උඩවලවෙන් අලි පැටවකු පැහැර ගැනීමේ තැත වරදී

රජයේ වගකිවයුත්තෙකුගේ සහාය අපරාධකරුවන්ට ලැබී ඇති බව ගම්වාසීහු සැක පහල කරති

ඡායාරූප මූලාශ්‍රය, Mahinda Pushpakumara

ඡායාරූප ශීර්ෂ වැකිය, රජයේ වගකිවයුත්තෙකුගේ සහාය අපරාධකරුවන්ට ලැබී ඇති බව ගම්වාසීහු සැක පහල කරති
    • Author, අජිත්ලාල් ශාන්ත උදය
    • Role, බීබීසී - රත්නපුර ප්‍රාදේශීය වාර්තා කරු

උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවකු සොරකම් කරගෙන යෑමට පැමිණි සන්නද්ධ කණ්ඩායම් දෙකක් වනජීවී නිලධාරීන්ගේ සහ ගම්වාසීන්ගේ විරෝධය හමුවේ ට්‍රැක්ටරයක පටවාගෙන යමින් සිටි අලි පැටියා කැලේ දමා පලා යද්දී ඔවුන් අල්ලා පොලිසියට භාර දුන් පසුව මුදාහැර ඇති බවට ගල්පාය ගම්වාසීහු චෝදනා කරති.

ට්‍රැක්ටරයේ ලියාපදිංචි අංකයක් දක්නට නොතිබූ බවද ගම්වාසීහු පවසති.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවා පැහැරගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ පල්ලෙබැද්ද ගල්පාය ප්‍රදේශයේ දික්යායේ දී ගම්වැසියන් මග හරස් කර ඇති බව ආරංචි වී අලි පැටියා ට්‍රැක්ටරයෙන් බිමට දමා අති සුඛෝපභෝගී වාහන දෙකක් සමග කැලෙන් පිටව යාමට පැමිණි බවයි ඔවුන් පවසන්නේ.

ඒ අවස්ථාව රූ ගතකරමින් සිටි <link type="page"><caption> සිරස මාධ්‍ය ජාලයේ ප්‍රාදේශීය මාධ්‍යවේදී මහින්ද පුෂ්පකුමාර තේරසිංහ</caption><url href="http://newsfirst.lk/english/2014/05/attempt-kidnapp-elephant-calf-newsfirst-correspondent-assaulted-spot/33388" platform="highweb"/></link> වාහනයකට ඇද ගෙන පැහැරගෙන යාමට තැත් කළද ප්‍රදේශවාසීන් ඔහුව වාහනයෙන් එළියට ඇද බේරාගෙන තිබේ.

එහෙත් ඔහුගේ වීඩියෝ කැමරාව වාහනයේ සිටි අය උදුරාගත් බව කෑගසා පැවසූ විට එහි සිටි පොලිස් නිලධාරියෙක් එම වාහනය පසුපස දිවගොස් වීඩියෝ කැමරාව ආපසු ගෙනවිත් දුන් නමුත් එහි කැසටය ඉවත් කර තිබූ බවද මහින්ද තේරසිංහ බීබීසී සංදේශයට පැවසීය.

'රාජකාරිය පැහැර හැරලා'

මෙම සිදුවීමට පෙර උඩවලව වනෝද්‍යානය දෙසින් වෙඩි හඬවල් කිහිපයක් ඇසුණු බවද ගම්වාසීහු පවසති.

අපරාධයට පැමිණි පිරිස ගෙනා ට්‍රැක්ටරයේ කඹ, යකඩ කේබල්, ලී දඬු ආදියද තිබී ඇත. දෙනියාය ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් බව පැවසෙන අලි පටවාගෙන යන ලොරියක් ප්‍රධාන පාරේ නවතා තිබී ඇත. කැලේ සිට ට්‍රැක්ටරයෙන් ගෙනා අලි පැටියා ගෙන යන්නට එම ලොරිය ගෙන එන්නට ඇති බව ගම්වාසීන්ගේ මතයයි.

හොරෙන් ගෙනයන්නට තැත් කළ අලි පැටියා මෙල්ල කර ගැනීම පිණිස කිසියම් බෙහෙතක් එන්නත් කර ඇති බවට සැකකරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබෙන බව සංදේශය කළ විමසීමකදී කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, නිසි පරිදි රාජකාරිය ඉටු නොකළ බවට ගම්වාසීන් සහ මාධ්‍යවේදියා කරන චෝදනාව පිළිබඳවත් පරීක්ෂණ පවත්වන බව සඳහන් කළේය.

"මෙම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් යම් ආකාරයකට රාජකාරිය පැහැර හැරීමක් සිදු කරල ඇති බව පෙනී යනවා. මේ නිලධාරීන්ට විරුද්ධව අපි විනයානුකූලව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා," යනුවෙන්ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය.

කෙසේ නමුත් මේ වන තුරු කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගෙන නොමැති බව ඔහු කියා සිටියේය.

පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට නොගත්තේ රජයේ වගකිවයුත්තෙකුගේ සහාය මෙම අපරාධකරුවන්ට ලැබීම නිසා යැයි සැක කරන බවයි ගම්වාසීන් පවසන්නේ.