලෙන පන්සලට. ඒක ලොකු පිරිවෙනක්. මල්ලි යන්න පොඩ්ඩක්වත් ආස වුණේ නැහැ. ඒත් අම්මගෙ හිත රිද්දන්න මල්ලි කවදාවත් කැමති නැහැ. අම්ම දෙයක් බලකරල කිව්වොත් මල්ලි එයාගෙ දුක අකමැත්ත හංගගෙන ඉඩ දෙනවා.
මල්ලිට ඒ පන්සලේ තරුණ හාමුදුරුවෝ කෙනෙක් අතින් අඩම්තේට්ටම් සිද්ධ වෙලා තිබුණා. එයා ඒක දිනපොතේ ලියලා තිබුණා. ටික දවසකින් ආයේ මල්ලි ගෙදර ආවා. ඒ වතාවෙ ආවෙ සිවුර වැලේ දාල නෙවෙයි, කවරෙක දාල ඔතාගෙන ගෙදර අරන් ආවා.
මල්ලි එහෙම සැරින් සැරේ සිවුර අතඇරලා ගෙදර ආවම මල්ලිව ගේ ඇතුලෙ හංගලා තියාගන්නෙ අපි. ගමේ ජීවිතේ අනුන්ගෙ දේවල් හොයන අය පිරිලා. එහෙම සැරින් සැරේ සිවුරු ඇරල ගෙදර එනව කියල ගමේ අයට දැනගන්න තියන්න බැහැ. මල්ලි යන්තම් හරි උළුවස්ස කිට්ටුවෙන් ඉඳගත්තම මං පාරෙ යන අයට මල්ලිව නොපෙනෙන්න එයාට ඉස්සරහින් ඉඳ ගන්නවා.
"විසිතුරු භාණ්ඩෙ" මල්ලිට මම දාලා තිබුණ නම.
තවත් කෙටි කාලයකින් මල්ලිව ගෙදර ළඟ පන්සලට ගිහින් ඇරලුවා. එයා ඔතන් ආපු සිවුරම අන්දලා ගමේ පන්සලට ගිහින් ඇරලලා අම්ම ගෙදර ආවා. රෑ වෙද්දි මල්ලි ආයෙත් ගෙදර.
පන්සලේ නිදාගන්න ඉඩ නෑ. ලොකු හාමුදුරුවෝ කිව්වලු කැමති නම් රෑට ගෙදර ගිහින් නිදාගෙන උදේට එන්න කියල.
ඉතින් මටයි අම්මටයි හරි සතුටුයි. එදා ඉඳන් මල්ලි රෑට කමිසෙයි කලිසමයි දාන් මටයි අම්මටයි මැද්දෙ සැපට මැටි පිළේ නිදියලා උදේට එළිය වැටුනම සිවුරත් ඇඳගෙන පන්සලට ගියා.
නමුත් සඳමාලිගේ සොහොයුරාගේ කතාව එතනින් අවසන් වූයේ නැත.
කඩඉම් විභාග
රෙදි පටියකින් පමණක් ගැටගසා තිබුණ සිය කටුමැටි පැලේ සිටි දිනක ගමේ සිටි පුද්ගලයෙකු ඇය දූෂණය කිරීමට තැත් කළ සිද්ධියක් ද සඳමාලි පැවසුවාය.
කෙසේනමුත්, මේ සියල්ල අතර ඉගෙනීමේ දක්ෂයෙකු වූ ඇයට සෑම පංතියකම නායකත්වය පවා ලබා දීමට ගුරුවරු ක්‍රියා කළහ.
එමෙන්ම පාසලේ දී කිසිදිනක අන් දරුවන්ගේ හෝ ගුරුවරුන්ගේ හිරිහැරවලට ලක් නොවුණු බව ඇය පැවසුවාය.
"මට හිටිය ගුරුවරු උදව් කළා මිස මාව කොන් කළේ නැහැ. ජීවිතයේ විවිධ හැලහැප්පීම් නිසා මට සමාජය ගැන යම් බයක් තිබුණා. ඒ නිසා මම බොහෝ දෙනෙක් ආශ්‍රය කළේ නැහැ. පාසලේ විනය අතින් ඉතාමත් ගෞරවණීය ශිෂ්‍යාවක් ලෙස මා ඔවුන් හඳුනාගත්තා. ගමේ ඉන්න දුප්පත්ම දරුවා මෙන්ම පන්තියේ පළවෙනියා ලෙස නොකඩවා ඉදිරියෙන් හිඳින දරුවෙක් ලෙස ගුරුවරුන්ගේ ආදරයට පාත්‍ර වුණා.
"ගුරුමණ්ඩලයේ අය විසින් ශිෂ්‍ය නායිකාවක් විදියට වඩාත් සුදුසු යැයි කියා අයදුම්පත් නොදාම මාව තෝරා ගත්තා. මේ අතර මම ගමේ කුලී වැඩ කරලා යම් මුදලක් සොයා ගත්තා.
