#MeToo ව්‍යාපාරයට වසර පහකි: මෙතෙක් වෙනස් වී ඇත්තේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වසර පහකට පෙර මේ කාලයේ අපට නො දැක සිටිය නො හැකි තරමට #MeToo හැෂ් ටැගය ජනප්‍රිය වී තිබුණි. ට්වීට් එකකින් ආරම්භ වූ මෙය, ලොව පුරා සිදුවන කාන්තාවන්ට එරෙහි ලිංගික අපයෝජන සහ හිරිහැර පිළිබඳ සංවාද රැල්ලක් ඇති කිරීමට සමත් විය.
"Me Too හැෂ් ටැගය ලිංගික ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර පිළිබඳව පළමු හැෂ් ටැගය හෝ මෙලෙස ප්‍රචලිත වූ පළමු හැෂ් ටැගයද නොවේ. ලෝකයේ බොහෝ ප්‍රදේශවල පැතිරී ගිය Me Too හැෂ් ටැගය විසින්, එතෙක් මෙම සංවාද කෙරෙහි යොමු වූ මෙවන් හැෂ් ටැගයන්ට ද ජාතික වශයෙන් මෙන් ම අන්තර්ජාතික වශයෙන් ද වැඩි ප්‍රචලිත බවක් ලබා දුනි." යි ස්ටැත්ක්ලයිඩ් විශ්ව විද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යක්ෂ සහ ස්ත්‍රීවාදී මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ කථිකාචාර්ය මහාචාර්ය කැරන් බොයිල් පවසන්නී ය.
මෙම හැෂ් ටැගය, ලොව පුරා රැකියා ස්ථානවල සහ සමාජයේ කාන්තාවන්ට සලකන ආකාරය පිළිබඳව පුළුල් කතිකාවක් ඇති කළ අතර, ලිංගික අතවර සහ අපයෝජනයන් ගැන විවෘතව කතා කිරීමට කාන්තාවන් දිරිමත් කිරීම ද සිදු කළේ ය.
එය ආරම්භ වූයේ කෙසේද?
"Me Too" ව්‍යාපාරය ආරම්භ වූයේ 2006 වසරේදී ය. ඒ එම හැෂ් ටැගය නිර්මාණය කළ සමාජ ක්‍රියාකාරිනි වන තරානා බර්ක් විසින්, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අපයෝජනයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා "Me Too" යන වාක්‍ය ඛණ්ඩය භාවිතා කිරීමත් සමඟ ය.
වසර එකොළහකට පසු 2017 දී, මෙය නව සමාජ වේදිකාවකට එළඹෙන්නේ, ඇමරිකානු නිළියක් වන ඇලිසා මිලානෝගේ ට්වීට් පණිවුඩයක් හේතුවෙනි. කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැර සහ අඩන්තේට්ටම් පිළිබඳව සිය අත්දැකීම් බෙදා ගන්න යැයි ඇය ට්වීට් පණිවුඩයක් හරහා ඉල්ලා සිටියා ය. පසුව එය ලොව පුරා ව්‍යාප්ත වී ගියේ ය. මිලානෝ යනු හොලිවුඩයේ සුපිරි නළු හාවි වෙයින්ස්ටයින් ලිංගික අතවර සහ හිරිහැර කරන බවට පළමු වරට චෝදනා කළ කාන්තාවන්ගෙන් කෙනෙකි.
ඇය මෙලෙස ට්වීටර් පණිවිඩය යොමු කළ පළමු දිනය; එනම් ඔක්තෝබර් 15 වන දිනයේ ම, "Me too" යන වාක්‍ය ඛණ්ඩය සමාජ මාධ්‍යවල 200,000 වාරයකට වඩා භාවිතා කර තිබූ අතර, එය ඊට පසු දා වන විට, මිලියන භාගයකට අධික වාර ගණනක් ට්වීටර් ඔස්සේ බෙදාගෙන තිබුණි. එලෙස ඇරඹි #MeToo, විවිධ භාෂාවලින් රටවල් 85කට වඩා වැඩි ප්‍රමාණයක පැතිර ගියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙම ආරම්භ වූයේ එක්සත් ජනපදයේ වුවත්, එහි බලපෑම එරටට පමණක් සීමා වූයේ නැත.
මහාචාර්ය බොයිල්ට අනුව, හැෂ් ටැගය ලොව පුරා වේගවත්ව පැතිර යාම සහ Me Too ව්‍යාපාරය වෙන් වෙන් ව හඳුනා ගැනීම වැදගත් වේ.
