ධනුෂ්ක ගුණතිලක:චෝදනා 4 න් 3ක් ඉවතට

Danushka Gunathilake

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී කාන්තාවක් දූෂණය කළ බවට එල්ල වූ ලිංගික අපයෝජන චෝදනා හතරෙන් තුනක් ඉවත් කර තිබේ.

32 හැවිරිදි ඔහු පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති 20/ 20 ලෝක කුසලානය සඳහා සහභාගිව සිටියදී සිඩ්නි නුවරදී අදාළ කාන්තාවගේ කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදුනු බවට වූ චෝදනා හතරක් එල්ල විය.

කෙසේ වෙතත්, රජයේ අධිචෝදකවරයා (මැයි 18 වැනිදා) සිඩ්නි අධිකරණයකදී ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල කරනු ලැබූ චෝදනා තුනක් ඉල්ලා අස්කර ගත්තේය.

ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දිනයක 29 හැවිරිදි එම කාන්තාව මුණගැසුණු බවත්, ඔවුන් සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයක පිහිටි ඇගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඇයව දුෂණයට ලක් කළ බවටත් චෝදනා එල්ල විය.

2022 නොවැම්බර් මස වාර්තා වූ මෙම සිද්ධියේදී අදාළ කාන්තාව "තම ජීවිතය ගැන බියෙන් සිටි අතර විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි වූ" බව අධිකරණයට ගොනු කරන ලද පොලිස් වාර්තාවක සඳහන් විය.

චෝදනා සහතික කිරීම සඳහා මාස හයක අවශ්‍යතාවයෙන් ඔබ්බට නඩු විභාගය කල් තැබීම සඳහා පැමිණිල්ල විසින් පසුගිය මාසයේ දී අයදුම් කරන ලදී.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥ ඇලන් සහිනොවික් ඊට විරුද්ධ වූ අතර, තම සේවාදායකයා දැඩි ඇප කොන්දේසිවලට යටත්, සීමිත පවුල් සහ සමාජ සහයෝගයක් සහිත විදේශීය පුරවැසියෙකු ලෙස අනිසි දුෂ්කරතාවන්ට ලක්වන බවට තර්ක කළේය.

ඔහු ජුලි 13 වැනිදා අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා නැවත අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.

ධනුෂ්ක ගුණතිලකට ඇප, Tinder තහනම් !

ඕස්ට්‍රේලියාවේදී ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත මුදා හැරීමට සිඩ්නි අධිකරණය පසුගිය වසරේ නොවැම්බර් තීරණය කරනු ලැබීය.

2022 නොවැම්බර් 16 නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මුරුගන් තංගරාජ් කියා සිටියේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඉදිරිපත්ව ඇති කරුණු අනුව ගොනුකළ චෝදනාවන්හි ශක්තිමත් නඩු නිමිත්තක් නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා රජය තම සේවා දායකයාට සහය දක්වන බවත්,ඔහුට ඇප ලබා නොදුනහොත් ඔහුගේ ක්‍රීඩා ජිවිතය අවසන් වනු ඇති බවත් නිතීඥවරයා පවසා තිබේ.

ඒ අනුව කරුණු සළකා බැලු මහේස්ත්‍රාත් ජැනට් වෝල්ක්විස්ට් විසින් සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ දී ගුණතිලකට ඇප ලබා දුන් අතර පාර්ක්ලියා බන්ධනාගාරයේ සිට ධනුෂ්ක ගුණතිලක නඩු වාරයට ඔන්ලයින් පෙනිසිටියේය.

කෙසේ වෙතත් ඇප මත මුදාහැරි ධනුෂ්ක ගුණතිලකට පහත කොන්දේසි අධිකරණය විසින් පනවා තිබේ.

  • සෑම දිනකම පොලිසියට වාර්තා කළ යුතුය.
  • සෑම දිනකම රාත්‍රී 9 සිට පසුදා උදෑසන 6 දක්වා ඔහුට සංචරණ සීමා පනවා ඇත.
  • පැමිණිලිකාර පාර්ශවය සමග සබඳතා පැවැත්වීම තහනම් වේ.
  • Tinder හා අනෙකුත් Dating App ඇප් භාවිතය තහනම් කර තිබේ.

කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා 4 ක් ගොනුකර තිබේ.

ලෝක කුසලාන 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී අත්අඩංගුවට පත්විය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහි චෝදනා අනාවරණය වූයේ, නඩුවේ තොරතුරු යටපත් කිරීමට පොලිසිය ගත් උත්සාහයට එරෙහිව මාධ්‍ය උසාවියේ දී සටනක් ජයග්‍රහණය කිරීමෙන් පසුව ය.

විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරවරයේ කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇගේ හුස්ම හිරකර දැමීම හේතුවෙන් ඇය "සිය ජීවිතය පිළිබඳ බියකින්" සිටි බවට අධිකරණ ලේඛන මගින් චෝදනා කර තිබේ.

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් චෝදනා 4ක් ලැබ සිටින 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීමේදී කොන්ඩමය ගලවා දැමීමේ චෝදනාව ද එල්ල වී තිබේ.

කෙසේවෙතත් ධනුෂ්ක පොලිසිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කිසිදු ප්‍රචණ්ඩත්වයක් නොකළ බව හෝ ඇයගේ කැමැත්තක් නොතිබූ බව ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු විදෙස් ගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය තර්ක කිරීමෙන් පසු මීට පෙර ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම සිඩ්නි අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අධිකරණ ලේඛන වල දක්වා ඇති චෝදනා

අධිකරණය තුළ කරුණු වාර්තා කිරීම සඳහා පැවති අතුරු නියෝගය ඉවත් කරමින් පොලිස් ලේඛන වාර්තා කිරීමට සිඩ්නි අධිකරණය අවසර දුන්නේය.

අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් කරුණුවලට අනුව ධනුෂ්ක ගුණතිලක සහ අනන්‍යතාව හෙළිදරව් නොකළ 29 හැවිරිදි පැමිණිලිකාර කාන්තාව 2022 ඔක්තෝබර් 29 වන දින ටින්ඩර් App ඔස්සේ දැන හඳුනගෙන ඇත.

පැමිණිලිකාරියගේ නිවසට යාමට පෙර බීමකට සහ රාත්‍රී ආහාරය සඳහා නොවැම්බර් 2 වන දින සිඩ්නිහිදී හමුවීමට දෙදෙනා එකඟ වූ බව ලේඛනවල දැක්වේ.

ධනුෂ්ක ගුණතිලක එම කාන්තාව සමඟ "බලහත්කාරයෙන්" ලිංගික සංසර්ගයේ නිරත වූ බවටත්, තුන් වතාවක් - තත්පර 30ක් දක්වා වරක් ඇගේ හුස්ම හිරකර ගෙන සිට ඇති බවටත් චෝදනා එල්ල වේ.

"පැමිණිලිකාරිය සිය ජීවිතය ගැන බියෙන් සිටි නිසා විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි විය" යැයි පොලිසිය අධිකරණ ලේඛනවල චෝදනා කර ඇත.

ධනුෂ්ක ගුණතිලකට උපත් පාලන කොපුවක් පළඳින ලෙස දන්වා සිටියද, ලිංගික අපයෝජනය සිදුව ඇතැයි කියන අවස්ථාවේදී කොන්ඩමයක් බිම වැටී තිබෙනු දුටු බවද එම කාන්තාව පොලිසිය වෙත පවසා තිබේ.

කොන්ඩමයක් නොමැතිව ලිංගිකව එක්වීමට හෝ හුස්ම හිරවීම සමඟ ලිංගිකව එක්වීමට තමන් එකඟ නොවූ බව කාන්තාව පැහැදිලිව දක්වා ඇතැයි ද පොලිසිය අනාවරණය කර ඇත.

පසුදින, පැමිණිලිකාරිය මිතුරන් දෙදෙනෙකුට සිදු වූ දේ පවසා, උපදේශන සේවාවකට ද කතා කර තිබේ.

පොලිසියට පැමිණිලි කිරීමට පෙර ඇය සිය වෛද්‍යවරයාද හමුවී ඇත.

පසුව ඇය රෝහලේදී ලිංගික අතවර පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වූ අතර හුස්ම හිරවීම නිසා හානියක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ඇය මොළයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය වූ බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.

අධිකරණ ලේඛනවල විස්තර කර ඇති ආකාරයට පොලිසිය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ධනුෂ්ක ගුණතිලක ප්‍රචණ්ඩත්වයක් දැක්වූ බව ප්‍රතික්ෂේප කළ අතර ඇයගේ කැමැත්ත අනුව ලිංගික ක්‍රියා සිදුවු බවද ප්‍රකාශ කර තිබේ.

නමුත් රහස් පරීක්ෂකයින් විසින් විමසූ විට, කැමැත්ත පිළිබඳව පැමිණිලිකාර කාන්තාව සමඟ කළ සංවාද ඔහුට

සිහිපත් කළ නොහැකි වූ බවද පොලිසිය සඳහන් කළේය.

නිව් සවුත් වේල්ස් (NSW) හි නව "තහවුරු කළ කැමැත්ත" නීති යටතේ - චෝදනා කරන සිද්ධිය සිදු වූ තැන - පුද්ගලයෙකු ලිංගිකත්වය සඳහා ඔවුන්ගේ කැමැත්ත සන්නිවේදනය කිරීමට යමක් පැවසීම හෝ යම් දෙයක් කළ යුතුය.

ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ නව නීති ප්‍රතිසංස්කරණ මගින් අනුමැතියකින් තොරව කොන්ඩම් ඉවත් කිරීම - ලිංගික අතවර වරදක් බවට පත් විය.

ඕස්ට්‍රේලියාවේදී සිදුවූ වැරදි ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීම සදහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකු වූ සිසිර රත්නායකගේ

ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

මෙම කමිටුවට නීතිඥ නිරෝෂණ පෙරේරා සහ ඇසේල රැකව යන අය ඇතුළත්ව සිටිති.

එම සිද්ධියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැදී සිටි කාලය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වාර්තා වුණු විවිධ සිද්ධි සම්බන්ධයෙන්ද පුළුල් පරීක්ෂණයක් මෙම කමිටුව විසින් විමර්ශනය කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දැනුම් දී සිටියි.

අභිනවයෙන් පත් කෙරුණු ‌මෙම ත්‍රිපුද්ගල කමිටුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායම් කළමනාකරුගෙන් කරුණු පැහැදිලි කිරීමක ඉල්ලා සිටිනු ඇත. කළමනාකරුගේ එම වාර්තාව එම මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු,යම් ක්‍රීඩකයකු අතින් වරදක් හෝ නොසැලකිළිමත් ලෙස හැසිරී ඇති බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රීඩකයින් සහ නිලධාරීන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ක්‍රිකට් තරග අත්හිටුවීම

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සියලු ආකරයේ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුව ඉදිරි තරග සඳහා ක්‍රීඩකයින් තේරීමේදී සලකා නොබලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඕස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැනීම හා ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම ඊට හේතුවයි.

තවද, මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

අධිකරණ ක්‍රියාමාර්ග තුළින් ඔහු වරදකරු වුවහොත් ඔහුට දඬුවම් කිරීමට පියවර ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ඔස්ට්‍රේලියාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇප ඉල්ලීමක් කඩිනමින් ඉදිරිපත් කිරීමට සලකා බලන බව ඔහුගේ නීතිඥවරයා පැවසීය.

ධනුෂ්ක ගුණතිලකට ඇප ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අධිකරණය ඉදිරිපිට දී මාධ්‍ය අමතමින් නීතිඥ ආනන්ද අමරනාත් මේ බව ප්‍රකාශ කළේ ය.

"නිසැකවම, අපි ශ්‍රේෂ්ඨාධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කිරීමට සලකා බලමින් සිටිනවා ... එය හැකි ඉක්මනින් කරනවා," සිඩ්නි අධිකරණය පිටත දී නීතීඥ අමරනාත් පැවසීය.

ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේ පවුලක් නොමැති බව නීතිඥ අමරනාත් තහවුරු කළ නමුත් ඔහුට කැන්බරාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් "විශාල සහයෝගයක්" ඇති බව නීතිඥවරයා පැවසීය.

අවසරයකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක 2022 (නොවැම්බර් 07 වැනිදා) එරට ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

ධනුෂ්ක ගුණතිලකගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

විදේශිකයෙකු වීම සහ ඔහු ලබාදුන් ලිපිනයේ සිටින බවට සහතිකයක් ලබාදිය නොහැකි බව මත ඔහුට අධිකරණය ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

ධනුෂ්ක ගුණතිලක වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහුට අත්විලංගු දමා සිටින අයුරු දිස්වූ බව එරට මාධ්‍ය වාර්තා කොට තිබුණි.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආනන්ද අමරනාත් අධිකරණය හමුවේ ඔහුට ඇප ඉල්ලීමක් කර තිබේ.

මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් ඇප අයැදුම විභාගයට ගැනීමට පෙර නඩුව කෙටි වේලාවකට කල්තබා ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කළේය. නමුත් ධනුෂ්ක ගුණතිලකගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කොට තිබේ.

කෙසේ වෙතත් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති අංශයේ හිටපු ප්‍රධානී නීතිවේදී අචාර්ය චානක සේනානායක පැවසුවේ අද දිනයේ ඔහුට ඇප ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

එහෙත් ධනුෂ්ක ගුණතිලකගේ විදෙස් ගමන් බලපත්‍රය මේවන විට ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

ඒ අනුව ඔහුට එරටින් පිටවිය නොහැකි බව ආචාර්ය චානක සේනානායක සඳහන් කළේය.

නඩුව අවසන් වනතුරු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔහුට රැඳී සිටීමට සිදුවනු ඇති බවද චානක සේනානායක පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ නඩුවේ තීන්දුව මත ඔහුගේ ක්‍රිකට් අනාගතය තීරණය වනු ඇති බවය.

චෝදනා මොනවද ?

අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර සිඩ්නි අධිකරණයේදී ඔහුට ඇප ලබාදීම (නොවැම්බර් 06 වැනිදා) ප්‍රතික්ෂේප කර ඇත.

31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක, සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව පැවැති 20/20 ලෝක කුසලාන තරගයෙන් එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්වීමෙන් පසු එරට වේලාවෙන් ඉරිදා අලුයම 1.00ට පමණ ශ්‍රී ලංකා කණ්ඩායම නතරවී සිටි සිඩ්නි සසෙක්ස් වීදියේ හෝටලයකදී අත්අඩංගුවට ගැණින.

නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේදී නොවැම්බර් 2 වැනි බදාදා 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් එරට රහස් පරීක්ෂක නිලධාරීන් මේවන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ හඳුනාගෙන තම රුචිකත්වයන් මත පුද්ගලයින් ඇසුරු කිරිමට හැකි 'Tinder' නැමති 'Dating App' ඇප් එක ඔස්සේ අදාළ කාන්තාව සමඟ පණිවිඩ හුවමාරු කර ගෙන දින තුනකට පමණ පසු එනම් නොවැම්බර් 2 වැනිදා මෙම කාන්තාවට ලිංගික අතවර කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති තිබේ.

නිව් සවුත් වේල්ස් පොලිසිය පවසන්නේ අදාළ ඇප් එක ඔස්සේ දින කිහිපයක් පණිවිඩ හුවමාරු කර ගැනීමෙන් පසු, ධනුෂ්ක ගුණතිලක මෙම කාන්තාව හමුවී ඇති බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආබාධ සහිතව ධනුෂ්කව තබා ගත්තේ ඇයි?

2022 ඔක්තෝම්බර් 20 වන දින ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක තරගාවලියෙන් ඉවත් වූ නමුත් ඔහු ඕස්ට්‍රේලියාවේම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටියේය.

ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකව කණ්ඩායමෙන් ඉවත් කර තිබියදී ඔහුව දිගටම ඔස්ට්‍රේලියාවේ තබා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් කරුණු විමසා තිබුණි.

ධනුෂ්ක ගුණතිලක වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කරනු ලැබුවද, ඔහුව සූදානම් සහිතව සිටින ක්‍රීඩකයෙකු ලෙස සංචිතයේ රඳවා ගත් බව මීට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

වෛද්‍යවරුන් සහ තේරීම් කමිටු නිලධාරීන් සමඟ සාකච්ඡා කර කණ්ඩායම් කළමනාකාරීත්වය මෙම තීරණය ගෙන ඇත්තේ ගුණතිලකට ඇති වූ ආබාධයෙන් ඔහු ඉක්මනින් සුවය ලබමින් සිටින බැවින් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ධනුෂ්ක ඕස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්ට හුරුවී ඇති බැවින්, අවශ්‍ය නම්, ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට වහාම ඔහුව කැඳවීමේ අරමුණින් සහ සංචිතය සමඟ දිගටම පුහුණුවීම් කළ හැකි බැවින්, ඔහු කණ්ඩායම සමඟ තබා ගැනීමට තීරණය වූ බවද ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ කුමක්ද ?

Statement on Danushka Gunathilaka

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණ ක්‍රියාපටිපාටීන් සමීපව අධීක්ෂණය කරනු ඇති අතර, ICC සමඟ සාකච්ඡා කර, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන අතර වරදකරු වුවහොත් ක්‍රීඩකයාට එරෙහිව දැඩි පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කළේය.

පෙර වැරදි තිබේද?

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ධනුෂ්ක ගුණතිලකට මීට පෙර ද සංචාරයක් අතරතුරදී ශ්‍රී ලංකාවේදී මෙවැනිම චෝදනාවක් එල්ල වූ අතර එම චෝදනාවට ඔහු මාස කිහිපයක තරග තහනමකට ලක්විය.

විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට 2017 වසරේදි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව විසින් එක්දින තරග 6ක තහනමක් පනවා තිබුණි.

තරග තහනමට අමතරව ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත් මුදලින් 20% ක දඩයක් නියම කිරීමට ද ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණි.

ධනුෂ්ක ගුණතිලක ඉන්දීය එක්දින තරගාවලිය අතරතුර රාත්‍රී සාදයකට සහභාගි වී පසුදින උදෑසන පුහුණුවීම් සඳහා නොපැමිණීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරමින් ඔහුට මේ තරග තහනම පනවන ලද බවට එවකට වාර්තා විය.

එක්සත් රාජධානියේදී ජෛව බුබුල උල්ලංඝනය කිරීම හේතුවෙන්ද ඔහුට වසරක තහනමක් පැනවූ අතර මාස හයකට පසු තහනම ඉවත් කරන ලදී.