'චීන-ශ්‍රී ලංකා සමීප සහයෝගීතාවට ඇඟිලි ගැසීමට වඩා ලංකාවට අවංක සහයක් දෙන්න' චීනය ඇමරිකාවට කියයි.

Foreign Ministry Spokesperson Mao Ning’s Regular Press Conference on February 2, 2023

ඡායාරූප මූලාශ්‍රය, MFA CHINA

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ණය සහන ලබා ගැනීම සඳහා චීනය දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව ඇමරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් පසුගියදා පැවසූවාය.

ශ්‍රී ලංකාවට විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා ලෙස චීනය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමිතියට ගැලපෙන විශ්වසනීය සහ නිශ්චිත සහතිකයක් ලබා දෙනු ඇතැයි එක්සත් ජනපදය අපේක්ෂා කරන බවත් ඇය සදහන් කළා ය.

මේ සම්බන්ධයෙන් චීනයේ ප්‍රකාශය හෝ ප්‍රතිචාරය කුමක්ද යන්නත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන සඳහා අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවට විශ්වාසනීය සහ නිශ්චිත සහතික ලබාදීමට චීනය සලකා බලන්නේ කවදාද යන්න ඊයේ දිනයේදී චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු විසින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකා මාඕ නින්ග් ගෙන් විමසා සිටියේය.

'චීන-ශ්‍රී ලංකා සමීප සහයෝගීතාවට ඇඟිලි ගැසීමට වඩා ලංකාවට අවංක සහයක් දෙන්න'

එහිදී මාධ්‍ය ප්‍රකාශිකාව පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කරන ලද ප්‍රකාශය තුළින් සත්‍ය පිළිඹිඹු නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය,

"එක්සත් ජනපදයේ පාර්ශවයෙන් පැවසූ දේ සත්‍යය පිළිබිඹු නොකරයි. චීනයේ අපනයන-ආනයන බැංකුව දැනටමත් ශ්‍රී ලංකාවට සිය ණය තිරසාරභාවය සඳහා සහාය ප්‍රකාශ කිරීමේ ලිපියක් ලබා දී ඇත. ශ්‍රී ලංකාව ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ඒ පිළිබඳව චීනයට ස්තුතිය පළ කර තිබේ"

Quote

"ශ්‍රී ලංකාව සමඟ චීනයේ සමීප සහයෝගීතාවයට ඇඟිලි ගැසීමට වඩා, ඇමෙරිකා එක්සත් ජනපදයට ද යම් අවංකභාවයක් පෙන්විය හැකි අතර වර්තමාන දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීමට යමක් කළ හැකිය" ඇය කියා සිටියාය.

"මිත්‍රශීලී අසල්වැසියෙකු සහ සැබෑ මිතුරෙකු ලෙස චීනය,ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග සමීපව නිරීක්ෂණය කරමින් අපගේ හැකියාවන්ගෙන් උපරිමයෙන් එහි ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ආධාර සපයමින් ශ්‍රී ලංකාව චීන පාර්ශ්වයට ඇති ණය සම්බන්ධයෙන්, නිසි විසඳුමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට චීන මූල්‍ය ආයතනවලට අපි සහාය දෙමු"

"අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින අතර ශ්‍රී ලංකාවට එම තත්ත්වය මඟ හරවා ගැනීමටත්, එහි ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමටත් අඛණ්ඩව සූදානම්" යනුවෙන් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකාව මුල් කරගත් රාජ්‍ය තාන්ත්‍රික චීන - අමෙරිකා වාග් සංග්‍රාමය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වාරිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේදී චීනය ලබාදෙන සහයෝගය අවම බව ඇමෙරිකාව පසුගිය කාල සීමාවේදී අවස්ථා කිහිපයකදී චෝදනා එල්ල කරන ලදී.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන චීනයේ අපැහැදිලි තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට හානියක් වන බවට මෙරට ඇමෙරිකානු තානාපති ජුලි චංග් පසුගියදා බීබීසීයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලදී.

"චීනය කියන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ මිතුරෙකු කියලයි. ශ්‍රී ලංකාවේ ජනතාව ඒ කියන දේ ක්‍රියාවට නංවන ආකාරය දකින්න කැමැත්තෙන් පසුවෙන බව මට විශ්වාසයි. ණය සහන ලබාදීම ගැන සහතික වීමටත්, ඉක්මන් ප්‍රතිචාර දැක්වීමටත් පමා නොකිරීමටත් චීනය වගබලාගත යුතුයි. ශ්‍රී ලංකාවට පමාවෙන්න කාලයක් නැහැ. ඔවුන්ට මේ සහතික ඉක්මනින් අවශ්‍යයි." ඇය ප්‍රකාශ කළාය.