මගේ අතට උදැල්ල හරි හුරුයි. ඉගෙනීමට දක්ෂ නිසාම ගමේ මිනිස්සු මට ගෞරව කළා. බඩ ඉරිඟු කැඩීම වගේ වැඩ තියෙද්දී ඒ අය මට කතා කළා. හැබැයි මට අමතර පංති වගේ විශාල දේවල්වලට ගෙවන්න මුදල් තිබුණේ නැහැ.
ටීවි, රේඩියෝවක්, පත්තරයක් නැති ලෝකයෙන් හුදෙකලා ජීවියෙක් වගේ ජීවත් වුණ මම දහය වසරට එනතෙක් සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ මොකක්ද කියලවත් දැන හිටියේ නැහැ. අනික් ළමයි විභාගයට විශයපථය ඉවර කරන හැටි පංතියේ කතා වෙද්දී මම පුදුමයෙන් අහන් හිටියා.

ඡායාරූප මූලාශ්‍රය, SandamaliDissanayake
ඕලෙවල් විභාගයට පාඩම් කරන්න අම්මා කුප්පි ලාම්පුව නොදී දැල්ල හරස් කරගෙන නවකතා කියවන්න ගත්තා. එයාට මේ ගැන කිසි තැකීමක් තිබුණේ නැහැ. මම අඬලා ඉල්ලුවත් එයා පාඩම් කරන්න ඉඩදුන්නේ නැහැ. මේ අතර විභාගයට සතියක් තියෙද්දී අම්මා මගේ අක්කා, එයාගේ බබා සහ මහත්තයාවත් අපේ ගෙදරට එක්කගෙන ආවා.
අඩි දහයේ ගෙදර අපි සේරටම ඉන්න වුණා. අම්මගේ නපුරු කුප්පි ලාම්පුව අත ඇරලා අල්ලපු වත්තේ කුකුල් කූඩුවේ ලයිට් එළිය යටට ගිහින් පාඩම් කරන්න මම හුරු වුණා.
මසට ඇතිකරන කුකුලන්ට උණුසුම ඕනෑ නිසා දිගටම ලයිට් දාලා තිබුණා. මධ්‍යම රාත්‍රිය වෙනකම් පාඩම් කරපු මගේ ඔළුව අතගාලා තේ එකක් දීලා ගියේ අපේ ලොකු අම්මා."
A තුනක්, B එකක්, C හයක් ලෙස ඉහළින්ම සාමාන්‍ය පෙළ විෂයන් දහයම සමත් වුණු ඇයට කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබිණි.
"විභාගේ ප්‍රතිඵල එනතුරු මහරගම පිළිකා රෝහළ පාරේ නිවසක ගෘහ සේවිකාවක් විදියට රැකියාව කළා. මාසේ අන්තිම දවසට අම්මා ඇවිදින් මාසෙ පඩිය රුපියල් 3000 ම මහත්තයාගෙන් ඉල්ලන් ගියා. ඒ ගෙදර මහත්තයා ඔෆිස් ගිහින් අරන් ආපු ඕලෙවල් ප්‍රථිඵල වාර්තාවත් අරගෙන මම උසස් පෙළ කරන්න ආයෙමත් ගමට ආවා.
කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට වාණිජ අංශයෙන් උසස්පෙළට ඉල්ලුම්පතක් දාන්න වුණේ තනියම. පාසලට තෝරගන්න සම්මුඛ පරීක්ෂණයට එක්ක යන්න අම්මා හෝ තාත්තා කෙනෙක් මට හිටියේ නැහැ.
සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වුණු ළමුන් සිටි පංතියේ වාර විභාගවලින් පළමු ස්ථානය ලබා ගැනීමට නැවතත් සඳමාලිට හැකි විය. මෙම දක්ෂතා හඳුනාගත් ගුරුවරු ඇය දිරිමත් කිරීමට විවිධාකාරයෙන් උදව් ලබා දුන් බවද සඳමාලි සිහිපත් කරයි.
"ඉගෙනීමේ උනන්දුව නිසාම මට අමතර පංතිවලට එන්න කියලා ෆ්‍රී කාඩ් දෙන්න මුල් වුණේ කැකිරාවේ සෙනරත් එකේ ගිණුම්කරණය උගන්නපු මධ්‍ය මහා විද්‍යාලයේ විනය පාලක දිසානායක සර්. අනෙක් අයට ද මම ගැන කියලා නොමිලේ පංතිවලට යන්න ඒ සර් ඉඩ සළසලා දුන්නා. මගේ භාරකාරයා විදියට ඉස්කෝලෙට ඇප වෙන්නත් සර් කටයුතු කළා.
පියෙක් නැති මට ඔහු පියෙකු වුණා. හැබැයි ගෙදර තිබුණ කටුක පරිසරය වෙනස් වුණේ නැහැ. විභාගයට ඇඩ්මිෂන් ආවාට පසුව මට බෝඩිමක් සොයාගෙන පාරවල්වල ඇවිදින්න වුණා.
ගෙදර ඉඳන් පාසලට කිලෝමීටර දහඅටක් තිබුණා. විභාගයට යන්න නම් පාසලට ළඟ තැනක නතර වෙන්න වුණා. මොකද ගම්වල පොදු ප්‍රවාහන සේවය ගැන විශ්වාසයක් තියන්න බැහැ.
උසස් පෙළ ප්‍රථිඵල නිකුත් වුණ මොහොත ඇය සිහිපත් කළේ මහත් උද්‍යෝගයකිනි.
වාණිජ අංශයෙන් A සාමාර්ථ තුනක් ලබාගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අංශයට ඇතුළත් වීමට ඇයට හැකි විණ.
"ඒ මොහොතේ මම ප්‍රථිඵල කියාගෙන කෑ ගහගෙන ගෙදරට දුවගෙන ආවා. මට තිබුණේ කියා ගන්න බැරි සතුටක්. හැබැයි අම්මාගේ මුහුණේ කිසිම විශේෂත්වයක් පෙනුණේ නැහැ. ඇය මෙය තවත් බරක් ලෙස සළකන බව මට වැඩිකල් යන්න කලින් තේරුණා."
වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වීමත් සමග ඇයට ලංකා බැංකුවේ ආධුනික රැකියාවක් ලැබී ඇති අතර එයින් දෛනිකව රුපියල් 325.00ක වැටුපක් ලැබිණ.
මේ අතර, ඇය සිය උසස් පෙළ ජයග්‍රහණය ගැන පුවත්පතකට ලිපියක් යොමු කර ඇති අතර, එය පළ වීමෙන් පසු බොහෝ දෙනෙකු මූලම්‍ය ආධාර ලබා දීමට කටයුතු කර තිබිණි. එයින් සිය නිවස සාදා මවට ද යම් මුදලක් ලබා දීමට ඇය ක්‍රියා කර ඇත.
'නරක ආරංචියක්'
"අපි මිරිහාන පොලීසියෙන් කතා කරන්නෙ. ඔයාගෙ මල්ලි ඉන්නවා අපි ළඟ, පොලීසියට පොඩ්ඩක් ඇවිත් යන්න එන්න..."
විශ්වවිද්‍යාලයේ දේශනාවක් මධ්‍යයේ ඇයට පණිවිඩයක් ලැබිණි.
"ජීවිතේට පොලීසියක් ඇතුළ දැකලවත් නැති මම හිටියෙ බය බිරාන්ත වෙලා. පන්සලේ අපා දුක් විඳපු අහිංසකයා සාමාන්‍ය පෙළ ලියන්න පාසලට ඇතුළු කළේ නොවිඳිනා දුක් විඳලා. ඒ වෙද්දිත් මල්ලි අවුරුදු ගණනකින් පාසල දැකලවත් තිබුණේ නැහැ.
කථිකාචාර්යවරයාට කාරණේ කියල මං ඉක්මනට විශ්වවිද්‍යාලයෙන් පිට වුණේ කැම්පස් හැඳුනුම්පතත් අරන්මයි. විජේරාමයේ ඉඳන් සොයාගෙන මිරිහානට ගියාම මගෙ මල්ලි ඉන්නවා බංකුවක් උඩ වැරහැලි ඇඳගෙන. අතේ පුංචි සිලි කවරෙකුත් තියාගෙන. බඩගින්න, නිදිමත, වෙහෙස, බය ඒ සේරම එක්ක ඒ පුංචි මුහුණේ තිබුණේ මහා අසරණ පෙනුමක්.
මල්ලිට මාව දකිද්දිම නැගිට්ටුනේ අහිංසක හිනාවකින් මූණ එළිය කරගෙන. ඒත් මං හිටියෙ බයවෙලා.
ඇයි මිස් මගෙ මල්ලිව ඇරෙස්ට් කළේ...?
"නෑ නෑ මල්ලිව ඇරෙස්ට් කළේ නෑ...
ඊයෙ රෑ මල්ලි කොටුවෙ අතරමං වෙලා ඉද්දි අපේ කට්ටියකට හම්බවෙලා එක්කන් ආවා. දවසම කාල හිටියෙත් නෑ. අපි බනිස් ජෝඩුවක් අරන් දුන්නා. දැන් එයාව එක්කන් යන්න පුළුවන්. අක්ක කැම්පස් එකේ ඉන්නව කියපු නිසා අපි ඔයාට කතා කළේ. අනුරාධපුරේට තනියෙන් යන්න දන්නවද මල්ලි?."
