ඇමෙරිකානු ජේ කෲ සමාගම ශ්‍රී ලංකාවෙන් ඇනවුම් නවත්වයි

Garment factory workers in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, REUTERSAndrew CaballeroReynolds

ඡායාරූප ශීර්ෂ වැකිය, සේවක සේවිකාවන්ගේ වෘත්තීය සමිති අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම මඟින් මිරායි සමාගම ආචාර ධර්ම පද්ධතීන් නොසලකා හැර ඇතැයි ජේ කෲ සමාගම පවසයි

ශ්‍රී ලංකාවේ මිරායි සමාගම සිය සමාගමේ සේවක සේවිකාවන්ගේ වෘත්තීය සමිති අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම මඟින් සමාගමේ ආචාර ධර්ම පද්ධතීන් නොසලකා හැර ඇතැයි පවසමින් ඇමෙරිකාවේ ජේ කෲ සමාගම මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන ආනයනය කිරීම අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ, බහු ජාතික සමාගමක් ශ්‍රී ලංකා සමාගමකට දුන් ඇනවුම් ඉවත් කරගත් ප්‍රථම වතාව මෙය බවයි, වෘත්තීය සමිති පවසන්නේ.

ඇඟලුම් කර්මාන්තයේ ඇමෙරිකානු දැවැන්තයාගේ මේ තීරණය ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රබල අනතුරු ඇඟවීමක් බවයි, ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජිනීවා නුවර මූලස්ථාන කොටගත් ඉන්ඩස්ට්‍රිඕල් ගෝලීය වෘත්තීය සමිතිය පවසන්නේ.

කෙසේ වුවද, ජේ කෲ සමාගමේ මෙම තීරණයට හේතුව වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වය බව පවසමින් ශ්‍රී ලංකා සේව්‍ය සම්මේලනය එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ශේප කරන ඉන්ඩස්ට්‍රිඕල් ගෝලීය වෘත්තීය සමිතිය, එම තීරණයට ප්‍රධානම හේතුව මෙම ගැටලුව සාකච්චා මාර්ගයෙන් විසඳා ගැනීමට නිදහස් වෙළඳ කලාපයේ පැරණිතම සමාගමක් වන මිරායි සමාගම ප්‍රතික්ෂේප කිරීම බව ජේ කෲ සමගම පැහැදිලිව සඳහන් කොට ඇති බව ද පෙන්වා දේ.

ජාත්‍යන්තර ප්‍රජාවේ පණිවුඩය

සමාගමේ සේවකයන් සහ හාම්පුතා අතර හටගත් මතභේදයකදී ශ්‍රී ලංකාවේ කම්කරු කොමසාරිස්වරයා ද වෘත්තීය සමිති නොසලකා හරිමින් පක්ෂග්‍රාහීව ක්‍රියා කළ බවයි, නිදහස් වෙළඳ කලාප වෘත්තීය සමිති සම්මේලනයේ ඇන්ටන් මාක්ස් බීබීසී සංදේශයට කියා සිටියේ.

"දිගින් දිගටම පලිගැනීම කරලා, වෘත්තීය සමිතියේ නිලධාරීන්ට, වැඩපොළේ කම්කරුවන්ට ශාරීරිකව පහර දුන්න වැඩපොළ ඇතුලෙ. වෘත්තීය සමිතියේ ලේකම් සේවයෙන් පහ කෙරුව. සමිතියේ සභාපති ඇතුළු නිලධාරීන්ට වැඩ කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා ඔවුන් ඉල්ලා අස්වුණා," බව ඔහු පැවසීය.

ආණ්ඩුව හෝ කම්කරු දෙපාර්තමේන්තුව මේ තර්ජන සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් තත්ත්වය පිළිබඳව ජේ කෲ සමාගමට පැමිණිලි කිරීමට වෘත්තීය සමිතියට සිදු වූ බවයි, ඔහු පවසන්නේ.

"ජේ කෲ සමාගමේ චාර ධර්ම පද්ධතියේ පැහැදිලිව කියල තියෙනවා වෘත්තීය සමිතියකට බැඳීමට තියෙන අයිතියට සමාගම ගරු කළ යුතුයි කියල," ඇන්ටන් මාක්ස් වැඩිදුරටත් පැවසීය.

"කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව සූදානම්ව සිටිනවය කියන පණිවුඩය තමයි මේකෙන් ලැබිල තියෙන්නේ."