හැෂ් ටැගය 'වෛරසයක් මෙන්' ලොව පුරා පැතිර යාමට, දශක ගණනක් තිස්සේ අන්තර්ජාලය ඔස්සේ මෙන් ම, අන්තර්ජාලයෙන් බාහිරව සිදුවූ ක්‍රියාකාරකම් ද ඇතුළු බොහෝ සාධක හේතු වී තිබේ.
"මම Me Too දකින්නේ හැෂ් ටැගය හා බැඳුණු, අත්දැකීම් බෙදාගැනීමේ පොදු සාකච්ඡාව ලෙසට ය" මහාචාර්ය බොයිල් පවසන්නීය. "මම සිතන්නේ මෙම ක්‍රියාවලිය ආරම්භ වූයේ ඊට බොහෝ කාලයකට පෙර කියා ය."
"Me Too සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවසන දේ සහ වඩා පුළුල් අර්ථයකින් ගෙන බලන කළ දැකිය හැකි දේ අතර වෙනසක් තිබේ" යි ඇය පවසන්නීය. "බොහෝ විට සිදු වන්නේ දශක ගණනාවක් තිස්සේ අන්තර්ජාලය හා ඉන් බැහැරව, විවිධ ජාතීන්ට අයත් ගැහැනුන් විසින් ඉටු කළ කාර්යයභාරය, සුදු ජාතික ජනප්‍රිය කාන්තාවක විසින් මෙහෙය වූ බවට ප්‍රකට වීමයි."
#MeToo හි ගෝලීය බලපෑම
ස්ත්‍රීවාදී සාමූහිකයක් වන Think Olga හි නිර්මාතෘ ජූලියානා ඩි ෆාරියා විසින් 2015 දී, #MeuPrimeiroAssedio හෙවත් #MyFirstHarrassment ආරම්භ කළා ය.
එය ආරම්භ කර දින කිහිපයක් ඇතුළත, බ්‍රසීලයේ කාන්තාවන් තමන් අත්විඳින ලිංගික හිරිහැර විස්තර කරමින් ට්වීටර් පණිවිඩ දහස් ගණනක් බෙදාගත් හ. එය ඉතා ඉක්මනින් ස්පාඤ්ඤ භාෂාවෙන් #MiPrimerAcoso ලෙස, ලතින් ඇමරිකාව පුරා ම ව්‍යාප්ත විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෑත වසරවලදී, චීනය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව වැනි රටවල්වල මෙම මාතෘකාව විවෘතව සාකච්ඡාවට ගෙන ඒමට දායක වූ උදාහරණ රාශියකි.
ජනප්‍රිය ඉන්දීය රියැලිටි වැඩසටහනක් වන බිග් බොස් වැඩසටහනෙන්, බොලිවුඩ් අධ්‍යක්ෂක සජිඩ් ඛාන් ඉවත් කරන ලෙස කෙරෙන ඉල්ලීම් මේ වනවිට වැඩි වී තිබේ.
ඒ වසර හතරකට පෙර, කාන්තා වෘත්තීය සගයන් අට දෙනෙකු සහ මාධ්‍යවේදිනියක විසින් ඔහුට එල්ල කළ ලිංගික අපචාර චෝදනාවලට පසුව ය.
ඔහු මෙම අපචාර චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුට එරෙහිව කිසිදු පැමිණිල්ලක් මෙතෙක් පොලිසියේ සටහන් ව නැත.
දැනටමත් බලවත් පුරුෂයන්ට සහය දක්වන කර්මාන්තයක, මෙවන් අපයෝජකයන්ට පිළිගැනීමක් ලැබෙන වේදිකාවක් ලබා දීම, සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබේ.

2018 දී චීනයේ #MeToo පැතිරීම වේගවත් වූ විට ක්ෂන්සි නමින් පවත්වාගෙන ගිය ගිණුමක් හරහා සිය අත්දැකීම බෙදාගත් ෂෝ ශාක්ශුආන්, ලිංගික අඩන්තේට්ටම් පිළිබඳව සිය අත්දැකීම් බෙදා ගැනීමට පටන් ගත් බොහෝ කාන්තාවන් අතුරින් කෙනෙකි.
විශාල පිරිසක් අතර හුවමාරු වූ වචන 3,000 ක ලිපියකින්, ඇය රජයේ රූපවාහිනී නාලිකාව වූ CCTV හි ජනප්‍රිය නිවේදකයෙකු වූ සූ ජුන්, 2014 වසරේදී ඇයට ලිංගික අඩන්තේට්ටම් කළ බවට චෝදනා කළා ය. ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් ඔහුගේ ඇඳුම් කාමරයට ගිය විටදී මෙම සිදුවීම සිදුවූ බව අය විසින් කියා තිබුණි.
