ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආසියානු කුසලානය T20 ලෝක කුසලානයට පෙර පුහුණුවක් ද?
මෙවර ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්වෙද්දී බොහෝ ක්‍රිකට් විචාරකයන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළින් තැබුවේ ටෙස්ට් වරම් නොලද හොංකොං කණ්ඩායමට පමණි.
ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවා පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරගාවලිය පැවැත්වීම නිසා ශ්‍රී ලංකාවට ශූරතාව දිනාගැනීමට අඩු ඉඩක් ඇති බවකි.
එමෙන්ම ඉන්දියාව සහ පකිස්ථානය අවසන් මහා තරගයට පිවිසීම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ඉලක්කය බවට අර්ජුන පැවසීය.
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබු තරගාවලිය ඩුබායි රාජ්‍යයට ගෙන යාම නිසා ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය දිනාගැනීමට තිබු අවස්ථාව අහිමිකරගත් බව ඔහුගේ තක්සේරුව විය.
ක්‍රිකට් විචාරකයින් පැවසුවේ මුලික වටයේදී ශ්‍රී ලංකාව ඇෆ්ඝනිස්ථානය හමුවේ දරුණු පරාජයකට ලක්වීමත් සමඟ එම තක්සේරු කිරීමට සාධක ලැබී ඇති බවයි.
මේ අනුව ශ්‍රී ලංකාවට ගෞරවය රැකගැනීමට මෙන්ම තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් බංග්ලාදේශය පරාජය කිරීම අනිවාර්යය සාධකයක් වී තිබුණි.
මුලික වටයේදී බංග්ලාදේශය තියුණු තරගයකින් පසු පරාජය කල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එතැන් සිට අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ තරගාවලියේ ප්‍රබලම කණ්ඩායම් ලෙස නම් දරා සිටි ඉන්දියාව සහ පකිස්ථානය පහසුවෙන් පරාජය කරමිනි.
අවසන් මහා තරගය
ඉරිදා ඩුබායි නුවරදී පැවති අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වුයේ ඊට පෙර සුපිරි හතර දෙනාගේ වටයේ පැවති අවසන් තරගයේදී පකිස්ථානය පහසුවෙන් පරාජය කර තිබු පසුබිමකය.
නමුත් ඉරිදා පැවති තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට නොලැබුණේ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ දමමිනි. ඊට හේතු වුයේ ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාපිටියේ වැඩි වාසි දෙවනියට පන්දුවට පහරදෙන කණ්ඩායමට හිමිවීමේ අත්දැකීම් මුලික වටයේදී සහ සුපිරි හතර දෙනාගේ වටයේදී සියලු කණ්ඩායම් අත්විදීම නිසාවෙනි.
තරගයේ වීරයා සම්මානය භානුක රාජපක්ෂ දිනාගනිද්දී තරගාවලියේ වීරයා ලෙස වනිඳු හසරංග සම්මාන දිනාගත්තේය.
ඉරිදා ශ්‍රී ලංකා කණ්ඩයමේ ක්‍රීඩා කරන එකලොස්දෙනා අතර නොසිටියත් භානුක වෙනුවෙන් පන්දු රැකීමට පැමිණි අශේන් බණ්ඩාර අවසන් මහා තරගයේ හොඳම පන්දු රකින්නා බවට පත්වීම විශේෂත්වයකි.
එමෙන්ම ඉරිදා පැවති තරගය පුරා ශ්‍රී ලංකා පන්දු රකින්නන් විශිෂ්ට ලෙස උඩ පන්දු රැකගනිමින් සිය කාර්යභාරය ඉෂ්ඨ කිරීම ජයග්‍රහණයේ ප්‍රධාන රහසක් වූ බවට ක්‍රිකට් විචාරකයින් පවසයි.
