අලි පැටවා පැහැර ගැනීමට ‘අම්මා මරා දමලා’

ඡායා රූ ගබඩාවෙන් - මේ වසර මුලදී අනවසරයෙන් රඳවා ගන සිටිය දී මුදා ගත් තවත් අලි පැටවෙක්.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඡායා රූ ගබඩාවෙන් - මේ වසර මුලදී අනවසරයෙන් රඳවා ගන සිටිය දී මුදා ගත් තවත් අලි පැටවෙක්.
    • Author, අජිත්ලාල් ශාන්ත උදය
    • Role, බීබීසී - රත්නපුර ප්‍රාදේශීය වාර්තා කරු

සන්නද්ධ පිරිසක් විසින් උඩවලව ජාතික වනෝද්‍යානයෙන් පැහැර යාමට තැත් කිරීමේදී ගම්මුන්ගේ දැඩි විරෝධය හමුවේ අත්හැර දමා ගිය අලි පැටවා වනෝද්‍යානයේ පල්ලෙබැද්ද, අගලකපුආර ප්‍රදේශයේදී සොයා ගත් බව වන ජීවි දෙපාර්තමේන්තුව පවසයි.

වයස අවුරුදු තුනත් හතරත් අතර වයසේ පසු වන අලි පැටවා අඩි තුන හමාරක් පමණ උසින් යුතු ගැහැණු සතෙක් බව පැවසේ.

මව් ඇතින්න මරා දැමීමෙන් පසු අලි පැටවා පැහැර ගැනීමට සැලසුම් කරන්නට ඇති බවයි, නම සඳහන් නො කරන මෙන් ඉල්ලා සිටි වන ජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් කියා සිටියේ.

අලි හොරකම ගැන හොඳ දැනුමක්

‘’ඇත්තටම අපි විශ්වාස කරන්නේ මේ පැටියාගේ අම්මා මරන්න ඇති කියලයි. අලි පැටියා කැලෙන් එළියට ගන්න නම් එහෙම කරන්නම වෙනවා. තුන් වෙනිදා උදේ ඉඳලා අපි මේ පැටියාගේ අම්මට උනේ මොකක්ද කියලයි හොයන්නේ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

“අම්මට වෙඩි තිබ්බා නම් ඒක කරන්න ඇත්තේ වනෝද්‍යානය ඇතුළෙදීම වෙන්න ඕනෑ. මේ අලි පැටව් හොරකමට අලි ගැන හොඳ දැනුමක් තියෙන අයගේ සම්බන්ධයක් තියෙන්නම ඕනි. එහෙම නැතුව මෙච්චර දේවල් කරන්න බෑ. ඔය අපි දැක්කේ ඒකෙ අන්තිම කොටස වෙන්නැති.’’

තරමක මත් වූ ස්වභාවයකින් පසු වූ අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටියි. අලි පැටවාගේ බාහිර තුවාල කිසිවක් පෙනෙන්න නැති බව ද නම හෙළි නො කළ වන ජීවී නිලධාරියා පැවසුවේය.

රැලෙන් වෙන් කරලා

ඡායාරූප මූලාශ්‍රය, Mahinda Pushpakumara

‘’මාසයකට හමාරකට පෙර මව් ඇතින්න මරන්න ඇති. ඊට පස්සේ අලි පැටියා රැලෙන් වෙන් කරලා ගෙනියන්න සුදානම් කරන්න ඇති,” යනුවෙන්ද ඔහු තවදුරටත් කියා සිටියේය.

“මේ සතා උඩවලව ඇත් අතුරු සෙවනට ගෙනත් බාන කොට අනික් අලීන්ගේ හඬට අලි පැටියා ප්‍රතිචාර දක්වපු විදියෙන් කාටත් හිතුනා මේ පැටියා පුනරුත්ථාපනය කළ අලි පැටියෙක් නෙවෙයි කියලා.’’

පැටවා පැහැර ගැනීමට තැත් කළ අපරාධකරුවන් විසින් ගෙනෙන ලද අංකයක් රහිත ට්‍රැක්ටර් රථයත්, ඒ තුල තිබී හමු වූ කඹ, යකඩ කේබල්, ලී දඬු, හා වෙනත් ආධාරක ඇතුළු නඩු භාණ්ඩ 10ක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් තුන් වන දා ඉදිරිපත් කෙරුණු බවත් වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියා වැඩි දුරටත් පැවසුවේය.