20/20 ලෝක කුසලානය :ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

2022 ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ලෝක ශූර ඔස්ට්‍රේලියාව කඩුළු 7ක ජයක් ලැබීය.

නවසීලන්තයට එරෙහි පළමු තරගයෙන් දැවැන්ත පරාජයක් ලැබූ ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලැබූ පළමු තරග ජයග්‍රහණය මෙයයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 6කට ලකුණු 157ක් රැසක් කළේය.

පැතුම් නිශ්ශංක පන්දු 45කින් ලකුණු 40ක් රැස් කළ අතර චරිත් අසලංක පන්දු 25කට ලකුණු 38ක් රැස් කළේය.

ධනංජය ද සිල්වා පන්දු 23කින් ලකුණු 26ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව කඩුළු 3ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කළේ පන්දුවාර 16.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කරමිනි.

මුල් පන්දුවාර 10 තුළ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් මනා පාලනයකට නතු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්වුවත්, මාකස් ස්ටොයිනිස් ශ්‍රී ලංකාවෙන් තරගය උදුරා ගැනීමට සමත්විය.ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ස්ටොයිනිස් පන්දු 18කින් වේගවත් ලකුණු 59ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

එරොන් ෆින්ච් පන්දු 42කට ලකුණු 31ක් ලබා ගත්තේය.ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 12කට ලකුණු 23ක් රැසක් කළේය.

අද තරගය ජය ලැබුවද ඔස්ට්‍රේලියාවේ ශුද්ධ ලකුණු වේගය (- 1.555) කි. ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු වේගය +0.450 කි. පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ පළමු ස්ථානය නවසීලන්තය හිමිකර ගෙන සිටින අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ එංගලන්තයයි. ශ්‍රී ලංකාව තුන් වැනි ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ සිව්වැනි ස්ථානයයි.

සුපිරි 12 වටයේ තවත් තරග 2ක් හෙට පැවැත්වෙන අතර, එංගලන්තය හා අයර්ලන්තය අතරත්, නවසීලන්තය හා ඇෆ්ගනිස්ථානය අතරත් එම තරග පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව තරග වදින මීළඟ තරගය ඔක්තෝබර් 29 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ, ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිවය.

අද තරගය පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉදිරි තරගය ඉතා තීරණාත්මක වනු ඇත.

තණතීරුව

පර්ත් නුවරට වර්ෂාපතනයක් ඇති විය හැකි නමුත් එය අද තරගය පැවැත්වීමට විශාල බලපෑමක් එල්ල නොකරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කළේය.

පර්ත් ක්‍රීඩාංගණයේ තණතීරුව හැසිරෙන්නේ කෙසේද යන්න අවිනිශ්තය. නව ක්‍රීඩාංගනයක් මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අඩු තරග සංඛ්‍යාවක් එහි පවත්වා තිබීම ඊට හේතුවයි.

කෙසේවෙතත් මෙය වේග පන්දු යවන්නන්ට වඩාත් හිතකර තණ තීරුවක් සේ සැලකෙයි.

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැවසුවේ, "හැමෝම කතා වෙනවා පර්ත් ක්‍රීඩාංගනයේ පන්දුව ටිකක් වේගයෙන් සහ ඉපිලීම වැඩියි කියලා."

මාලිංග පෙන්වා දුන්නේ "මගේ පෞද්ගලික හැඟීම තමයි, මම ක්‍රීඩා කරලා ලකුණු 7කට කඩුළු 6ක් දවා ගත්තා. එහිදී මම වැඩිපුර භාවිත කළේ හිමින් පන්දුව. කඩුල්ල කොහොම වුණත්, පන්දු යවන්නන්ට තියෙන ස්කිල් එක ගොඩක් වැදගත් මේවගේ තරගවලදී"යනුවෙනි.

පිතිකරුවන්ට වැඩි දායකත්වයක් දක්වනු ඇතැයි සඳහන් පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගණයේදී පන්දුවේ ඉපිලීමද දැක ගත හැකි තණ තීරුවකි. එම ක්‍රීඩාංගණයේදී මෙතෙක් පවත්වා ඇති තරග අතුරින් ජයග්‍රාහී සාමාන්‍ය 162 ක් වශයෙන් සටහන් වේ.

ලෝක ශූර ඕස්ට්‍රේලියාවට වඩා ශ්‍රී ලංකාව හොඳ තැනක සිටිනවාද?

තරගාවලියේ ඉදිරියට යෑම සඳහා අද පැවැත්වෙන තරගය දෙපිළටම තීරණාත්මක වනු ඇත.

ඔස්ට්‍රේලියාව සුපිරි 12 දෙනාගේ තරග වටයේ ආරම්භක තරගයේදී නවසීලන්තය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ පෑවේය.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මලින්ද වර්ණපුර කියා සිටියේ වැඩි පීඩනයක් ඇත්තේ ඔස්ට්‍රේලියාවට බවයි. "ඔස්ට්‍රේලියාව පළමු තරගය පරාජයට පත්වෙනවා නවසීලන්තයට එරෙහිව. එතකොට හැමවෙලාවෙම මේ පීඩනය තියෙන්නේ ඔස්ට්‍රේලියාවට." යනුවෙනි.

ඔස්ට්‍රේලියාවේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ( -4.45) අගයක් දක්වා පහත වැටී ඇත. ශ්‍රී ලංකාව පළමු තරගයේදී අයර්ලන්තය පරාජය කළ අතර ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය + 2.467 කි.

