ශ්‍රී ලංකාවේ වෙළෙඳ ක්ෂේත්‍රයට යළිත් සෞභාග්‍යය උදාවෙයි ද?

Tourists on a beach in Sri Lanka last year

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව තවමත් කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමට පැමිණ නැත.
    • Author, බෙන් චූ
    • Role, ආර්ථික සංස්කාරක, නිව්ස්නයිට්

ශ්‍රී ලංකාව, එහි ජනාධිපතිවරයාගේ වචනවලින් ම කිවහොත්, "බංකොලොත්" ය.

ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව 2022 මැයි මාසයේදී සිය ස්වෛරී ණය ගෙවීම් පැහැර හැර, රට ආර්ථික හා දේශපාලන අවුල් ජාලයකට ඇද දැමීය.

ශ්‍රී ලංකා රජය පසුගිය සැප්තැම්බරයේ ප්‍රතිපත්තිමය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක (පවුම් බිලියන 2.4) මූල්‍යධාරයක් ලබා ගැනීමට සමත් විය.

එහෙත් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය හිමියන් වන චීනය සහ ඉන්දියාව ඔවුන් ලබා දුන් ඩොලර් බිලියන ගණනක ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රථමයෙන් එකඟ වන තුරු එම මුදල් ශ්‍රී ලංකාවට නිකුත් නොකෙරෙනු ඇත.

එවැනි ගිවිසුමක් ආසන්නයේ පවතින බවට පසුගිය මාසය පුරා ශුභවාදී රාවයක් පැවතිය ද, ගනුදෙනුවක් තවමත් ක්‍රියාත්මක වී නොමැති අත‍ර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ එහි ජනතාව විඳින දුක් වේදනා ඉදිරියට ඇදී යයි.

එහෙත්, ඉදිරි සතිවල හෝ මාස කිහිපය තුළ එම මුදල් ගලා ඒමට පටන් ගත්ත ද, එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැගීමේ වැඩසටහනේ අවසානය සනිටුහන් කිරීමක් නොව හුදෙක් එහි ආරම්භය පමණක් වනු ඇත.

මක්නිසා ද යත් ශ්‍රී ලංකාවේ ආර්ථික මොඩලයට මූලික ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව බොහෝ දෙනා පිළිගන්නා බැවිනි.

2009දී වසර 25ක යුද්ධයේ ම්ලේච්ඡ අවසානයෙන් පසු වසරවලදී, ශ්‍රී ලංකාව මූල්‍යමය ආකාරයේ "සාමයේ ලාබාංශවලින්" ප්‍රතිලාභ ලැබුවේ ය.

එකල රජය චීනය වැනි විදේශීය රජයන්වලින් පමණක් නොව, පෞද්ගලික ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගෙන් ද විශාල විදේශ ආයෝජන ප්‍රවාහයන් සාර්ථකව ආකර්ෂණය කර ගත්තේ ය.

මෙම මූල්‍ය ප්‍රවාහ දේශීය ආර්ථික වර්ධනය ඉහළ නැංවූ නමුත් අසමතුලිතතා ඇති කළේ ය.

මෙම වසර කිහිපය තුළ දේශීය ආර්ථිකය ක්‍රමානුකූලව වර්ධනය වූයේ, ජාත්‍යන්තර වශයෙන් මද තරගකාරීත්වයකිනි. ඩොලර් බිලියන 6.5 සිට ඩොලර් බිලියන 19.4ක් දක්වා 2000 සිට 2018 දක්වා අපනයන අඛණ්ඩව ඉහළ ගිය අතර, එම කාල සීමාව තුළ ආර්ථිකයේ කොටසක් ලෙස ඒවා 39% සිට 23%ක් දක්වා පහත වැටිණි.

2020දී වසංගතයට ගොදුරු වී රටට වැඩි ආදායමක් ගෙන දුන් සංචාරක කර්මාන්තය කඩා වැටීමට ත් පෙර ශ්‍රී ලංකාවේ වෙළෙඳ කටයුතුවල පැවති අඩුව, එනම් ආනයන හා අපනයන අතර පැවති පරතරය, ඒ වන විටත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%කට වඩා වැඩි අගයක පැවතිණි.

ණය ගෙවීම් පැහැර හැරීම ශ්‍රී ලංකාවට මෙතරම් තදින් බලපෑමට එම අසමතුලිතතාව එක් හේතුවකි. ඒ හේතුවෙන් හදිසියේ ම අත්‍යවශ්‍ය සැපයුම් වන ආහාර සහ ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය විදේශ මුදල් උත්පාදනය කර ගැනීමට ක්‍රමයක් නැති තරම් ශ්‍රී ලංකාව දිළිඳු විය.

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව යන ගමනේදී එම අසමතුලිතතාව ඇති වීමට මූලික වුණු හේතුව කෙරෙහි අවධානය කළ යුතු බව සහ විශේෂයෙන් අපනයන ඉහළ නැංවීම කළ යුතු බව, 2022 ජූලි මාසයේදී අපකීර්තියට සහ අපහාසයට පත් ගෝඨාභය රාජපක්ෂ රටින් පළා යාමෙන් පසු ජනාධිපති ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහට පැහැදිලි ය.