"එයා කවදාවත් කොළඹ ඇවිත් නෑ මිස්. අපේ ගෙවල් ළඟටම යන බස් එකක් තියෙනවා කොටුවෙන්. මං මල්ලිව ඒකට ගොඩ කරන්නම්."
"මං මල්ලිගෙ අතින් අල්ලන් පාරට ආවා. එයාගෙ මූණ මැළවිලා ගිහින්. එයාට කන්න දෙයක් අරන් දෙන්නත් කලින් මට ඕනෙ උනේ සිද්ධිය අහගන්න.
ඇයි කොළඹට ආවෙ?, කාත් එක්කද ආවෙ?, ශොපින් බෑග් එකේ ඇඳුම් දෙක තුනක් තියෙන්නෙ ඇයි?, පොලීසියට අහු වුණේ කොහොමද? මගෙ හිතේ කැකෑරෙන ප්‍රශ්න එක්ක මං හිටියෙ කේන්තියෙන්.
"බණින්න එපා චූටි අක්කෙ. ඔයාගේ උසස් පෙළ සමත් කතාව පත්තරෙන් කියවලා එක මාම කෙනෙක් අපේ ගෙදරට නිතර කතා කරන්න ගත්තා. ඔයා කැම්පස් එකේ නිසා අම්මත් එක්ක තමයි නිතරම කතා කරන්නෙ එයා. පෙරේදා අපේ ගෙදර හොයාගෙන ආවා.
ඊටපස්සෙ එයාගෙ ගෙදර මට නවතින්න දෙන්නම් ජොබ් එකකුත් හොයල දෙන්නම් කීවම අම්මා ඒ මාමත් එක්ක මාව කොළඹ එන්න පිටත් කළා. මතුගමද කොහෙද ගම කිව්වෙ. ඒත් කොටුවෙන් එයා මට පොඩ්ඩක් ඉන්න කියල මාව සීටීබී බස් ස්ටෑන්ඩ් එකේ වාඩි කරවලා එයා ගියා. මං රෑ වෙනකන් බලාගෙන හිටියා එතනට වෙලා. ඒ මාමා ආවෙ නෑ. ගෙදර ආපහු යන්න සල්ලිත් නෑ අක්කෙ මං ළඟ. අම්ම කිව්වෙ ඒ මාමා මටත් එක්ක ටිකට් ගනියි කියලයි.
රෑ අටට විතර මාව පොලීසියෙන් අල්ල ගත්තා. පැය 3-4ක් එකතැන හිටපු නිසා එයාලට සැක හිතිලා. පස්සෙ මාව පොලීසියට එක්ක ගෙන ගියා."
"බිඳුණු හඬින් මයෙ අහිංසකයා කියාගෙන ගියා. උදේට හොඳට දෙන්නත් එක්ක කාලා කොටුවෙ ටිකක් වටයක් එක්කන් ගිහින් අතට සල්ලි දීලා ඇපල් මල්ලකුත් අරන් දීලා මල්ලිව ගමේ බස් එකේ ඉස්සරහම සීට් එකේ ඉන්දුවේ චමින්ද අයියට මල්ලිව පරිස්සමින් එක්කන් යන්න කියල ඉල්ලීමකුත් කරලා.
අම්මටයි මල්ලිටයි ජීවත් වෙන්න මුදල් යවන එකේ ඇයි තවත් මෙහෙම කරන්නෙ කියල අම්මගෙන් අහන්න හිතුනත් කේන්තිය වැඩිකමට මම නිහඬ වුණා. මල්ලිව අමාරුවෙන් පාසලට දාගත්ත එකේ ගුණේවත් ලැබුණේ නැහැ.
ඒත් තවත් මාසයකින් ගෙදර යනකොට ආයෙමත් මයෙ මල්ලි ගෙදරින් අතුරුදහන්. ආයෙමත් පාසලෙන් අස් කරවලා දඹුල්ලෙ ඌරු කොටුවක ඌරො බලාගන්න යවලා. මාසෙට රුපියල් හත්දාහෙ පඩියට.
හැම මාසෙම පඩි දෙන දවසට අම්ම ගිහින් මල්ලිගෙ රුපියල් හත්දාහ අරගෙන එනවා. ඒත් ඒක මල්ලිගෙ පළවෙනි වගේම අන්තිම රැකියාව වුණා.
ඌරු කොටුව තිබුණ කැලේ අලි ඇවිත් ඌරු කොටුව පෙරළන නිසා මල්ලි රෑට නිදාගත්තෙ ඒ කැලේම ඌරු කොටුව ළඟ ගහක් උඩ පැළක.
එක දවසක් එයා ඒ ගහේම T අකුර වගේ පෑහැපු අත්තකට ලණුවක් දාලා බෙල්ල ඔතාගෙන ගහෙන් පැනලා තිබුණා.
