75 වන නිදහස් සැමරුම: ‘අපි තව ජාතික කොඩිත් එල්ලන්න ඕනද මගෙ බාගෙට හදපු කාමර කෑලි දෙකේ?’

75th Independence Day celebration rehearsals - Colombo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දා අබේසූරිය
    • Role, බීබීසී සිංහල

"මම කුවේට් අවුරුදු හයක් [රැකියාව] කරල තමා ලංකාවට ආවෙ 2019. ආවෙ බැඳල ලංකාවෙන් ඔය ජොබ හොයාගෙන ගේමක් ගහන්න පුළුවන් කියන විශ්වාස ඇතුව. අන්තිමේ බැඳල, ගෑණි ලංකාවෙ දාලා ආයෙ මෙහෙ එන්න උනා. මොකද මේ ගන්න පඩියෙන් කාලක් ගන්න බෑ ලංකාවෙ," අබුඩාබියේ රෙඩිමික්ස් කොන්ක්‍රීට් සමාගමක සේවය කරන නිලධාරියෙකු වන කෞෂාල් රෝෂර් අප හා අදහස් දැක්වූයේ කේන්තිය පාලනයකර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමිනි.

මේ, ශ්‍රී ලංකාවේ හැත්තෑ පස්වන නිදහස් දිනය යි. කෞශාල් කෝපගෙන සිටින්නේ එහි සැමරුම් සඳහා රජය වියදම් කරන මුදල නාස්තියක් ලෙස බොහෝ දෙනෙකු පවසන පසුබිමය.

"කොටින්ම ලංකාවෙ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකෙ නරකම කාලෙ යන්නෙ. වැඩිය ඕන නෑ, මගෙ ගේ හදන්න අරන් කාමර කෑලි දෙකක් හදල වැඩේ අල්ලදාල තියෙන්නෙ. ඒ අස්සෙ මුං සමරන්න යනවා නිදහසක්! අපි තව ජාතික කොඩිත් එල්ලන්න ඕනද මගෙ බාගෙට හදපු කාමර කෑලි දෙකේ? මම නම් කියන්නෙ නිදහස ලබල අවුරුදු 75ක් වෙද්දි රට මෙහෙම නම්, ඔය සමරන්න යන නිදහස හාමුලාට, රජාලාට, බේබිලාට සැලියුට් ගස්සගන්න අන්තිම නිදහස් උත්සවේ වෙන්න ඕන."

"වැඩිය ඕන නෑ, මහලොකු ටුවරිස්ට් කන්ට්‍රි එක සඳුදා වෙනකල් බාර් වහලා...මේ නිදහස් උත්සවේට විරුද්ධව කවුරුහරි සංවිධානය වෙලා කොළඹ එනව නම් මගෙ සපෝට් එක එකෙන්ම උන්ට," ඔහු පැවසුවේ ය.

රට ආර්ථික අර්බුදයක ගිලී, ජනතාවගේ අවශ්‍යතා සපුරාගැනීමට තරම් හෝ වත්කමක් නොමැතිව සිටින අවස්ථාවක නිදහස් දින සැමරුම් වෙනුවෙන් ශ්‍රී ලංකාව වියදම් කරන මුදල රු. මිලියන 200කි.

පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් උත්සව සැමරුම් පැවැත්වීමට හේතු ඉදිරිපත් කරමින්, "මේ උත්සවය තියන්න ඕන. අපේ හැත්තෑ පස්වන සංවත්සරය. අපි ඒක නොකරනවා නම් රටට හොඳ නෑ. දෙවනුව, අපි මේක නොකෙරුවොත් ලෝකෙ කියයි අපට මේක කරන්නත් සල්ලි නැතිවුණා කියලා,"යි පැවසීය.

"අපට ආයෝජකයන් ගන්න තියෙනවා, අපට සංචාරකයෝ ගේන්න තියෙනවා, ඉතින් මේවට අපි හරි මේකක් පෙන්නන්න ඕන. වියදම් බොහෝදුරට සීමා කරලා අපි හැත්තෑ පස්වන සංවත්සරය කරමු," ඔහු ප්‍රකාශ කළේ ය.

