ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආසියානු කුසලානය : පළායාමෙන් පසු නැවත පැමිණි ගෝඨාභය රාජපක්ෂගේ පළමු ප්‍රසිද්ධ ප්‍රතිචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (සැප්. 12) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් මහා තරගයේ දී පාකිස්ථානයට එරෙහිව ලකුණු 23ක ජයක් වාර්තා කරමින් සයවැනි වරටත් විස්ස යි විස්ස ආසියානු කුසලානය ශ්‍රී ලංකාව වෙත ගෙන ආවේ ය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම කුසලානය ජයග්‍රහණය කළේ වසර අටකට පසු ය.
භානුක රාජපක්ෂ තරගයේ වීරයා ලෙසත්, වනිඳු හසරංග තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන හිමිකර ගත්හ.
ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, සහ දිල්ශාන් මධුශංක ඊයේ තරගයට ක්‍රීඩා කළහ.
මාස ගණනක් පුරා ආර්ථික අර්බුදයේ දැඩි ආතතීන්ට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකිකයින් ආසියානු කුසලානයේ උද්දාමයෙන් පිරීගිය ගිය අතර ශ්‍රී ලාංකිකයින්ගේ මානසික තත්ත්වය ඉහළ නංවන්නට ද මෙම ජයග්‍රහණය හේතුවිය.
මේ අතරේ, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ද ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබ පැතුම් එක්කර තිබුණි. ජුලි 13 දා මෙරටින් පළාගිය හිටපු ජනපතිවරයා නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව ප්‍රසිද්ධියේ පළකරන ලද පළමු ප්‍රතිචාරය ද මෙය යි.
ජනපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද සුබ පතමින් ට්විටර් පණිවුඩ නිකුත්කොට තිබුණි.
මේ අතරේ, ජයග්‍රහණයෙන් ප්‍රීතියට පත් ශ්‍රී ලාංකිකයින් මෙන්ම, ඉන්දියානුවන් හා ඇෆ්ගනිස්ථාන ජාතිකයින් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයඝෝෂා නංවන අයුරු සමාජ මාධ්‍යයන් පුරා දක්නට ලැබුණි.
ශ්‍රී ලාංකික රසිකයින් ද විවිධාකාරයේ පෝස්ටු, මීම් ආදිය මඟින් සිය සතුට පළකරනු පෙනෙන්නට ඇත.
තරගාවලිය මුල දී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව සැක පහළ කිරීමෙන් පසු ක්‍රීඩාලෝලීන්ගේ විවේචනයට ලක්වූ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක ගෞතම් ගම්භීර් ද ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ධජය ලෙළවන අයුරු දක්නට ලැබුණි.