චීන ධීවරයන් චීන නිලධාරීන්ට භාර දුන්නා - නාවික හමුදාව

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සඳුදා රඳවා ගන්නා ලද චීන ජාතික ධීවරයන් 37 දෙනා චීන ජාතික නිලධාරීන්ට භාර දුන් බව නාවික හමුදාව කියයි.
ඔවුන් නිදහස් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් නැගෙනහිර පළාතට ගොස් සිටින බව ෂින්හුවා චීන නිළ පුවත් සේවය වාර්තා කොට තිබුණි.
ධීවරයන් පිරිස චීන නිලධාරීන්ට භාර දුන් බවයි, නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ.
කෙසේ නමුත්, ඔවුන් ගමන් කළ යාත්‍රා දෙකේ අයිතිකරු, ආරුගම්බේ මැරයින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජමාල්දීන් මොහොමඩ් සැකරියා බීබීසී සංදේශයට කියා සිටියේ ඔවුන් කොතැනක සිටින්නේ දැයි තමන් තවමත් නොදන්නා බවයි.
චීන ජාතිකයන් පිරිස අත් අඩංගුවට ගෙන ඇතැයි ෂින්හුවා චීන නිළ පුවත් සේවය වාර්තා කරන නමුත් ඔවුන් වෙනත් භාෂාවක් කතා නොකරන බැවින් ඔවුන් අත් අඩංගුවට නොගත් බවයි, පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සංදේශයට කියා සිටියේ.
මේ තත්ත්වය හමුවේ ඔවුන් ගේ සැබෑ ඉරණම පිළිබඳව කිසියම් අවිනිශ්චිත වාතාවරණයක් උදා වී ඇති බවයි, කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පවසන්නේ.
ඉතා සුහද සම්බන්ධතා පවතින ශ්‍රී ලංකාව සහ චීනය අතර හටගත් ඉතා දුර්ලභ රාජ්‍යතාන්ත්‍රික මතභේදයක් ලෙසිනුයි, ඔහු මෙම සිදුවීම විග්‍රහ කරන්නේ.
මේ අතර චීන ජාතිකයන් පිරිස සමඟ අත් අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ඊයේ සඳුදා මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කරන ලදුව ඇප මත නිදහස් කරනු ලැබ තිබේ.








