යුද්ධයේදී මිය ගිය පිරිස් සිහි කිරීමට පැමිණි 15 දෙනෙක් අත්අඩංගුවේ

යුද්ධයේදී මිය ගිය දෙමළ ජනතාව සිහි කිරීමේ උත්සව වලට සහභාගිවූ පිරිසක් මන්නාරමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එම පිරිස් ප්‍රභාකරන්ගේ ජායාරුප රැගෙන ගමන් ගත් නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

පහළොස්දෙනකුගෙන් යුත් මේ පිරිස අත් අඩංගුවට ගන්නා ලද්දේ මන්නාරම පොලීසිය විසින්.

ඔවුන් බැලීමට පොලීසිය වෙත ගිය දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම් පැවසුවේ අත්අඩංගුවේ සිටින පිරිස අතර දෙමළ ජනතා පෙරමුණේ සාමාජිකයන් පිරිසක්ද මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකුද සිටින බවයි.

ඒ අතර කාන්තාවන් හත්දෙනකුද සිටින බව ඔහු පැවසුවේය.

මන්නාරම පොලීසියේ ජේෂ්ට පොලිස් නිලධාරියෙක් පැවසුවේ ප්‍රභාකරන්ගේ ජායාරුප රැගෙන මළවුන් සිහිකිරීමේ උත්සවයකට සහභාගී වීමට යමින් සිටි නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

එහෙත් එය සංවිධානය කළ පිරිස් පොලීසිය කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළහ.

දෙමල ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා වවුනියාව නගර සභා ශාලාවේ පැවති මිය ගිය පිරිස් සිහිපත් කිරීමේ උත්සවයේදී රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ දෙමළ ජනතාවගේ කඳුළු කිසි දිනක කිසිදු රජයකට මැකිය නොහැකි බවයි.

උත්සවයට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ කොළඹ පැවැත්වූ විජයග්‍රාහී උත්සවයට යම්කිසි තර්කානුකුලභාවයක් ඇත්ද ඊට වඩා වැඩි තාර්කික බවක් වවුනියාවේ මළවුන් සිහිපත් කිරීමේ උත්සවයට ඇති බවයි.

එය දේශපාලන වාසි තකා සිදු කෙරෙන්නක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

වවුනියාව නගර සභා ශාලාවේ පැවති උත්සවයට සභාගි නොවන ලෙසට ආරක්ෂක අංශ විසින් ඊයේ සවස සිට දැනුම් දී ඇත.

එම උත්සවය වාර්තා කිරීමට පැමිණි වාර්තාකරුවන්ගේ දුර කථනවලට කිසියම් පිරිසක් විසින් නගර සභා ශාලාවේ බෝම්බයක් තිබෙන බවට වරින් වර ඇමතුම් දී තිබේ.