ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 5ක උද්ධමනය හමුවේ කුසගිනි නිවන ආහාර වර්ග 5ක්

ආහාරවල මිල ලොව පුරා අධික ලෙස ඉහළ යමින් පවතින අතර ඇතැම් විට ආහාර හිඟ වෙමින් තිබේ. ලෝකයේ සියලු ප්‍රදේශයන්හි වෙසෙන ජනතාවට සිදුව ඇත්තේ, නව තත්ත්වයන්ට අනුගත වීමට ය. ඒ අනුව, ඇතැම් විට ඔවුන් ගන්නා ආහාර වෙනස් කිරීමට ද සිදුවෙයි.

මැදියම් රැයේ අමෙරිකාවේ වෝල්මාර්ට් වෙත දිව ගිය ගමනක්

වේලාව අලුයම 4.00 ය. ඩොනා මාර්ටින් සේවයට පැමිණෙන විට ජෝර්ජියාවේ සරත් කාලයේ උණුසුම නිසා වාතය ජල වාෂ්පවලින් තෙත් ස්වභාවයක පැවතිණි. තවත් දිනයක් යනු ඇයගේ පාසලේ දරුවන්ට ආහාර සැපයීම සදහා කරන තවත් සටනකි.

ඩොනා මාර්ටින්, පාසල් ආහාරය නොමිලේ ලබා ගන්නා දරුවන් 4200කට වග කියන ආහාර සැපයීම් අධ්‍යක්ෂවරියකි.

"මිනිසුන් 20,000කට ම අපට තියෙන්නේ ග්‍රොසරි දෙකක් විතරයි," ඇය පවසයි. "ඇත්තට ම මේක ආහාරවලට කාන්තාරයක්."

පසුගිය වසරේ සිට තමන්ට අවශ්‍ය දේ සපයා ගැනීමට ඇයට දුෂ්කර වී තිබේ.

1979 වසරේ සිට වාර්තා වු වැඩි ම වාර්ෂික ආහාර උද්ධමන ප්‍රතිශතය පසුගිය ජුලි මාසයේදී වාර්තා වු අතර එය 10.9%ක් විය. ආහාර මිල ගණන් අධික ලෙස ඉහළ යාමත් සමග ඇයට ආහාර සපයන්නන් පාසල්වලට ආහාර සැපයීමට කැමැත්තක් දක්වන්නේ නැත.

"ඔවුන් මට කියන්නේ: 'ඔයාව තෘප්තිමත් කරන්න අපට බැහැ. මේකෙ සීමාවක් නෑ' කියලා," ඇය පවසයි.

අමෙරිකාවේ ෆෙඩ්රල් පාසල් ආහාර වැඩසටහන දැඩිව නියාමනය වන ව්‍යාපෘතියකි. ඒ අනුව, එලෙස සපයන ආහාර උසස් තත්ත්වයක පැවතිය යුතු අතර ආහාරවල සීනි සහ ලුණු අඩු මට්ටමක පැවතිය යුතුය. එහෙයින්, ධාන්‍ය වර්ග, පිටිවලින් සකසන ආහාරවල සිට යෝගට් දක්වා සියල්ල පිළිබඳව සොයා බැලීමට සිදුවේ.

ඇයට ආහාර සපයන්නන් පවා ගැටලුවලට මුහුණ දී සිටින බව ඇය දනී. කාලයක් තිස්සේ පවතින කම්කරු හිඟය නිසා ඔවුන්ට රියැදුරන් සොයා ගැනීමට නොහැකි වී තිබේ. එපමණක් නොව පසුගිය වසරේ සිට ඉන්ධන මිල ගණන් 60%කින් ඉහළ ගොස් ඇත.

  • අමෙරිකාවේ වාර්ෂික ආහාර උද්ධමනය ජුලි මාසයේදී 10.9%ක් විය.
  • අමෙරිකානුවෝ තමන්ගේ ආදායමෙන් 7.1%ක් ආහාර වෙනුවෙන් වැය කරති. (USDA 2021)

ආහාර සපයන්නන් ඇයට ආහාර නොසපයන විට ඇයට වඩාත් විචක්ෂණශීලී වීමට සිදුවේ. දරුවන් වඩාත් කැමැත්තක් දක්වන පීනට් බටර් සොයා ගැනීමට ඇයට නොහැකි වු විට ඇය ඒ වෙනුවට බීන් ