නිදහස් සැමරුමට විරුද්ධත්වය පළ කරමින් යාපනයේ හර්තාල්, යාපනයේ සිට මඩකලපුවට පාගමනක්

නිදහස් දින සැමරුමට විරුද්ධත්වය පළ කරමින් අද පෙබරවාරි 04 වැනිදා යාපනය දිස්ත්‍රික්කයේ වෙළඳසැල් වසා දමා හර්තාලයක් කැඳවා තිබු අතර,ඊට සමගාමීව යාපනය විශ්ව විද්‍යාලයේ කළු කොඩි ඔසවා තිබුණි.
'කළු නිදහස් දිනයක්' පවත්වන ලෙසට යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පසුගියදා උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලීම් කළේය.
කෙසේ වෙතත් උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ වෙළඳ ව්‍යාපාරිකයින් පමණක් හර්තාලය කැඳවා තිබු අතර, වවුනියාව,මන්නාරම,කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි වෙළඳසැල් සාමාන්‍ය පරිදි විවෘත කොට තිබිණ.
අතුරුදහන් වූ තම ඥාතීන් නැවත පැමිණෙන තෙක් තමන්ට නිදහසක් නොමැති බව සඳහන් කරමින් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීහු ඊයේ (03) වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපස දී විරෝධතාවයක් පැවැත්වූහ.
විරෝධතාවයට එක්වු වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමයේ සභාපති කේ.රාජ්කුමාර් පැවසූවේ පාලකයින් උතුරු නැගෙනහිර ජනතාව හා අතුරුදහන්වූවන් රවටමින් සිටින බවයි.
පාලකයින්ගේ රැවටීම් හමුවේ ඉවසිය නොහැකි අතුරුදහන්වූවන්ගේ ඥාතීන් තමන්ගේ ඥාතීන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින්,රජයට විරුද්ධව 'කළු නිදහස් දිනය' නමින් වන විරෝධතාවයට සමගාමීව විරෝධතා පවත්වන බව හෙතෙම පැවසීය.
උතුරු නැගෙනහිර වෙනුවෙන් ස්වයං පාලනයක් ලබා ගැනීම,අතුරුදහන්වූවන්ගේ ගැටලුවට ස්ථිර විසදුම් ලබාදීම හා ආරක්ෂක අංශ සතුව පවතින උතුරු නැගෙනහිර සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කිරීම යන කාරණා සඳහා ස්ථිර විසදුම් ඉල්ලමින් තමන් හර්තාලය පවත්වන බව විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය සඳහන් කළේය.
විරෝධතා පාගමනක්
යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් එක්ව උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අද (04) විරෝධතා පාගමනක් ආරම්භ කළ අතර, විරෝධතා පාගමන යාපනය සිට මඩකලපුව දක්වා සිදු කෙරේ.
යාපනය සිට කිලිනොච්චිය දක්වා අද 04 වැනිදා ගමන් කිරීමට නියමිත අතර, 05 වැනිදා කිලිනොච්චියේ සිට මාන්කුලම දක්වාත්, 06 වැනිදා මාන්කුලම සිට මුලතිව් දක්වාත්, 07 වැනිදා මුලතිව් සිට මඩකලපුව දක්වාත් විරෝධතා පාගමන පැවැත්වීමට නියමිත බව යාපනය විශ්ව විද්‍යාල සිසුහු පැවසුහ.
හැකි සෑම පුද්ගලයෙකුටම විරෝධතා පාගමන වෙනුවෙන් එක්වන ලෙසටද යාපනය විශ්ව විද්‍යාල හා නැගෙනහිර විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතන් විසින් ඉල්ලීම් කොට තිබේ.
කළු නිදහස් දින විරෝධතා පාගමන හා විරෝධතා වැඩසටහන් වෙනුවෙන් තමන්ද එක්වන බවට දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් දක්වා තිබිණි.
හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා අදාළ විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරනු ලැබුවේ පැවති රජයන් හා වර්තමාන රජයන් දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් ස්ථිර විසදුමක් ලබා නොදීම පිළිගත නොහැකි බවයි.
අලුතින් සන්ධානගත වු දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයද 'කළු නිදහස් දින' විරෝධතා වෙනුවෙන් එක්වන බව සඳහන් කළහ.











