'බෝට්ටුවේ සිටින අයගේ ඉරණම අවිනිශ්චිතයි'

ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය පතා බෝට්ටු මගින් එහි මුහුදු තීරයට පිවිස සිටින ශ්‍රී ලාංකික දෙමළ අනාථයන්ගේ අලුත් ම කණ්ඩායමේ ඉරණම අවිනිශ්චිත බවයි ශ්‍රී ලංකා දෙමළ අනාථයන් වෙනුවෙන් තමිල්නාඩුවේ ක්‍රියාත්මක වන සංවිධානයක් පවත්වා ගෙන යන එස්.ජී.චන්ද්‍රහසන් කියා සිටියේ.

එක බෝට්ටුවක් ශ්‍රී ලංකාවෙන් ද දෙවැන්න තමිල්නාඩුවේ පොන්ඩිචේරියෙන්ද පිටත්ව ඇති බව ඔහුගේ විශ්වාසයයි.

වසර 2009 දී ඉන්දුනීසියාවේදී උපවාසයක යෙදුනු ශ්‍රී ලංකික දෙමළ සරණාගතයන් (සේයාරූ ගබඩාවෙන්)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර 2009 දී ඉන්දුනීසියාවේදී උපවාසයක යෙදුනු ශ්‍රී ලංකික දෙමළ සරණාගතයන් (සේයාරූ ගබඩාවෙන්)

රාජ්‍ය නොවන සංවිධාන විශ්වාස කරන්නේ ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් අනාථයන් රැගත් බෝට්ටු ඔවුන්ගේ පාලනයට ගෙන ඇති බවයි.

ඉන් වැඩි දෙනා ආපසු ශ්‍රී ලංකාවට යැවීමට නියමිත බව වාර්තා සඳහන් කරන නමුත් අනාථයන් කණ්ඩායම ආපසු ගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ඔස්ට්‍රේලියාව දෙසට ගමන් ආරම්භ කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව නාවික හමුදාවේ ප්‍රකාශක කොමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය බීබීසී සංදේශයට කියා සිටියේය.

ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් නීතිවේදීහු එම ජනයාගේ ඉරණම පිළිබඳව කනස්සල්ල පළ කරති.

බෝට්ටු දෙකකින් පැමිණ ඇති බව පැවසෙන අනාථයන් සිය නාවික හමුදාවට කොටු වූ බව තහවුරු කිරනු ලැබීම හෝ ප්‍රතික්ෂේප කරනු ලැබීම ඕස්ට්‍රේලියානු ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.