පැය 24ක් තිස්සෙ කෑම ගෙනියන්න නාවෙ මොකද බලන්න පහුවදා උදේ රොෂාන් කැලේට ගිහින් බලද්දි ඉරුණු කොට කලිසමයි පාට පිච්චුන ඉරුණු දම් පාට අත් දිග ටී ශර්ට් එකයි පිටින් මිනිය එල්ලෙනවලු කැටකේලියා ගහේ.
කලින් දවසේ උදේට කන්න ගෙනාපු බත් එක ඇරලවත් නැතුව පැළේ එහෙමමලු."

ඡායාරූප මූලාශ්‍රය, SandamaliDissanayake
මල්ලිගෙ මරණයට හේතුව මං අදටත් දන්නෙ නැහැ. එයා හුඟක් නිහඬ ළමයෙක් පොඩි කාලයේ ඉඳන්ම. හැමදේම නිහඬව දරාගත්තා.
නමුත් මගේ අම්මා දරුවන්ව දැක්කෙ සල්ලි සොයන මැෂින් විදියට. අදටත් ඒ තත්වෙ එහෙමමයි. මල්ලි ඌරු කොටුවෙ වැඩට යන්න කලින් හුඟක් අහිංසකයි. මං එක්කම උස් මහත් වුණ නිසා මං එයාව හැදුවෙ සත්තුන්ට ආදරේ කරන්න.
ඒ නිසා එයත් මං වගේම සත්තුන්ගෙ මස් කන එක පොඩි දා ඉඳන්ම ප්‍රතික්ෂේප කළා. ඒත් ඌරු කොටුවෙ වැඩට ගියාම එයාට හැමදාම දැකල අතගාල කන්න දෙන සත්තුන්ගෙන් එකා එකා ඌරු කොටුවෙම තියල මරන්න වුණා.
ලෙඩවෙලා මැරුණ ඌරන්වත් කෑලි කෑලි කපල මස් ටික විකුණන්න වුණා. ටිකෙන් ටික මල්ලි වෙනස් වෙන්න ගත්තා. එයාගෙ අහිංසක ගතිගුණ අඩුවෙවී යන හැටි මං බලාගෙන හිටියෙ කම්පාවෙන්. පුංචි දේටත් අම්ම මට කොස්ස අරන් ගහන්න පන්නද්දි මල්ලි තමා මැදට පැනල මාව බේරගන්නෙ. මල්ලිව මං දැක්කෙ තාපසයෙක් වගේ.
අනික එයා හතර වසරෙ ඉද්දි මං දහය වසරෙ ශිෂ්‍ය නායිකාවක් වුණා. පොඩි පංතිවල ගුරුවරු කවුරු හරි එන්නැති දවසට (කුඹුරු වැඩ කාලෙට බොහෝ පංතිවල ගුරුවරු පාසල් නොපැමිණේ) ඒ පන්ති බලාගන්න දාන්නෙ ශිෂ්‍ය නායිකාවො.
සමහර දවසට අපේ මල්ලිගෙ පංතියටම මට ලැබෙනවා. මම ඉතින් ගුරුතුමිය එවල තියෙන පැවරුම් මගෙ බෝල අකුරින් බෝඩ් එකේ ලස්සනට ලියද්දි අපෙ මල්ලිට හරි ආඩම්බරයි.
"ඒ බං ඔයාගේ අක්ක මරු ඈ... "
අනෙක් අය මල්ලිට කියද්දි මල්ලි ඇවිත් මට කියනවා ඇස් දිලිසි දිලිසී. එයාගෙ පංතියේ අයගෙන් ඉහළ පංතිවල අයියලා අක්කලා ඉන්න ළමයි අතරෙ මල්ලිට විතරයි ශිෂ්‍ය නායක අක්කා කෙනෙක් හිටියෙ. ගමේ දුප්පත් ළමයින්ට ඒ තනතුර පෙනුනෙ ගුරුවරයෙක් තරම් උසස්ව.
මල්ලිගෙ හිතේ මාව ගෞරවණීය තැනක පැළවෙන්න මූලික අඩිතාලම වැටෙන්න ඇත්තෙ එහෙම. මං කැම්පස් තේරුනාට පස්සෙ එයා මට බය පක්ෂපාත ගතිය වැඩි කලා.
අපේ ගෙදරට ටීවි එකක් තිබුණේම නැහැ ඒ වෙනකන්. මල්ලි හරි ආසයි නයිට් රයිඩර් බලන්න. එයාට දේවාලෙ පෙරහැර පොළෙන් අම්ම අරන් දුන්න රුපියල් විස්සෙ දුරදක්නෙන් මල්ලි කරන්නෙ පාරට ගිහින් ඉස්සරහ ගෙදර ටීවි එකේ නයිට් රයිඩර් බලන එක. අපේ අම්මත් එක්ක ගමේ කවුරුත් කතාවට එන්නැති නිසා අපිත් ගමේ කිසි ගෙදරකට යන්න හුරුවෙලා තිබුණේ නැහැ.
