එල්ටීටීඊයට ආයුධ දුන්නේ සංවිධානය බෙදීමට - සජිත්

ජනාධිපති ප්‍රේමදාස කොටි සංවිධානයේ කණ්ඩායමකට ආයුධ ලබා දුන්නේ එල්ටීටීඊ නායකත්වය ට එරෙහිව කටයුතු කිරීම සඳහා බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසයි.
ජනාධිපති ප්‍රේමදාස විසින් කොටි සංවිධානයට ආයුධ ලබා දීම මෙන්ම නැගෙනහිර පොලිස් නිලධාරීන් පිරිසක් එල්ටීටීය විසින් මරා දැමීම ජනාධිපති මහින්ද රාජපක්ෂ හැඳින්වූයේ එක්සත් ජාතික පක්ෂ පාලකයන් විසින් කරන ලද පාවාදීමක් ලෙසින්.
එහෙත් එම චෝදනා දෙකම තරයේ ප්‍රතික්ෂේප කරන ජනාධිපති ප්‍රේමදාසගේ පුත්‍රයා, සජිත්, බීබීසී සංදේශයට කියා සිටියේ ජනාධිපති ප්‍රේමදාස එල්ටීටීය කෙරේ තැබූ විශ්වාසය වැරදී යාමෙන් පොලිස් නිලධාරීන් මරුමුවට පත් වූ බවයි.
"රජයත් කොටි ත්‍රස්තවාදීන් අතරත් යම්කිසි අවබෝධතාවයක් තිබුණු මොහොතක හීනෙකින්වත් නොහිතපු අවස්ථාවකයි මේ ඛේදවාචකය සිදුවුනේ," ඔහු පැවසීය.
ඉන්දීය හමුදා උතුරේ රඳවා තැබීමට විරුද්ධව සිටි ආර් ප්‍රේමදාස ජනාධිපති වරයා එම හමුදා සමග සටන් වැද සිටි දමිළ විමුක්ති කොටි සංවිධානයට රහසේ ආයුධ සැපයූ බව මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව ඝාතනය විමසූ ජනාධිපති කොමිසමේදී හෙළිවිය.
2002 දී කොටි සංවිධානය සමඟ අත්සන් තැබූ සටන් විරාම ගිවිසුම මගින් රට පාවා දීමට පියවර ගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ එජාපයට එල්ල කළ තවත් චෝදනාවක්.
එයට ප්‍රතිචාරය දක්වන සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසන්නේ, "කෙතරම් අඩු පාඩු තිබුනත්" නැගෙනහිර එල්ටීටීඊ නායකයන් සංවිධානයෙන් ඈත්වීමට "ප්‍රධානම සාධකය" වූයේ සටන් විරාම ගිවිසුම බවයි.




