නවී පිල්ලේ හමුවූ දෙමළ වැසියන්ට 'හමුදාවෙන් තර්ජන'

- Author, අසාම් අමීන්
- Role, බීබීසී කොළඹ වාර්තාකරු
මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය උතුරේ සංචාරය කළ අවස්ථාවේ ඇය හමුවූ පුද්ගලයන්ට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් තර්ජන එල්ල වී ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.
දෙමළ ජාතික සන්ධානය කොළඹදී නවී පිල්ලේ හමුවූ අවස්ථාවේ මේ පිළිබඳව ඇයට දැනුම් දුන් බව සන්ධානයේ උතුරු පළාත් සභා මහ ඇමති අපේක්ෂක සීවී විග්නේශ්වරන් බීබීසී සංදේශයට කියා සිටියේය.
"ඒක නම් හරි වැරදි වැඩක්. මිනිස්සු තමන්ගේ ප්‍රශ්න කියන්න යන කොට හමුදාවෙන් හරි කාගෙන් හරි ඒගොල්ලන්ට හිරිහැරයක් කරනවා නම් ඒක වැරැද්දක්," යනුවෙන්ද ඔහු කියා සිටියේය.
මේ සතිය මුලදී මහ කොමසාරිස්වරිය උතුරේ සංචාරය කළ අවස්ථාවේ, අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඇතුළු සාමාන්‍ය වැසියන් පිරිසක් ඇය හමුවී සිය දුක් ගැනවිලි ඉදිරිපත් කළහ.
'බොරු චෝදනා'

සිය සන්ධානයේ නියෝජිතයන් සමඟ අද පැවති සාකච්ඡාවේදී උතුරේ පවතින වාතාවරණය පිළිබඳව නවී පිල්ලේ දැනුවත් කළ බව ද විග්නේශ්වරන් පැවසීය.
කෙසේ නමුත් මහ කොමසාරිස්වරිය හමුවූ පුද්ගලයන්ට තර්ජනය කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එය විග්‍රහ කළේ, ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක් ලෙසින්.
"ටීඑන්ඒ එක ඔය වගේ දේවල් කියන එක ගැන මම පුදුම වෙන්නේ නෑ. ඔය වගේ බොරු චෝදනා ඉදිරිපත් කරලා රට අපකීර්තියට පත් කරන එකනේ එයාල හැමදාම කළේ," යන්න එම චෝදනාවට ඇමතිවරයාගේ ප්‍රතිචාරයයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ 2009 දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් සමඟ එළඹුණු එකඟතාවය කඩ කොට තිබෙන බව සිය පක්ෂයේ සය-පුද්ගල නියෝජිත පිරිස ඇයට පෙන්වා දුන් බවද සීවී විග්නේශ්වරන් සංදේශයට කියා සිටියේය.
මේ අතර ආණ්ඩුවේ ආරක්ෂක අංශවල පමණක් නොව කොටි සංවිධානයේ අපරාධ පිළිබඳව ද සොයා බලන මෙන් නවී පිල්ලේ ගෙන් ඉල්ලා සිටිමින් 'යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ සංවිධානය' කොළඹ දී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.








