යුද්ධයේදී ෂෙල් ගැහුවේ කවුදැයි දන්නේ නෑ - නාමල් රාජපක්ෂ

එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ අවසාන භාගයේදී සාමාන්‍ය ජනතාවට ෂෙල් ප්‍රහාර එල්ල වූයේ රජයේ ආරක්ෂක හමුදාවලින්ද නොඑසේනම් එල්ටීටීඊ යෙන්ද යන්න පැහැදිලි නැති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.
යුද්ධයෙන් විනාශ වූ උතුරු පළාතේ යළි ඉදිකිරීම් සම්බන්ධීකරණය භාරව කටයුතු කරන මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් සමඟ කිලිනොච්චියේදී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.
සිව් වසරක් ගතවීත් උතුරේ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂා භංගත්වය හා කම්පාව තම රජය විසින් නොතකා හැර ඇතැයි යන්න ප්‍රතික්ෂේප කළ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ අතුරුදහන් වීමක් ගැන පොලිසියේ පැමිණිල්ලක් ඇත්නම්, ඒ ගැන පොලිසිය නිසියාකාර පරීක්ෂණ සිදු කරනු ඇති බවට විශ්වාසය පළ කළේය.
කුරාම් ෂයික් ඝාතනය
සාමාන්‍ය ජනතාව යුද්ධයේදී මරුමුවට පත්වීම සහ උතුරේ අතුරුදහන් වීම ගැන බීබීසී යේ චාල්ස් හැවිලන්ඩ් ජනාධිපති පුත්‍රයාගෙන් විමසා සිටියේ තමනට තවමත් යුක්තිය ඉටුවී නැති බව පීඩාවට පත් ඥාතීන් ලබා දුන් තොරතුරු ආශ්‍රයෙන්.
යුද්ධයෙන් අනාථ වූ දස දහස් සංඛ්‍යාත පිරිසක් උතුරේ පමණක් නොව දකුණේද සිටින බව පවසන මන්ත්‍රීවරයා, ඒ සියලු දෙනාට සහන සැලසීම ආණ්ඩුවේ බලාපොරොත්තුව බව පැවසීය.
2011 නත්තල් දින රාත්‍රියේ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් තංගල්ලේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද චාර්ල්ස් හැවිලන්ඩ් කළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේය.
එම ප්‍රකාශය පිලිබඳ ප්‍රසාදය පළ කරන ෂයික් ජීවත්වූ ආසනය භාර බ්‍රිතාන්‍ය මන්ත්‍රී සයිමන් ඩන්චුක්, එම ඝාතනය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි සිදු වූ බව රහසක් නොවන්නේ යයි මාධ්‍ය අමතා ප්‍රකාශ කොට තිබේ.