"අපි ඉතා තරගකාරී අපනයනාභිමුඛ ආර්ථිකයක් බවට පරිවර්තනය විය යුතුයි," ඔහු පසුගිය වසරේ ප්‍රමුඛ පෙළේ දේශීය ව්‍යාපාරිකයින්ට පැවසීය.

"වෙන මගක් නෑ. අපි මිලියන 22ක ජනතාවක් ඉන්න රටක්. අපිට පිටින් වෙළඳපොළවල් හොයාගන්න වෙනවා."

එබැවින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුව ඇති විශාල ආර්ථික ප්‍රශ්නය නම්: මෙය කළ හැකි ද? රටේ වෙළෙඳ ක්ෂේත්‍රයට නැවතත් සෞභාග්‍යය උදාවෙයි ද? යන්නයි.

16 වන සියවසේදී යුරෝපීය යටත් විජිතවාදීන් ආකර්ෂණය කර ගත් කුරුඳුවලින් ආරම්භ වූ කෘෂිකාර්මික නිෂ්පාදන සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන විය. අදටත් ප්‍රධාන අපනයන වෙළෙඳ භාණ්ඩය තේ ය.

Sri Lankan tea pickers
ඡායාරූප ශීර්ෂ වැකිය, තේ වගාව ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගනී

එහෙත් අස්වැන්න පහෙන් පංගුවකින් අහිමි කළ පසුගිය රජය විසින් 2021 වසරේ පොහොර ආනයනය සඳහා පනවන ලද විනාශකාරී තහනමක් හේතුවෙන් තේ කර්මාන්තය තවමත් ගමන් කරන්නේ අවිනිශ්චිත මගක ය.

අනාගතය දෙස බලන විට, කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම ප්‍රතිපත්ති සම්පාදකයින්ට ගවේෂණය කළ හැකි පැහැදිලි මාර්ගයකි.

එහෙත් තේ කර්මාන්තයේ නියැලෙන බොහෝ සමාගම්, ශත වර්ෂ දෙකකට පෙර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් වතු වගාවන් ආරම්භ කරන ලද කාලයේ මෙන් තවමත් අතින් දේ දළු නෙළන්නන් ලෙස ඔවුන්ව හඳුන්වා ගනී.

ඊට අමතරව, නුවරඑළිය පේද්‍රෝ වතුයායේ සාමාන්‍යාධිකාරී රොෂාන් රාජදුරෙයි පවසන්නේ, එහි සේවකයින් නව, වඩා ත් කාර්යක්ෂම තේ දළු නෙළීමේ ක්‍රම ප්‍රතික්ෂේප කරන බව ය.

ඔහුට අවශ්‍ය වන්නේ, විශාල සාම්ප්‍රදායික වැඩ කණ්ඩායම්වල ස්ථාවර දෛනික පැය ගණනක් වැඩ කරනවාට වඩා, දළු නෙළන්නන්ට සහ ඔවුන්ගේ පවුල්වලට තමන්ගේ ම පැය ගණන සකස් කර ගෙන, ඔවුන් විසින් ම අස්වැන්න නෙළා ගනු ලබන වගාවේ තනි කොටස් ලබා දෙන ආකෘතියකට යාමට ය.

රාජදුරෙයි මහතා පවසන පරිදි, එය ප්‍රතිසංස්කරණයක් වන අතර එම ක්‍රමවේදය යොදා ගත් අවස්ථාවලදී අස්වැන්න වැඩි වන බව ඔප්පු වී ඇත. නමුත් ඔහු පවසන්නේ, දළු නෙළන්නන් ඊට විරුද්ධ වන බව ය.

"මම හිතන්නේ ඉහළ යන පිරිවැය සහ අපගේ නිෂ්පාදන සඳහා ලෝක වෙළඳපොළේ අපට ලැබෙන වෙනස් වෙන්නේ නැති මිල ගණන් එක්ක, අපි ඒක නොකළොත් අපට දිගු කාලයක් දරාගෙන ඉන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ," ඔහු අනතුරු අඟවයි.

රෙදිපිළි - බටහිර සන්නාම සඳහා ඇඟලුම් නිෂ්පාදනය - ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳාමේ තවත් ප්‍රධාන ප්‍රභවයකි.

නමුත් තේවලටත් වඩා වැඩි වශයෙන් මෙය රඳා පවතින්නේ, වසංගතය සහ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති ආනයනික අමුද්‍රව්‍ය සහ ඉන්ධන මත ය.

මෙම වසරේ එම මිල ගණන් පහළ යා යුතු නමුත් යථාර්ථය නම්, තේ සහ රෙදිපිළි සෑම විට ම වැදගත් වුව ද ඒවා ශ්‍රී ලංකාව ගෝලීය අපනයන වටිනාකම් දාමයෙන් ඉතා ඉහළට තල්ලු කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක යන්න ය.

එසේ නම් ශ්‍රී ලංකාවට අපනයනය කළ හැකි අනෙක් දෑ මොනවා ද?