එලෙස අවසන් මහා තරඟයට පිවිසි ශ්‍රී ලංකාව පකිස්ථානයට අමතක නොවන පරාජයක් අත් කර දුන්නේ 6 වෙනි වරටත් ආසියානු ශූරයන් බවට පත්වෙමිනි.
ජයග්‍රහණයෙන් පසු
ඒ අභිමානයත් සමගින් කුසලානය අතැතිව අද (සැප්තැම්බර් 13 දා) දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවන් තොටුපලේදී උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
එතැන් සිටි විවෘත බස් රථයකට ගොඩ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කොළඹ දක්වා පැමිණියේ සීදුව, කඳාන, ජා-ඇල සහ වත්තල ප්‍රදේශවලදී ලැබුණු උණුසම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැදය.
වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මීට වසර 10කට 15කට පෙර තිබු ක්‍රිකට් යුගය නැවත උදා කළ නොහැකි වනු ඇතැයි හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් පවසා තිබු අනාවැකිය ඉරිදා බොරුවක් බවට පත්වුයේ වසර අටකට පසු නැවත ශ්‍රී ලංකාව ආසියානු ශූරයන් වීමත් සමඟය .
ඉරිදා ජයග්‍රහණය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන මහේල, මහානාම, සනත් සහ සංගක්කාර ඇතුළු ක්‍රීඩකයින් රැසක් සිය සුබපැතුම් මෙලෙස එක්කර තිබුණි.
ඉරිදා ලැබූ ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය හමුවට එක්වු නායක දසුන් ශානක පැවසුවේ මේ ජයග්‍රහණය තම කණ්ඩයමේ හැරවුම් ලක්ෂ්‍යක් වනු ඇති බවයි.
"ක්‍රීඩකයෝ හොඳට කළාම හොඳ කියනවා වගේම අසාර්ථක වෙද්දී බනිනවා ඒකට අපි ලෑස්තිවෙලා ඉන්න ඕන, දෝෂාරෝපණය කරනවා නම් දිනුවත් පැරදුනත් දෝෂාරෝපණය කරන්න පුළුවන්. මට කියන්න තියෙන්නේ ක්‍රීඩකයන්ව විශ්වාස කරන්න කියලා විතරයි. පසුගිය කාලයේ ගොඩක් නරක දේවල් සිදු වුණා. ක්‍රීඩකයෝ විදිහට ඔවුන් ඔවුන්ගේ ජීවිතය විදින්න ඕනේ. ක්‍රීඩකයන් ගැන නරක දේවල් පතුරවන්න එපා. නායකයෙකු විදිහට මම හැමවෙලේම මගේ ක්‍රීඩකයින්ව විශ්වාස කරනවා," යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වමින් දසුන් ශානක පැවසීය.
"පසුගිය වසර කිහිපයේ සිට අපේ ක්‍රීඩකයෝ හොඳින් දස්කම් දැක්වුවා. ඒත් අවාසනාවකට වගේ අපිට තරග ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැ. ඒත් දැන් අපි ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වෙලා තියෙනවා. මේ විදිහට ගියොත් තව අවුරුදු 5 ක්, 6 ක් යන විට අපි හුඟක් හොඳ තත්ත්වයක ඉදිවි කියලා මම හිතනවා." යැයිද එහිදී දසුන් ශානක පැවසුවේය.
දසුන් ශානක සමඟ මාධ්‍ය හමුවට එක්වු භානුක රාජපක්ෂ ඩුබායි නුවරදී ලැබුණු ප්‍රේක්ෂක සහයෝගයට ස්තූතිය පුදකළ අතර තම කණ්ඩායම් අසාර්ථක වූ අවස්ථාවේදීත් තමන් සමඟ සිටි ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ප්‍රණාමය ද පුදකරනු ලැබීය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කල ක්‍රිකට් විචාරක සහ හිටපු ඉන්දීය පිතිකරු ගෞතම් ගාම්භීර් සමාජ මාධ්‍ය තුල ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි විවේචනයට ලක්විය. එම නිසාම ශ්‍රී ලංකා ජයග්‍රහණයෙන් පසු ගාම්භීර් ශ්‍රී ලංකා ධජය අතැතිව ජයග්‍රහණය සමරන්නට එක්ව සිටින ආකාරයද දක්නට ලැබුණි.
