ආණ්ඩුව උතුරේ ජනතාව ත්‍රස්තවාදයට තල්ලු කරනවා - සජිත්

Sajith Premadasa, MP
ඡායාරූප ශීර්ෂ වැකිය, "විසඳුම රටේ පළාත් අටක පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරලා තව පළාතකට පළාත් සභා ක්‍රමය අහිමි කිරීම නෙවෙයි"

උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී පමණක් පළාත් සභා පිළිබඳව ප්‍රශ්න කරමින් ආණ්ඩුව උතුරේ ජනතාව යලිත් වරක් ත්‍රස්තවාදය වෙතට තල්ලු කරන බව විපක්ෂ මන්ත්‍රීවරයෙක් පවසයි.

කොළඹ දී මාධ්‍යවේදීන් හමුවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, උතුරේ පළාත් සභා මැතිවරණය කල් දමමින් දෙමළ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ද ආණ්ඩුවට චෝදනා කළේය.

කෙසේ නමුත් පළාත් සභා ක්‍රමය යනු ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන යාන්ත්‍රනය බවට කෙරෙන ප්‍රකාශ තමා පිළි නොගන්නා බව ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසයි.

'සුදු අලියෙක්'

"මම ඇත්ත වශයෙන්ම දකිනවා පළාත් සභා සුදු අලියෙක් කියල. පළාත් සභාවලින් රටේ මුදල් සම්පත් කාබාසිනියා කිරීමක් සිදු වෙනවා," යනුවෙන් ද ඔහු පැවසීය.

"නමුත් ඒකට විසඳුම රටේ පළාත් අටක පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරලා තව පළාතකට පළාත් සභා ක්‍රමය අහිමි කිරීම නෙවෙයි."

දෙමළ ජාතික සන්ධානය 'එල්ටීටීඊ යේ දේශපාලන අංශය' ලෙසින් විග්‍රහ කරමින් ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ගෙන යන ව්‍යාපාරය ද මන්ත්‍රීවරයාගේ දැඩි විවේචනයට ලක් විය.

"හැමදාම කොටි, කොටි, කොටි කියල මිනිස්සු හංවඩු ගහන එකෙන් මොකක්ද වෙන්නේ?" ඔහු ප්‍රශ්න කරයි.

සංශෝධනයට සහාය

Ministers who oppose reducing powers of PCs (photo: Azzam ameen)
ඡායාරූප ශීර්ෂ වැකිය, හෙළ උරුමයේ සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ඉඩ නොදෙන බවට ඇමතිවරු පිරිසක් සපථ කළහ

පළාත් සභාවලට උරුම බලතල සීමා කිරීමට ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කොට ඇති සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ඉඩ නොදෙන බවයි රාජිත සේනාරත්න, තිස්ස විතාරණ හා වාසුදේව නානායක්කාර ඇතුළු ඇමතිවරුන් පිරිසක් කොළඹදී ඊයේ මාධ්‍ය වේදීන් අමතා කියා සිටියේ.

කෙසේ වෙතත් පළාත් සභා බලතල කප්පාදු කැරෙන යෝජනා වලට සහාය නොදෙන බව ප්‍රකාශ කළ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක පළාත් සභා මන්ත්‍රීවරු එම ව්‍යවස්ථා සංශෝධන අනුමත කරමින් සබරගමු පළාත් සභාවේ දී ඡන්දය ප්‍රකාශ කළහ.

සංශෝධනයට සහාය පළ කරන යෝජනාව දකුණු පළාත් සභාවේදී එක වැඩි ඡන්දයකින් සම්මත වී ඇත්තේ ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේද විරෝධය මැදයි.