කෙසේ වෙතත් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින්, පසුගිය වසරේදී ඇයගේ නඩුව අධිකරණයෙන් ඉවතට විසි වූ අතර, අගෝස්තු මාසයේදී ඇයගේ අභියාචනය ද ප්‍රතික්ෂේප විය. නඩුවේ ප්‍රතිඵලය කෙසේ වූවත්, සාධාරණය සඳහා වූ තම සටන අත් නොහරින බවට ඇය සපථ කර තිබේ.

2019 වසරේදී, #AmInext සහ #MenAreTrash යන හැෂ් ටැග් දකුණු අප්‍රිකාවේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළා දැකීමේ හඬක් බවට පත් විය. ඒ කේප් ටවුන් තැපැල් කාර්යාලයකදී 19 හැවිරිදි උයිනේන් මිර්වෙටියානා නමැති සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසුව ය.
ඇයගේ ඝාතනය රට තුළ කාන්තා හිංසනය ඉහළ මට්ටමක පැවතීම පිළිබඳව විශාල කතිකාවක් ඇති කළ අතර, කාන්තාවන්ට එල්ල කෙරෙන ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධතා ඇති වීමට ද හේතුවක් විය.
කාන්තා ඝාතන ගෝලීය සාමාන්‍යයට වඩා පස් ගුණයකින් වැඩි රටක් වන දකුණු අප්‍රිකාවේ, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, එරට ජාතික අර්බුදයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද එරට රජයට සිදු විය.

හිටපු නේපාල නිරූපිකාවක්, තමන් වයස අවුරුදු දහසයේදී දූෂණයට ලක් වූ බවට චෝදනා කරමින් TikTok වීඩියෝ මාලාවක් නිකුත් කිරීමෙන් පසුව, පසුගිය මැයි මාසයේදී සිය ගණනක් දෙනා ස්ත්‍රී දූෂණ අර්ථ දැක්වීම පුළුල් වන ආකාරයට නේපාලයේ නීති ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා වීදි බැස්ස හ.
තමන් දහසය හැවිරිදිව සිටියදී, රූපලාවණ්‍ය තරඟ සංවිධායකයෙකු විසින් තමාට මත්ද්‍රව්‍ය ලබා දී, දූෂණය කර පසුව අවමානයට ලක් කරන බවට තර්ජනය කළ බව ඇය පවසා සිටියා ය. නමුත් නේපාලයේ නීතිවලට අනුව ස්ත්‍රී දූෂණ සිද්ධියක් එය සිදු වී වසරක් ඇතුළත වාර්තා කළ යුතු ය. මහජන බලපෑම් මත මේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතත් ඒ අත්අඩංගුවට ගැනීම සිදු ව ඇත්තේ මිනිස් ජාවාරම් සම්බන්ධ නීති වගන්තියක් යටතේ ය.

22 හැවිරිදි කුර්දි ජාතික කාන්තාවක් වන මහ්සා අමිනී, ඉරාන සදාචාර පොලිස් භාරයේ සිටියදී මිය යාම සම්බන්ධයෙන් එරට පුරා ම විරෝධතා පැන නැගුණි.
මහ්සා අමිනීව අත්අඩංගුවට ගනු ලැබුවේ, ඇය හැඳ පැළඳ සිටි ආකාරය, එරට සදාචාර පොලිසියේ දැඩි නීතිවලට අනුකූල නොවීම හේතුවෙනි.
ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ ඇය පොලිස් වෑන් රථයක් තුළ සිටියදී සදාචාර පොලිසිය විසින් පහර දීමෙන් පසුව පසුව කෝමා තත්ත්වයට පත් ව මිය ගියාය.
ඉරාන පොලිසිය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඇය මියගියේ හදිසි හෘදයාබාධයකට ගොදුරු වීමෙන් බවයි.
ඉරාන ක්‍රියාකාරීන් විසින්, එරට පුරා මේ වනවිට ව්‍යාප්ත වී ඇති පෙර නොවූ විරූ මට්ටමේ විරෝධතා සහ මී ටූ ව්‍යාපාරය අතර සමානතා පෙන්වා දී තිබේ.
"ඔබ #MeToo සඳහා සහය දක්වනවා නම්, කාන්තාවන්ට සහ පුරුෂයන්ට සමාන අයිතිවාසිකම් ඉල්ලා සිටිනවා නම්, #MahsaAmini වෙනුවෙන් පෙනී නො සිටීම සාධාරණීකරණය කරන්නේ කෙසේ ද? මෙයට ආගමේ හෝ, දර්ශනයේ හෝ හිජාබ් පැළඳීම හෝ නොඇඳීම ආදී කරුණු සමඟ කිසිදු සම්බන්ධයක් නො මැත." යි ඉරාන නිළියක් සහ ක්‍රියාකාරිනියක වන ගොල්ෂිෆ්ටේ ෆරාහාන් ට්වීටර් පණිවිඩයක් ඔස්සේ විමසා සිටින්නී ය.
