රනිල් වික්‍රමසිංහ:75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී කිව්වේ කුමක්ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, 75වන නිදහස් දිනය : ''ඒකීය රජයක් තුළ උපරිම බලය බෙදා දීමක් උදෙසා පියවර ගන්නවා.''

"ඇත්තටම අපි විනාශය කරා ඇවිත් තියෙන්නේ. මේ තුවාලය හැමදාමත් පවත්වාගෙන යන්න කැමැති අයත් ඇති. ඒත් මම ඒකට කැමති නැහැ. අපි සැත්කමක් කරලා තුවාලය හොද කර ගමු. ඒක අමාරුයි , වේදනාකාරී, දුෂ්කරයි. නුමුත් ඒ දුක, වේදනාව කෙටි කාලයකට වින්දොත් අපට තුවාලය නිට්ටාවටම සනීප කර ගන්න පුළුවන්" යනුවෙන් 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

නිදහස ලබා ගැනීමේදී දිවංගත අගමැති ඩි.එස්.සේනානායක විසින් සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් යන සියලු ජාතින් එකට එකතු කරනු ලැබුවත් නිදහසින් පසු අප ජාතීන් වශයෙන්, පළාත් වශයෙන්, ආගම් වශයෙන් බෙදී වෙන්ව ඇති බවත්,පොරොන්දු දේශපාලනය මත කටයුතු කිරීමෙන් රට දැඩි ආර්ථික අර්බුදයකට ඇදී ගිය බවත්, රටක් වශයෙන් ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් ණය ගෙන ඇත්තේ පරිභෝජනයට මිස ආයෝජනයට නොවන බව එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

"මේ නරා වලෙන් ගොඩ එන්න අපට තියෙන්නේ එකම එක ඉනිමගයි. මතක තියා ගන්න දේශපාලන අවශ්‍යතා නිසා ඒ ඉනිමග ඇදලා පැත්තකට දැම්මොත් අපට රටක් නැහැ. අපට හෙටක් නැහැ." ඔහු පවසා සිටියේය.

රටක් වශයෙන් මෙම වසරේ මුල් මාස 06 තුල මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සම්බන්ධව තමන් කල් තියා දැනුවත් කළ බවත්, පවතින දුෂ්කර තත්ත්වයට අකමැත්තෙන් වුවත් මුහුණ දීමට සිදුවන බව පැවසීය.

වැඩ බිම් වල උරෙන් උර ගැටීය යුතු තරුණ පරපුර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ පෝලිම්වල තෙරෙපෙන අයුරු තමන් දකිනා බවත්, එය වෙනස් කළ යුතු බවත්, තරුණ පරපුර බොහෝ කලක සිට බලාපොරොත්තු වන ක්‍රම වෙනසකට තම රජය නව ප්‍රතිසංස්කරණ මාවතකට ප්‍රවේශ වී ඇති බවත් කියා සිටියේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට අවශ්‍ය දුෂ්කර කාර්යන් සාර්ථකව අවසන් කර ගනිමින් යන බවත්, නොබෝ දිනකින් ඔවුන්ගේ එකඟත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.

දේශපාලන ක්‍රමය,පාර්ලිමේන්තුව,විධායක,රාජ්‍ය යාන්ත්‍රණය ආදී සියලු කේෂ්ත්‍ර යුගයට ගැලපෙන අයුරින් වෙනස් කරමින් නව ක්‍රමවේදය තුළ තරුණයින්ගේ මෙන්ම කාන්තාවන්ගේ අදහස් නියෝජනයට ඉඩක් ලබා දිය යුතු බව පවසන ඔහු,ඒ සඳහා නව අණ පනත් ගණනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සිය කතාවේදී පැවසීය.

උතුර- නැගෙනහිර ජනතාව මුහුණ දෙන විශේෂිත ගැටලු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතු බවත්, ඒ සඳහා මේ වන විටත් කැබිනට් අනු කමිටුවක් පත්කර තිබෙන බවත්, එහිදී ගනු ලබන තීරණ සහ ක්‍රියාත්මක කරන කාල සීමාවන් ගැන සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දෙන බවත්, ඉඩම් යලි මුදාහැරිම, සිරකරුවන් නිදහස් කිරීම වැනි කරුණු ගැන ප්‍රමුඛත්වය ලබා දෙන බවත් කියා සිටියේය.

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදා දීමක් උදෙසා පියවර ගන්නා නමුත්, කිසිවිටක මේ රට බෙදීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

"ජනාධිපතිධුරයට පත්වූ දා පටන් මට ගන්න සිදුවූ තීන්දු ජනප්‍රිය තීන්දු නොවන බව මා දන්නවා. නුමුත් ඒ තීන්දු නිසා අද මේ රටේ කිසිම පුරවැසියෙකු තෙල් පෝලිම්වල විජලනයෙන් මිය යන්නේ නැහැ, ගෑස් නොමැතිව බඩ ගින්නේ ඉන්නේ නැහැ, පොහොර නොමැතිව සාප කරන්නේ නැහැ."යනුවෙන් හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

සම්පුර්ණ ප්‍රකාශය ඉහතින් නරඹන්න