මහජනතාව සිතන්නේ කුමක් ද?

"නිදහස ලැබිලා අවුරුදු 75ක් ගතවීම රටට වැදගත් සංධිස්ථානයක් තමයි. ඒත් රටේ ප්‍රධාන රෝහල්වල පවා අත්‍යාවශ්‍ය ඖෂධ හිඟ මොහොතක, රජයේ සේවකයින්ට, විශ්‍රාමිකයින්ට වැටුප නියමිත වෙලාවට ගෙවාගන්න බැරිවෙලා තියන අවස්ථාවක, උසස් පෙළ කරන දරුවන්ට අවශ්‍ය කරන විදුලිය ලබාදෙන්න හැකියාවක් නැතුව උසාවි යන්න වුණු රටක මිලියන ගාණක් මුදල් වියදම් කරලා කරන සැමරුමක් කොහොමවත් අනුමත කරන්න බෑ," තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු වන දසුන් බුවනෙක බීබීසී සිංහල සේවයට පැවසීය.

"රජය ජනතාව පීඩාවට ලක්කරලා, විශාල වශයෙන් ඉහල නංවපු බදුවලින් ලබාගන්නා ආදායම මේ වගේ ඵලදායී නොවන සංදර්ශනවලට නාස්ති කිරීම මහජන නියෝජිතයින් තමන් නියෝජනය කරන ජනතාවගේ අභිලාෂයන් සහමුලින් උල්ලංඝනය කිරීමක්," ඔහු ප්‍රකාශ කරයි.

Comments on Independence Day celebrations

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, සමාජ මාධ්‍ය හරහා ජනතාව බෙදා ගෙන තිබු තිබු සිය අදහස් හා අත්දැකීම්

පුද්ගලික සමාගමක ශ්‍රී ලංකා කලමණාකාරිනිය වන හිමානි නවින්දිකා කියා සිටියේ, "නිදහස් සැමරුමක් කියන්නේ මේ වෙලාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ තියෙන දෙයක්" නොවන බවයි.

"මොකද, රටේ පවතින තත්ත්වය යටතේ, 'දේශප්‍රේමය' කියන්නේ සාමාන්‍ය ජන මනසේ ඔප්නංවලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි නිසා. මේ අවස්ථාවේ, පුරවැසියනුත්, නිදහස් සැමරුමත් අතර තියෙන්නේ විසන්ධියක්," ඇය කියා සිටියා ය.

Comments on Independence Day celebrations

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, සමාජ මාධ්‍ය හරහා ජනතාව බෙදා ගෙන තිබු තිබු සිය අදහස් හා අත්දැකීම්
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජනතාවගෙන් ඇතැමුන් නිදහස් දින සැමරුමට එරෙහිව විරෝධතා ව්‍යාපාර පැවැත්වීම තරයේ අනුමත කළත්, ඒවා පවත්වන ආකාරය අනුව ඒවායේ හරිවැරැද්ද තීරණය වනබව තවත් සමහරුන් සිතයි.

සමාජ ක්‍රියාකාරික සුජිත් අන්නමලේ පවසන්නේ, බංකොලොත්වූ රටකට සැමරීමට තරම් නිදහසක් නැතත් ජාතික උත්සවයක සංකේතාත්මක වැදගත්කමක් ඇති බැවින් එය මෙතරම් වියදමකින් තොරව සරල ලෙස සමරා, ඒ වෙනුවෙන් වියදම් කළ මුදල වෙනත් කාර්යයකට යෙදවන්නට තිබූ බවකි. නමුත් සැමරුම කඩාකප්පල් කරන්නේ නම් එය වැරදි ක්‍රියාවක් බව ඔහු කියයි.

