අවතැන් වූ සිංහල ජනතාවටත් 'ඡන්ද අයිතිය දිය යුතුයි'

උතුරෙන් පළවා හරිනු ලැබ පළාත් සභාවෙන් පිටත ජීවත් වන සිංහල ජනතාවටත් පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉඩ සලසා දෙන ලෙස ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂයක් ඉල්ලා සිටියි.
යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට ඔවුන් වර්තමානයේ වාසය කරන ප්‍රදේශවල සිට උතුරු පළාත් සභා මැතිවරණයේදී ජන්දය ලබා දීමට හැකිවන අලුත් පණතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය රවූෆ් හකීම් ප්‍රකාශකොට තිබුණි.
එහෙත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසන්නේ සිංහල ජනතාවට උතුරින් පිටත ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉඩ සලසා නොදෙන්නේ නම් මැතිවරණයට පෙර ඔවුන් නැවත උතුරේ පදිංචි කරවිය යුතු බවයි.
එසේ නොකරන්නේ නම් උතුරු පළාත් සභා මැතිවරණය කල් දැමිය යුතු බවද උතුරේ පළාත් සභා මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු වල යෙදී සිටියදී බීබීසී සංදේශය සමඟ අදහස් පළ කළ ඔහු පැවසීය.
උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ පවත්වන බව ජනාධිපතිවරයා නිවේදනය කොට තිබේ.
යුද්ධයෙන් පළා ගිය දෙමළ ජනතාවගේ මුල් ගම් බිම් වල රජය දකුණෙන් ගෙනා සිංහල ජනතාව පදිංචි කරවන බවට චෝදනා කරන උතුරේ දෙමළ පක්ෂ හා සංවිධාන තවමත් යලි පදිංචි කරවා නැති ඡන්ද දායකයන් හා විදේශගත දෙමළ ප්‍රජාව සඳහා ඡන්දය පාවිච්චි කිරීමේ පහසුකම් සලසන ලෙස මැතිවරණ කොමසාරිස් වරයා හමුවී ඉල්ලීමක් කොට තිබුණි.