එහිදී ද චීනය සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපතිවරිය සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොළඹ චීන තානාපති කාර්යාලය දැඩි ප්‍රකාශයක් නිකුත් කළේය.

"ඇයගේ පදනම් විරහිත චෝදනා සහ දේශනවලට පෙර, අපගේ එක්සත් ජනපද සගයා අඩුම තරමින් තමන්ගෙන්ම මෙසේ අසාගත යුතුව තිබුණා;IMF හි ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් නිෂේධ බලයක් ඇති, තනි විශාලතම කොටස් හිමියා කවුද? 2020 දී පමණක් ඩොලර් ට්‍රිලියන 3කට වඩා වැඩි එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණයක් මුද්‍රණය කරන්නේ කවුද? ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය තොගයෙන් ඉහළම පොලී අනුපාත සහිත 40%ක් හිමි එම පුද්ගලික ණය හිමියන් කවුද? ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු වහාම ෆෙඩරල් උසාවියේ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරුවේ කවුද?"

"චීනය විසින් දැනටමත් සහල් මෙට්‍රික් ටොන් 10000ක්, ඩීසල් ලීටර් 9000ක්, ඖෂධ සදහා රුපියල් බිලියන 5ක් සහ පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 3ක් තිළිණ කර තිබියදී ශ්‍රී ලාංකීය ජනතාවට උදව් කිරීමට එක්සත් ජනපදය තම ප්‍රකාශ කරන දේ ක්‍රියාවෙන් ඔප්පුකර ඇත්තේ කෙසේදැයි ශ්‍රී ලාංකීය මහජනතාව දැන ගැනීමට කැමතිවනවා විය හැකිය." යනුවෙන් එහි සඳහන් වී ඇත.

'බටහිර ජාතීන්ට ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව අතර ඇති බැඳීම වටහා ගත නොහැකියි'

මීට පෙර අවස්ථාවක මතභේදයට තුඩු දුන් චීනයේ වාන් වැන්ග් 5 නෞකාව ඉකුත් වසරේ අගෝස්තු මස 16 වෙනිදා හම්බන්තොට වරායට පැමිණි අවස්ථාවේදී පැවති රාජ්‍ය තාන්ත්‍රික උත්සවයකට එක්වෙමින් හිටපු අමාත්‍ය සරත් වීරසේකර මෙලෙස ප්‍රකාශ කර සිටියේය.

"බටහිර ජාතීන්ට ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව අතර ඇති බැඳීම වටහා ගත නොහැකියි. අප‍ ජාතීන් ත්‍රිත්වය බුද්ධ ධර්මය, වෙළදාම හා ආධාර, උපායශීලි සම්බන්ධතා හා ජාත්‍යන්තර සබඳතා මත වර්ධය වී ඇත. ආසියාව ශක්තිමත් කිරීමට ආසියානුවන් එකමුතුවී වැඩ කල යුතුයි. චීනය ශ්‍රී ලංකාවට අත්හළ නොහැකි සහ විශ්වාස කළහැකි මිතුරෙකි." ඔහු වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, මෙයත් නරඹන්න : චීනයේ සහ ඉන්දියාවේ බල අරගලයට මැදි වූ ශ්‍රී ලංකාවේ අනාගතය කෙබඳු වෙයි ද?

මේ අතර ඉන්දියානු,චීන සහ ඇමරිකානු නියෝජිතයන් ගණනාවක් මෑත කාලය පුරා ශ්‍රී ලංකාවේ නිරන්තර සංචාර වලට එක්වී සිටිනුද දක්නට ලැබේ.

කෙසේ වෙතත් තම ණය පාර්ශවයන්ගේ භූ දේශපාලන බල අරගලයට මැදිව, ආර්ථික අර්බුදයේ පත්ලේ සිටිමින් හැකි ඉක්මනින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහන ලබා ගැනීම සඳහා බලා සිටින ශ්‍රී ලංකා රජය මෙම රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුම් සම්බන්ධව තම නිල ස්ථාවරය මෙතක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කොට නැත.