ශ්‍රී ලංකා ජනපතිට වයිකෝ විරෝධය

ඡායාරූප මූලාශ්‍රය, mdmkparty
පාකිස්තාන් අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ්, ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී වන බව තහවුරු කොට තිබේ.
දෙරට අතර සම්බන්ධතා පළුදු වී ඇති අවස්ථාවක පාකිස්ථාන් අගමැතිවරයා ඉන්දියාවට පැමිණීම ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් කමක් ගනියි.
නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් සහභාගිවන බව තහවුරු කොට ඇති අතර ඊට තමිල්නාඩු දේශපාලකයන්ගෙන් බලවත් විරෝධයක් පළ වෙමින් තිබේ.
දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන ලබන සඳුදා කළු කොඩි රැගත් විරෝධතාවක් පවත්වන බවයි, එම් ඩී එම් කේ පක්ෂයේ මහලේකම් වයිකෝ අද සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහභාගි වීම දැඩි ලෙස හෙලා දකින බව එම නිවේදනයේ සඳහන් වේ.
මේ විරෝධය පැවැත්වෙන්නේ, ඔහු හඳුන්වා දෙන ආකාරයට,ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සමූලඝාතනය කිරීමට එරෙහිවයි.
කළු කොඩි විරෝධතා
තම නායකත්වයෙන් යුත් පක්ෂයේ සාමාජිකයන් විසින් සාමකාමී ලෙස කළු කොඩි විරෝධතාව පවත්වන බව ඔහු සිය නිවේදනයේ තවදුරත් සඳහන් කොට තිබේ.
අට සියයකට වැඩි පිරිසක් තමිල්නාඩුවේ සිට දුම්රියෙන් දිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි, බීබීසී දෙමළ සේවයේ චෙන්නායි වාර්තාකරු කේ.මුරලිධරන් පැවසුවේ.
කෙසේ වෙතත් එය සංකේතාත්මක විරෝධයක් පමණක් බවයි ඔහු තවදුරත් පැවසුවේ.








