'පොලිස් තර්ජන': රතුපස්වලින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පානීය ජල අයිතිය ඉල්ලා සටන් වදින රතුපස්වල ජනතාවට පොලීසියෙන් සිදුවන තර්ජන හා බියවැද්දීම් නවත්වා දෙන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසම වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රතුපස්වල ජල ප්‍රශ්නයට විසඳුමක් ඉල්ලා සියනෑ ජල අයිතිය සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ රථ පෙළපාලියක් ඉරිදා ගම්පහ මිරිස්වත්තේදී පොලීසියේ නිලධාරීන් විසින් බලහත්කාරයෙන් නවත්වා තිබිණි.
ව්‍යවස්ථාවට පටහැණියි
ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් රථ පෙළපාලියට සහභාගී වූවන් බියවද්දා, සියල්ලන්ම අත් අඩංගුවට ගන්නා බවට තර්ජනය කර නවත්වා දැමූ බව සියනෑ ජල අයිතිය සුරකීමේ සංවිධානයේ කැඳවුම් කරු ප්‍රමිත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට පැවසීය.
පෙළපාළි සහ උද්ඝෝෂණ පැවැත්වීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ මූලික අයිතිවාසිකමක් බව පෙන්වා දෙන සියනෑ ජල අයිතිය සුරකීමේ සංවිධානය, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව ක්‍රියා කරන මෙවැනි පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද සිය පෙත්සම මගින් ඉල්ලා සිටියි.
මෙම සිදුවීමට අදාල පැමිණිල්ලක් ගම්පහ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ බවද ප්‍රමිත හෙට්ටිආරච්චි සඳහන් කළේය.