ඉදිරිය කුමක්ද ?
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම වසර අටකට පසුව මෙසේ ආසියානු ක්‍රිකට් ශුරතාවය හයවන වරට දිනාගැනීම මේ වන විට රටේ ඉතාමත් දුෂ්කර කාලයක් පසුකරමින් සිටින ක්‍රීඩා ලෝලීන්ට මහත් අස්වැසිල්ලක් වනවා මෙන්ම මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වඩා වැදගත් වන්නේ මෙය ICC T20 ලෝක කුසලානයට මසක් පමණ කාලයක් තිබියදී ජයග්‍රහණය කිරීමට හැකි වීම හේතුවෙනි.
ලබන මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානයට සහභාගී වන රටවල් හයෙන් පහක් මෙවර 2022 ආසියානු කුසලාන ශුරතාවයට සහභාගී විය.
නමුත් හාස්‍යයට කරුණ නම් ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය සුපිරි 12 දෙනාගේ ස්ථාන හිමිකරගෙන ඇති අතර ආසියානු කුසලාන ශූර ශ්‍රී ලංකාවට ඊළඟ අදියරේදී සෙසු කණ්ඩායම් සමඟ එක්වීමට පෙර සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වීමට සිදුවීමයි.
මෙම ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාවට සුබපතමින් අදහස් දැක්වූ පකිස්ථානයෙන් බිහි වූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන ෂොයිබ් අක්තාර් පැවසුවේ 'ආසියාවේ හොදම කණ්ඩායම' ශ්‍රී ලංකාව බව ඔවුන් ඔප්පු කර ඇති බවයි.
එම අභිමානය ඉන්දියාවට හෝ පකිස්ථානයට නොලැබුණු බවයි ඔහු පැවසුවේය. තමන් ලෝකයේ සිටින විශිෂ්ටම කණ්ඩායමක් බවට ශ්‍රී ලංකාව ඔප්පු කර ඇති බවද අක්තාර් පැවසීය.
ආසියානු කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටයේදී හොදම කණ්ඩායම් තුන සමඟ ක්‍රීඩා කිරීමට සියලුම කණ්ඩායම්වලට අවස්ථාව හිමි වූ අතර එය ලෝක කුසලානයට පෙර හොඳ පෙර පුහුණුවක් බවට ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ් පැවසීය.
එමෙන්ම ආසියානු ශූරයන් වන ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයේදී A කාණ්ඩයෙන් හමුවන නැමීබියාව, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉදිරියෙන් සිටින බව කණිෂ්ඨ තේරීම් කමිටු සාමාජික සහ ක්‍රිකට් පුහුණුකරු රංජන් පරණවිතාන බීබීසී සිංහල සේවයට පැවසීය.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ හොඳ දෙවන පෙළක් නිර්මාණය වී තිබෙන බව රංජන් පරණවිතාන පවසන්නේ කුමන හොද ක්‍රීඩකයෙක් අසාර්ථක වුවහොත් එම ස්ථානය ලබා ගැනීමට ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම බලා සිටින බවයි. ඒ බව ඩිල්ෂාන් මධුශංක,ප්‍රමෝද් මධුෂාන් පමණක් නොව ධනංජය ද සිල්වා ඔප්පුකළ බවට ඔහු පැවසීය.
මේ තත්ත්වය එළඹෙන ලෝක කුසලානයට යහපත් තත්ත්වයක් බවත් ඕස්ට්‍රේලියානු තණ තීරුවල ස්වභාවය වටහා ගැනීම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉක්මනින්ම සිදුකළ යුතු බවත් රංජන් පරණවිතාන පැවසීය.