නිව්ස්නයිට් ජනවාරි මාසයේදී කළාක් මෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විශ්ලේෂකයින් සමග කතා කිරීමේදී කැපී පෙනෙන දෙය නම්, පුළුල් සැලැස්මක් පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම ය.

ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සඳහා රාජ්‍ය අනුග්‍රහය ලද මැලේසියාව හෝ වියට්නාමය වැනි අනෙකුත් ආසියාතික රටවල් මෙන් නොව, රටට වාසියක් ලබා ගත හැකි සහ ලබා ගත යුතු සුවිශේෂී ක්ෂේත්‍රයක් ගැන අසන්නට තරම් හෝ කිසිවෙකුටත් පුළුල් අවබෝධයක් නොමැත.

අනාගත ජාතික ශූරයෙකු වීමට ආසන්නතම ක්ෂේත්‍රය වරාය සේවා විය හැකි ය.

Cargo being unloaded at the Port of Colombo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසා එහි වරාය භාවිතය වැඩි කිරීමට හැකියාව ලැබේ

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසන්නේ, ඉන්දියන් සාගර නැව් මංතීරු මධ්‍යයේ ඇති ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම, "නැව්ගත කිරීම්වල" ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වීමට අවස්ථාවක් ලබා දෙන බව ය.

"වරාය සහ සැපයුම් කියන්නේ, අපට අපනයන ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පවතින තැනයි" ඔහු පවසයි.

ලෝකයේ තොග භාණ්ඩ ප්‍රමාණයෙන් තුනෙන් එකක් සහ තෙල්වලින් තුනෙන් දෙකක් ඉන්දියන් සාගරය හරහා ප්‍රවාහනය කෙරෙන බවට ගණන් බලා ඇත.

නමුත් ඇතැම් විට පැහැදිලි ජාතික සැලැස්මක් නොමැති වීම ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ මූලික කරුණු නිවැරදිව ලබා ගැනීම තරම් වැදගත් නොවේ.

පසුගිය වසරේ අර්බුදයේ බලපෑමට ලක් වූ අවස්ථාවේදී, ශ්‍රී ලංකා රජය රුපියල පා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩකින් අඩු විය. ඇතැමුන් සිතන්නේ, පාවෙන විනිමය අනුපාතයක් තබා ගැනීම අවසානයේ අපනයන ඉහළ නැංවීමට උපකාරී වනු ඇති බව ය.

"[අතීතයේදී] වෙළඳපොළ බලවේගවලට අනුව බාල්දු වෙන්න හෝ ඒ අනුව හැඩගැහෙන්න අපි ඉඩ දුන්නේ නෑ, ඒ නිසා මූලික වශයෙන් අපනයනය අධෛර්යමත් වුණා," යැයි හිටපු මහ බැංකු අධ්‍යක්ෂවරයෙකු වන ඇඩ්වොකාටා හි රොෂාන් පෙරේරා පවසයි.

ලෝක බැංකුව විසින් හඳුනා ගනු ලැබ ඇති ප්‍රතිසංස්කරණ සඳහා සුදුසු තවත් ක්ෂේත්‍රයක් නම්, උත්ප්‍රාසාත්මක ලෙස, ආනයන සඳහා ඇති සීමා ලිහිල් කිරීම සහ තීරුබදු ඉවත් කිරීමයි. මෙම බදු හේතුවෙන් බොහෝ ආනයනික භාණ්ඩ සහ නිෂ්පාදනවල මිල ඉහළ යන අතර එමගින් සිල්ලර හා ඉදිකිරීම් ක්ෂේත්‍ර වැනි දේශීය නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ සැලසේ.

පාරිභෝගික භාණ්ඩ සඳහා වන ආනයන බදු සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් ම ආරක්ෂිත ආර්ථිකයක් ලෙස සැලකේ.

තර්කය වන්නේ, සීමා ලිහිල් කිරීම මගින් වැඩි විදේශ ආයෝජන ආකර්ෂණය කර ගත හැකි වන අතර එමගින් රටේ කර්මාන්ත වඩා ත් කාර්යක්‍ෂම වීමට ත් අපනයනය වැඩි කිරීමටත් හැකි වන බව ත් ය.

ප්‍රශ්නය නම්, පසුගිය වසරේ ජනාධිපතිවරයා වෙනස් වුව ද, ප්‍රබල දේශීය ව්‍යාපාරික බලවතුන්ගේ විරෝධය නොවැළැක්විය හැකි ලෙස එල්ල වන වෙළෙඳ බාධක ඉවත් කිරීමට වික්‍රමසිංහට ප්‍රමාණවත් දේශපාලනික අවකාශයක් තිබේ ද? යන්න ය.

ශුභවාදී අවස්ථාව නම්, පසුගිය වසරේ ඇති වූ කම්පනය එවැනි වේදනාකාරී ප්‍රතිසංස්කරණ සඳහා තල්ලුවක් සපයනු ඇති අතර, ශ්‍රී ලංකාවට එහි දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට අවම වශයෙන් සටන් කිරීමට අවස්ථාවක් ලබා දීම ය.

බීබීසී නිව්ස්නයිට්හි ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා මෙතැනින් නරඹන්න.