ඒත් මට මිනිස්සු ආධාර කළාම මුලින්ම කළේ අම්මවයි මල්ලිවයි කැකිරාවට එක්කන් ගිහින් අත් පිට මුදලට රුපියල් තිස් තුන් දාහක් දීලා අඟල් තිස් දෙකේ ටීවි එකක් ගෙනාපු එක. එදා අපෙ මල්ලිගෙ ජීවිතේ සතුටුම දවසක්.
ඒ විදියටම මම එයාට බයිසිකලයක් අරගෙන දුන්නා.
"මේ මට ද අක්කෙ...."
එයා එදා ඇස් උඩ ඉන්දගෙන සෑහෙන වෙලාවක් බයිසිකලේ දිහයි මගෙ දිහයි බලන් හිටියා.
කැම්පස් එකේ ඉඳන් ගෙදර එන හැම සැරේම පමුණුවට ගිහින් මල්ලිට ටීශර්ට්, කලිසම්, බොටම් අරන් එනවා.
එච්චර කාලෙකට එයාටයි මටයි තිබුණේ කොළඹ ගෙවල්වල අම්ම වැඩට ගියාම ඒ මිනිස්සුන්ගෙ දරුවො ඇඳල අයින් කරන ඇඳුම්. අපි යටට පවා ඇන්දෙ එහෙම තව කවුරුත් ඇඳල අයින් කරපුවා.
ඌරු කොටුවේ වැඩත් එක්ක මල්ලිට ජීවිතේ ඉදිරියක් ගැන සැලැස්මක් නැතිවෙන්න ඇති. ඒත් එයා ලයිසන් ගන්න කියල සල්ලි ටිකකුත් එකතු කරගෙන තිබුනා. මල්ලි මැරුන ගමන් අම්ම ඒ සල්ලිත් ගත්තා.
මල්ලි මැරුන බව ඌරු කොටුව අයිති මිනිස්සු දන්නේ පැය 24කුත් ගියාමලු.
"ඒ මිනිස්සු හරි දරුණුයි චූටි අක්කෙ," මල්ලි නිතර කිව්ව කතාවක්.
ඒත් මල්ලිගෙ හදිසි මරණය, මැරුනට පස්සෙ මල්ලිගෙ ෆෝන් එක ගෙනත් නොදී කල් ගත්ත එක, එයාට ආපු කෙටි පණිවිඩ කවුරු හරි බලල තිබුණ එක මට හරි සැකයි. නමුත් මේ ගැන අම්මාට කියද්දී අම්මා ගත්තේ ඒ මිනිස්සුන්ගේ පැත්ත."
බාල සොහොයුරාගේ මරණය සැක සහිත යැයි සඳමාලි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
"මල්ලිගෙ මිනිය කපපු වෛද්‍යවරයා එක්ක කතා කරද්දි කියපු කරුණුත් මං පැමිණිල්ලෙ ලිව්වා. මල්ලිගෙ මිනියේ තුවාල කැළැල් හුඟක් තිබුණ කියල වෛද්‍යවරයා කිව්වා. තවත් සැක කටයුතු දේවල් කීපයක් තිබුණා."
පැමිණිල්ල පරීක්ෂාවට ගත්තා. ආයෙම පොලීසියෙන් ගිහින් ස්ථානීය පරීක්ෂාවක් කරල තිබුණා. මල්ලිගෙ වැඩි අයිතිය තියෙන්නෙ මට වඩා අම්මාට නිසා අම්මාවත් ගෙන්නුවා.
"නෑ සර්, මට දරුවගෙ මරණය කිසි සැකයක් නෑ. මෙයාට ඕනෙ මේ අර ළමයින්ව අමාරුවේ දාන්න."
අම්මා එහෙම කියද්දී මං කඳුළු පුරවගෙන ඈත බලන් හිටියා අම්මාට යාබද පුටුවට වෙලා.
"සමාවෙන්න මිස්, අම්මා කියනව නම් මරණය කිසි සැකයක් නෑ කියල, අපිට ඊට වඩා මේ පරීක්ෂණ ඉස්සරහට කරගෙන යන එක තේරුමක් නෑ. ඒක ස්වභාවික සියදිවි හානිකරගැනීමක් හැටියට අපිත් හිතනවා. ඒත් මිස්ට ආයෙ සාක්ෂි මොනවා හරි ලැබුණොත් එන්න. මල්ලිගෙ මරණෙට උසාවියෙන් දීල තියෙන්නෙ විවෘත තීන්දුවක්."
ඉතින් මං ඔළුව පාත් කරන් අම්ම දිහාවත් නොබල පිටවෙලා ආවා. ඒත් මල්ලි අදටත් බිත්තියට වෙලා මං දිහා අවිනිශ්චිත බැල්මකින් බලන් ඉන්නවා."
හෝටල් රැකියාව
මේ අතර, සඳමාලිට ආපන ශාලාවක රැකියාවක් හිමි විය.
