ඉන්දීය ධීවරයන් නිදහස් කරන්න - ජනපති

අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් සියලු දෙනා නිදහස් කරන මෙන් ජනපති නියෝග කරයි
ඡායාරූප ශීර්ෂ වැකිය, අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් සියලු දෙනා නිදහස් කරන මෙන් ජනපති නියෝග කරයි

ශ්‍රී ලංකාවේ අත් අඩංගුවේ පසු වන සියලුම ඉන්දීය ධීවරයන් වහාම නිදහස් කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඉන්දියාවේ නව අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දෙන අවස්ථාවේ දෙරට අතර හොඳ හිත වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙවැනි තීරණයක් ගත් බවයි, <link type="page"><caption> ට්විටර් පණිවුඩයක්</caption><url href="https://twitter.com/PresRajapaksa" platform="highweb"/></link> මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයාගේ නියෝගයෙන් අනතුරුව අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් පස් දෙනකු ඉක්මනින්ම නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක සයියද් අක්බරුද්දීන් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කරන්නේ.

පාකිස්තානයේ අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් එක සිය පනස් දෙදෙනකුද නිදහස් කිරීමට පාකිස්තාන රජය තීරණය කොට තිබෙන බව ජනමාධ්‍ය වාර්තා කරයි.

එම ධීවරයන් පිරිස පිළිගැනීමට ඉන්දීය බලධාරීන් පිරිසක් පන්ජාබයේ ඉන්දීය පාකිස්තාන දේශ සීමාවට ගොස් සිටින බවද එම වාර්තාවල දැක්වේ.

ශ්‍රී ලංකා සහ පාකිස්තාන නායකයන් ගත් පියවර අගය කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන හෙට නව පදවියේ දිවුරුම් දීමට නියමිත නව ඉන්දීය නායකයා, යලි සියරට බලා එන ඉන්දීය ධීවරයන් තමන් සාදරයෙන් පිළි ගන්නා බවද සඳහන් කොට තිබේ.