සමුළුවට දෙන සහාය යළි සලකා බලනවා -රනිල්

'මංගල සමරවීර අත්අඩංගුවට ගැනීම දේශපාලන පලි ගැනීමක්'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'මංගල සමරවීර අත්අඩංගුවට ගැනීම දේශපාලන පලි ගැනීමක්'

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා දෙන සහාය පිළිබඳ ව ඉදිරි දින කිහිපයේ දී නැවත සලකා බැලීමට සිදු වී ඇති බව එම පක්ෂය පවසයි.

පසුගිය ඔක්තෝබර් 5 වැනිදා මාතර දී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අත්අඩංගුවට ගැනීම පිළිබඳ ව සිය විරෝධය පළ කිරීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි එම අදහස් පළ වුණේ.

මංගල සමරවීර අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම නිසා කළ දේශපාලන පලි ගැනීමක් බව පවසන විපක්ෂ නායකවරයා කියා සිටියේ බලපිටියේ දී තමන්ටත් මහලේකම්වරයාටත් පහර දීමට උත්සාහ කළ පිරිස මෙලෙස අත්අඩංගුවට පත් නොවූ බවයි.