"හෝටලය අයිති අයගෙම ගෙදර නැවතිලා ඉන්න නිසා එයාල මගෙන් සල්ලි ගත්තේ නැහැ. හැමදාම උදේ 5.30ට නැගිටලා 6.10 විතර වෙද්දි හෝටලයට යනවා. කසුන් මල්ලියි, සර් ඇවිත් හෝටලය ඇරලා ඉක්මනට උදේට උයන්න ලෑස්ති කරනවා.
රතු හාලුයි සුදු හාලුයි වෙන වෙනම සෝදලා ලිපේ තියලා පොල් ගාන මැශින් එකෙන් පොල් ගෙඩි 7ක් ගාලා කිරි මිරිකලා ඊලඟට උදේට උයන ව්‍යංජන ටික කපල සෝදලා ලෑස්ති කරනවා. ප්‍රධාන කෝකියා එන්නෙ උදේ හතට. ඒ වෙද්දි මං සේරම ලෑස්ති කරල තියන්න ඕනෙ.
එයාට තියෙන්නෙ 7.30 වෙද්දි සේරම උයල ඉවර කරල කෑම ටික ඉස්සරහට යවන්න. ඊලඟට කෙටි ආහාරවලට අල තම්බන්න, එළවලු මිශ්‍රණයට ළූණු, කැරට්, ලීක්ස් කපන්න තියෙනවා. උදේ අට වෙද්දි තේ එකක් ලැබෙනවා.

ඡායාරූප මූලාශ්‍රය, SandamaliDissanayake
"සඳමාලි රොටියක් කනවද? "
සර් මට විතරක් අඬගහල රොටියක් දෙනවා. එතන ඉන්න පොඩිම කෙනා මම නිසා කොයිවෙලෙත් මගෙ කෑම බීම ගැන හැමෝම ආදරෙන් සොයලා බැලුවා.
උදේ 9.30- 10 වගේ වෙද්දි දවල්ට උයන්න ලෑස්ති වෙන්න ඕනෙ. පොල් ගෙඩි හතරක් ගාලා මිටි කිරි අතෙන් මිරිකලා ඊලඟට දියකිරි බ්ලෙන්ඩර් කරලා ගිහින් එළවළු කපන්න ගන්න ඕනෙ. පරිප්පු අනිවාර්යයි.
ව්‍යංජන හයක් හතක දහවල් දොළහ වෙනකොට උයල ඉවර කරන්න ඕනෙ. ඊලඟට ෆ්‍රයිඩ් රයිස් වලට ලීක්ස් කැරට් කිලෝ 10කට කිට්ටුව සුද්ද කරලා සෝදලා තීරු කපන්න ඕනෙ. ඊලඟට ළූණු කිලෝ හතරක් විතර සුද්ද කරල හවස ආප්ප වලට ලෑස්ති කරන්න ඕනෙ. ආයෙ පොල් ගාන්න ඕනෙ රෑ කෑම හදන්න. නූඩ්ලස් වෙනම හදන්න ඕනෙ.
කොත්තු බාස්ට පොල් රොටියි කෙටි කෑම හදන්න එළවළු කපල ළූණු කපල ලෑස්ති කරල දෙන්න ඕනෙ. එක පිම්මට වැඩ. වතුර ටිකක් බොන්නවත් ටොයිලට් එකට දුවන්නවත් වෙලාව හොයාගන්නෙ හරි අමාරුවෙන්. කකුල් දෙක හවසට ඉදිමෙනවා. බෝඩිමට එන්නෙ පාර දිගේ කොර ගගහා."
එම රැකියා ස්ථානයෙන් ආහාර වේල් තුන නොමිලේ ලබා දී ඇති අතර, දිනකට රුපියල් 700.00ක වැටුපක් ලබා දී තිබිණි.
"අම්මට හැම මාසෙම පළවෙනිදට රුපියල් 7000 දානවා කෑම වියදමට. මාසෙට එක දවසක් හෝටලය වහල සේරම නිවාඩුවක් ගන්නවා. ඒ යනකොට මම අම්මට හුඟක් කෑම ජාතියි අරන් යනවා. එයාට කවදාවත් රස දේවල් හිතේ හැටියට කන්න බැරි වුණ කෙනෙක්. එයාව කවදාවත් අම්මා කෙනෙක් විදියට දැනුණේ නැති වුණත් හැම මාසෙම සල්ලි යවන්නෙ එයා මහන්සි වෙනවට ආස නැති නිසා."

ඡායාරූප මූලාශ්‍රය, SandamaliDissanayake
මේ සියල්ල අතර විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ද පෙර සේම හොඳින් සිදු කිරීමට සඳමාලිට හැකි විය. නමුත් කොළඹ මිනිසුන්ගේ දිවිපෙවතට ඇයගේ කිසිදු කැමැත්තක් නොතිබිණු බව ද පැවසුවාය.