"එය කාන්තාවන්ට සිය සිරුර පිළිබඳව තීරණ ගැනීමේ නිදහස ගැන කතිකාවකි"
හැෂ් ටැගයෙන් ඔබ්බට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වසර පහක් ඉක්ම යාමෙන් පසුව, නිරීක්ෂකයින් පවසන්නේ මෙම හැෂ් ටැගය විසින්, හැෂ් ටැගයකට ඔබ්බෙන් ගිය සුවිශාල සාර්ථකත්වයක් ලබාගෙන ඇති බවයි. විශේෂයෙන් ම කාන්තාවන් තමන්ට එරෙහිව සිදුවන අපයෝජනයන් ගැන වඩාත් විවෘතව කතා කිරීමට පෙළඹීම මෙන් ම එවන් හිංසන ක්‍රියාවන්ට විරෝධය පෑමට උත්සුක වීම ඒ අතරින් ප්‍රධාන ය.
"ලිංගික හිරිහැර සහ අපයෝජනයන් පිළිබඳ විවෘත සාකච්ඡා ඇති කිරීම සඳහා MeToo හැෂ් ටැගය සැබවින්ම අතිශය වැදගත් බලපෑමක් කර තිබේ. විශේෂයෙන් ම කාන්තාවන්ට ඔවුන් මුහුණ දුන් සිදුවීම් සහ අත්දැකීම් ගැන මෙන් ම, ඔවුන්ගේ විශ්වාසයන් ගැන ද කතා කිරීමට එයින් පෙළඹවීමක් ඇති විය." යි මහාචාර්ය බොයිල් පවසන්නී ය.
කාන්තාවන්ට සලකන ආකාරය ගැන ඇති වූ මෙම ගෝලීය මට්ටමේ සංවාද, එවන් සිදුවීම් ගැන මෙන් ම, ඊට යටින් පවතින සමාජ ගැටලු කිහිපයක් ද හෙළිදරව් කළ බවත් ඇගේ අදහස වී තිබේ.
"නමුත් කණගාටුදායක ලෙස, මෙය මුල සිටම පාහේ - පුද්ගලයන්ට සහ පොදුවේ කතා කරන්නන්ට එරෙහිව ප්‍රතික්‍රියා ඇති කරන්නක් ද විය. සෑම කෙනෙකුම, සෑම කතාවක් ම විශ්වාස කිරීමට කටයුතු නොකළහ."
ප්‍රසිද්ධ පුද්ගලයින්ට එරෙහි චෝදනා පිළිගැනීමට අපහසු යතාර්ථයක් හෙළි කිරීම නිසා ම එම චෝදනාවලට එරෙහිව ක්‍රියාත්මක වීම බොහෝ විට නිසි අයුරින් සිදු වූයේ නැත.
"Me Too මොහොත, තනි පුද්ගල අපරාධකරුවන්ගේ හැසිරීම පමණක් නොව, ඇතැම් කර්මාන්තවල සහ සමස්ත සමාජයේ ම වටිනාකම්වල ඇති දුර්වලකම් දෙස බැලීමට ද අපට අවකාශ සලසා දුනි."
මීළඟ පියවර කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මහාචාර්ය බොයිල් පවසන්නේ ලොව පුරා ව්‍යාප්ත වූ Me Too මොහොත, සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා අවකාශයක් නිර්මාණය කළ නමුත්, සාර්ථක වීම වෙනුවෙන් තවත් බොහෝ දේ කළ යුතු බවයි.
"ලිංගික හිරිහැර සහ අඩන්තේට්ටම් සිදුවන ප්‍රමාණය ශුන්‍ය වූ විට අප අපගේ අරමුණට ගොස් ඇති බව කිව හැකි වේ. එහෙත් ඒ සඳහා තව බොහෝ දුරක් අපට යාමට තිබේ." ඇය පවසයි.
"MeToo වෛරස් මොහොත සැබවින්ම සමාජ වෙනසකට දායක කරගැනීමට නම්, සේවා ස්ථාන, පාසල්, ක්‍රීඩා පිටිවල ආදී ඕනෑම සමාජීය තැනක් ම අඛණ්ඩ වෙනසකට ලක් කළ යුතු වේ. මෙම ක්‍රියාවලිය දශක ගණනාවක් පැරණි විය හැක. එහෙත් එය ආරම්භය පමණකි."