ශුද්ධ ලකුණු මට්ටම ක්‍රියාත්මක වන්නේ අවසන් පූර්ව වටයට පෙර කණ්ඩායම් සමාන ලකුණු ලබා ඇත්නම් පමණි. නමුත් සෑම කණ්ඩායමක්ම ඉලක්ක කරන්නේ කණ්ඩායම් හයකින් සමන්විත කණ්ඩායම තුළ හොඳම කණ්ඩායම් දෙක වීමටය.

මේවන විට ලෝක කුසලාන 20/20 තරගාවලිය උණුසුම් හා තියුණු මුහුණුවරක් ගෙන තිබේ.

නවසීලන්තය හමුවේ ලද දරුණු පරාජය නිසා ඔස්ට්‍රෙලියානු පිල අද තරගයට පිවිසෙන්නේ ජයග්‍රහණයකින් තරගය අවසන් කිරීමට පමණක් නොව,

ශූද්ධ ලකුණු වේගයද ඉදිරියට රැගෙන ඒමේ අධිෂ්ඨානයෙන් යුක්තවය.

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට වඩා දක්ෂ දඟ පන්දු යවන්නන්ගේ බල ඇණියකින් සමන්විත වන අතර වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා ඒ අතර වෙති.

වනිඳු හසරංග මෙන්ම මහීෂ් තීක්ෂණ ද තරගාවලිය තුළ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ඔහු 20/20 තරග 28කට ක්‍රීඩා කරමින් කඩුලු 29ක් දවාගෙන ඇත.

6.42ක ආකර්ෂණීය ලකුණු ලබා දීමේ වේගයක් ඔහු විසින් පවත්වාගෙන ගොස් තිබේ.තරගාවලියේ මේ දක්වා ඔහු කඩුලු 7ක් ලබා ඇති අතර ලකුණු ලබා දීමේ වේගය 5.86කි.

මිචෙල් ස්ටාක්, පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් වැනි ප්‍රබල වේගපන්දු යවන්නන්ගේ බල ඇණියකින් ඔස්ට්‍රේලියාව සමන්විත වෙයි.

එරොන් ෆින්ච් ශ්‍රී ලංකාවට එරෙහිව අර්ධ ශතක තුනක් ලබා ඇති අතර ප්‍රහාරත්මක වේගය 136 කි.

ඩේවිඩ් වෝනර් මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව අර්ධ ශතක හයක් සහ ශතකයක් ලබාගෙන ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව ඔහු ලබා ඇති ලකුණු 642 ඕනෑම විරුද්ධවාදියෙකුට එරෙහිව ඔහු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර, ඔහු එම ලකුණු ලබාගෙන ඇත්තේ 141ක ප්‍රහාරක වේගයකිනි.

එබැවින් අද තරගයේදී මොවුන් දෙදෙනා, ඉක්මනින්ම පිටියෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකාවට වාසි දායක වනු ඇත.

"ඇත්තටම සරල සැලසුමක් තියෙනවා. අපි නිරතම උත්සාහ කරන්නේ අපේ පන්දුවාර 4 දී ලකුණු 24 කට අඩුවෙන් තියාගෙන පන්දු යවන්න. අන්න ඒ නිසා තමයි අපිට ගොඩක් වටිනා කඩුලු දවා ගැනීමට හැකියාව ලැබෙන්නේ. එය අපි ඉනිමේ මැද මෙන්ම අග හරියේදීත් හොදට කරනවා" යැයි වනිඳු හසරංග සමඟ පන්දු යැවීමේදී භාවිතා කරන සැලසුම පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමේදී තීක්ෂණ ප්‍රකාශ කළේය.

මේ අතර ලසිත් මාලිංග පෙන්වා දුන්නේ, "ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කළා. විශේෂම දෙය තමයි චරිත් අසලංක ඉතාමත් ම හොඳින් ලකුණු අතරට ඇවිල්ලා ඉන්නවා මේ වෙනකොට. මම හිතනවා ඒක ගොඩක් වැදගත්. මොකද අනික් කණ්ඩායම් එක්ක බලන කොට 1, 2, 3,4 යන ක්‍රීඩකයින් ලකුණු අතරට ඇවිල්ලා ඉන්නේ කණ්ඩායම් 2ක , 3ක විතරයි."

අද තරගයට කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුෂාන් යන ක්‍රීඩකයින් බොහෝ විට ක්‍රීඩා කරනු ඇත.

"මම හිතන විදියට එයා (පැතුම්) අද තරගය සදහා හොඳ සූදානමකින් සිටිනවා. බොහෝ විට ඔහු අද තරගයට ක්‍රීඩා කරාවි" යැයි තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී මහීෂ් තීක්ෂණ සඳහන් කර සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බල ඇණියේ සිටින වනිඳු හසරංග පිළිබඳව අදහස් දක්වමින් ප්‍රතිවාදී ඔස්ට්‍රේලියා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් මෙසේ පැවසීය. "ඇත්තටම ඔහු ඉතාම හොඳ පන්දු යවන්නෙක් නිසා ඔහුට එරෙහිව අපි හොඳ ප්‍රතික්‍රියාවක් දැක්විය යුතුයි"

"පර්ත් තණතීරුවේදී දඟ පන්දුව එතරම් ලොකු බලපෑමක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා අපිට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට හොඳ අභියෝගයක් ලබා දෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු තණ තීරුවලදී දඟ පන්දු යවන්නන්ට අපි හොඳින් පන්දුවට පහර දෙන නිසා" යැයි ඔහු පැවසීය.

මේ අතර මලින්ද වර්ණපුර සඳහන් කළේ "ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය ජයග්‍රහණය කළොත් ඒක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලොකු පීඩනයක් වෙනවා මේ තරගාවලියේ රැඳී සිටින්න." යනුවෙනි.