දුෂ්කරතා මැදින් ජයග්‍රහණය කරා
සිය මවගේ අඩන්තේට්ටම් සහ සමාජයෙන් එල්ල වූ විවිධ බාධක මැඩගෙන සඳමාලි වසර හතරකට පසුව විශේෂ කළමණාකරන උපාධිය සම්පූර්ණ කිරීමට සමත් වී ඇත.
"මම නොපෙනන දෙවියන්ගේ ආශිර්වාද සොයපු කෙනෙක් නෙමෙයි. කවදාවත් විභාගයක් සමත් කර දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවේ නැහැ.
මගේ ජීවිතය ගොඩනැගුවේ මම විසින්මයි. පොඩි කාලයේ ඉඳන්ම මම හැමදේම දිනපොතක ලියනවා. ජීවිතයේ සැලැස්ම හැමවෙලාවෙම ලියලා තිබුණා. මගේ හයියට කිසි කෙනෙක් හිටියේ නැහැ.
ඒ වගේම මට හැම වෙලාවකම පසු සැලැස්මක් තිබුණා. A සැලසුම ක්‍රියාත්මක නොවුණොත් B සැලැස්මක් ගැන මම ලියා තැබුවා. ඒ වගේම කරදර ආවට ජීවිතයේ එක් අඩියක් හෝ පසුපසට ගත්තේ නැහැ.
නමුත් කුඩා කළ සැර පරුෂ වචන හැර වෙනත් දෙයක් නෑසුණ නිසා, යම් කෙනෙක් එහෙම කතා කරනකොට අදටත් අකමැත්තක් දැනෙනවා. ඒ වගේ අවස්ථා නිසා උපාධියෙන් පසු කොළඹ රැකියා කීපයක්ම මම අත්හැරියා. ගෙදරින් නොලැබුණු ආදරය මම සමාජයෙන් සොයනවා වෙන්නත් පුළුවන්.
මම ආසියානු රටක ගිණුම් අංශයේ රැකියාවක් ද කළා. ඒ අතර කොරියානු භාෂා විභාගය ද කළා. එයින් උසස් ලෙස සමත් වුණා. නමුත් ඒ අතර යුරෝපා රටකට යන්නට අවස්ථාවක් ලැබුණා. මේ සියල්ල සිදු වුණේ මට නිතර පසු සැලැස්මක් තිබුණ නිසයි.
වර්තමානයේ දී සඳමාලි යුරෝපා රටක සේවය කරන අතර, රටේ නම හෙළි කිරීමට අකමැති වූවාය.

ඡායාරූප මූලාශ්‍රය, SandamaliDissanayake
"මට තව සැලැස්මක් තිබෙනවා. ඒ වෙනත් යුරෝපා රටකට ගිහින් ජීවත් වෙන්න. මගේ සැලසුම් සාර්ථක වෙන තෙක් මම හෙළි කරන්නේ නැහැ. ඒකයි මම ඉන්න රටේ නම දාන්න එපා කිව්වේ.
අද මම අම්මාට සහ අක්කාට ඉතා හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න සල්ලි යවනවා. මගේ සාර්ථකත්වය සහ මේ ගමන ගැන ආපසු හැරී බලන කළ මටම පුදුමයි. ඥාතීන් සහ සමහර පුද්ගලයන් මට බනිනවා අම්මා ගැන මේ දේවල් හෙළි කරන්න එපා කියලා. නමුත් දරුවන් වැදූ පමණින් ඔවුන්ට හිංසා කරන්න අම්මාටවත් බැහැ.
යුරෝපා රටක ජීවත් වෙන මම අද එය හොඳින්ම දන්නවා. කොහොම වුණත් අන් අයට වගේම මම අම්මාටත් සමාව දෙනවා. මරණය ඇරෙන්න සමාවක් දෙන්න බැරි වැරදි මගෙ ජීවිතයේ නැහැ," සිය දීර්ඝ කතාව අවසන් කරමින් සඳමාලි පැවසුවාය.
මේ තොරතුරුද කියවන්න:
- "සමේ පාට නිසා ඉස්සර දුක් වින්දට අද මම ඒ ගැන ආඩම්බර වෙනවා"
- "තනිකඩ ඉන්නවද? විවාහ වෙනවද? එය මගේ තීරණයක්"
- ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තාවන් 12 අතරට ගිය කස්තුරි චෙල්ලරාජා විල්සන්
- "කිතුල්, කජු හෝ බතික්වලට තියෙන තැනවත් කාන්තාවන් සහ ළමුන්ට නැහැ"
- ප්‍රසූත නිවාඩුව කප්පාදු කිරීම "මාතෘත්වයට කරන නිගාවක්"
- ශ්‍රී ලංකාවේ වැඩ කරන කාන්තාවන්ට සම අයිතීන් තිබේද?