"රටේ ව්‍යවස්ථාදායකයෙ යි විධායකයෙ යි තීරණය මත නිදහස් උත්සවය මේ වගේ ලෙවල් එකකට සමරන්න ඕනෙයි කියනකොට මිනිස්සුන්ගෙන් ඔටෝමැටිකලි ඒකට විරෝධත්වයක් එනවා. මම ඇතුළු මේ රටේ බහුතරයකට ඒ විරෝධත්වය තියෙනවා. ඒ විරෝධත්වය තියෙන්නත් ඕනේ... ඒක එතකොට විරෝධත්වය විදියට තමන් ඉන්න ප්‍රදේශයෙ 'මේකට විරුද්ධ යි' කියලා කොඩියක් උස්සන එක හරි, ගෙදරක කළු කොඩියක් දාන එක හරි, ඊටපස්සෙ බෝඩ් එකක් උස්සන් පාරට බහින එක හරි, ඒවා ඕකේ.

"හැබැයි යම්කිසි කෙනෙක් මේ වගේ ව්‍යවස්ථානුකූලව සමරන රාජ්‍ය උත්සවයක් කඩාකප්පල් කරන්න හරි, ඒකට එතනට පැනලා මැදිහත්වෙලා විරෝධත්වය පාන්න හරි ඒකත් එක්ක හැප්පෙන්න හරි යනවා නම් ඒකත් සම්පූර්ණයෙන්ම වැරදියි. මේ වගේ වෙලාවක ඒ වරද නොකරන මෙන් ඉල්ලා සිටිනවා," ඔහු ප්‍රකාශ කළේ ය.

Comments on Independence Day celebrations

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, නිදහස් උත්සවය සැමරීමට පක්ෂව ඉදිරිපත්ව තිබු අදහස්

පොලිස් විශේෂ කාර්ය බලකායේ වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගිය පොලිස් පරීක්ෂකවරයෙකු වන චාමින්ද ජයසේන මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය:

"නිදහස සැමරීම නොකළත් විවේචනවලට ලක්වෙන්න වෙනවා. මගේ අදහස අප අත්විඳින නිදහස සම්බන්ධ කොතරම් අඩුපාඩු තිබුණා වුණත් එය සැමරීමේ වරදක් නැතිබව යි. නමුත් එය සැමරීමේ දී ඉන්ධන නාස්ති කරමින් සන්නද්ධ රථ, ගුවන්යානා යොදා ගැනීම, නිකරුණේ හමුදාවේ මිනිස් බලය අධිකව යොදාගැනීම අනවශ්‍ය දෙයක් බව සිතනවා."

ශිෂ්‍ය සංගම්, සිවිල් ක්‍රියාකාරීන් හා දේශපාලකයින්ගෙන් විරෝධතා

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (පෙබ. 4) කොළඹ දී විරෝධතාවක් පැවැත්වීමට නියමිත ය. මෙය 'නිදහස වෙනුවෙන් 04 කොළඹට' යන මැයෙන් පැවැත්වීමට නියමිත ය.

යාපනය විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍යයින් හා ආචාර්යවරුන්, සිවිල් ක්‍රියාකාරීන්ගේ සහයෝගය ද ඇතිව පෙබරවාරි හතර දා නිදහස් දින සැමරුමට සමගාමීව 'කළු විරෝධතා දිනයක්' ප්‍රකාශයට පත්කර තිබේ.

අරගලයට සහභාගී වූ ක්‍රියාකාරීන් පිරිසකගේ සහ සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහයක් පෙබරවාරි තෙවැනි දා මරදානේ දී ඇරඹිනි. 'නිදහස් හෙටක් වෙනුවෙන් "නිදහස" සත්‍යග්‍රහය' යනුවෙන් නම්කර ඇති මෙය ඊයේ (පෙබ. 3) පස්වරු 3ට ඇරඹී පැය 24ක් පැවැත්වීමට නියමිතව තිබුණි.

නමුත් සාමකාමී සත්‍යග්‍රහය සඳහා මරදානට රැස්වූ පිරිස පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකොට ඊයේ රාත්‍රියේදී විසුරුවා හරිනු ලැබුණි.එහිදී ක්‍රියාකාරීන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්විය. කෙසේ වෙතත් එම අවස්ථාවේ ආරක්ෂක අංශ වල ක්‍රියා කලාපය බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ඊයේ (පෙබ. 3) පස්වරුවේ කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලදුව ලබාදුන් අධිකරණ නියෝගයක් මඟින්, පෙබරවාරි තෙවැනි දා සිට සිව්වන දා දක්වා පහත නම් සඳහන් තැනැත්තන් ඇතුළු පිරිසට කොටුව පොලිස් බල ප්‍රදේශයේ පහත සඳහන් මාර්ග හා ප්‍රදේශයන්ට ඇතුළුවීම තහනම් කෙරිණි.

ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් ද, "මොන සෙලිබ්‍රේෂන් කවුරු කළත්, මම මඩකලපුව දිස්ත්‍රික්කේ කළු නිදහස් දිනයක් කියලා දෙයක් අපි අනිවාර්යෙන් කරනවා," යි පසුගිය දා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය.

"මේක ශ්‍රී ලංකාවට විරුද්ධව කරන දෙයක් නෙවෙයි, ශ්‍රී ලංකාව පාලනය කරන පැලැන්තියට විරුද්ධව කරන පණිවිඩයක් විදියට තමයි මං මේක කරන්න යන්නේ," ඔහු පැහැදිලි කළේ ය.

නිදහස් සැමරුම දා ලංකාවේ සෑම නිවෙසකම, මාර්ගයකම කළු කොඩි ඔසවන්නැ යි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් හා වෘත්තීය සමිති රැසක් නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වීමට විරෝධය දක්වා තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, නිදහස් දිනය : ''මිනිස්සු ඉල්ලන්නේ ජාතික කොඩි නෙමේ, කළු කොඩි''

"පුහු නිදහස් දින උත්සවයක් පැවැත්වීම ජනතාවට කරන අපරාධයක්"

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු භික්ෂූන්වහන්සේ පිරිසක් නිදහස් දින උළෙල සම්බන්ධයෙන් සංදේශයක් පසුගිය දා ජනාධිපති වික්‍රමසිංහ වෙත බාරදුන්හ.

නිදහස් උත්සවය පැවැත්වීමට තරම් නිදහසක් ඇත්ත වශයෙන්ම අපට නැතැ යි උන්වහන්සේ එහි දී මාධ්‍ය හමුවේ පවසා සිටියහ.

"සුන්දර සිරි බරිනී සුරැඳි ඇති සෝබමාන ලංකා කියලා කියන්න පුළුවන් ද? කොහෙද සුන්දරත්වය? කෝ සෞභාග්‍යය? කෝ සශ්‍රීකභාවය? ඒ සියල්ලම නැතිවෙලා තියෙන්නේ," උන්වහන්සේ වදාළහ.

"[ජනාධිපතිතුමාට] ඕනෙකම තියෙනවා යම් රඟපෑමක් කරන්න ජාත්‍යන්තරය ඉදිරියේ. මට වස්තරයක් නැහැ කියලා, කාගෙන්හරි වස්තරයක් ඇඳලා පෙන්නන එකද වැඩේ? අපට හිමි වස්තරයක් නැත්නම්, අපි අනුන්ගෙන් වස්තරයක් ඉල්ලාගෙන අඳින එක ද වගකීම සහ නම්බුව?"

ශ්‍රී ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පෙබරවාරි පළමුදා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්, කතෝලික සභාව නියෝජනය කරන කිසිවෙකු නිදහස් දින උළෙලට සහභාගී නොවන බවත්, එම සැමරුම පිළිනොගන්නා බවත් නිවේදනය කළේ ය.

ආර්ථික වශයෙන් බංකොලොත්වී ඇති, ජනතාව කුසගින්නේ සිටින, කුඩා දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන, කර්මාන්ත කඩා වැටෙමින් පවතින, නීතියේ ආධිපත්‍යය දරුණු ලෙස බිඳවැටී ඇති, මානව අයිතිවාසිකම් හිරිකිතයකින් තොරව උල්ලංඝනය වන රටක රුපියල් මිලියන 200කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්දැ යි කතෝලික සභාව ප්‍රශ්න කරනබව එතුමා කියා සිටියේ ය.

"පුහු නිදහස් දින උත්සවයක් පැවැත්වීම ජනතාවට කරන අපරාධයක්," පියතුමා ප්‍රකාශ කළේය.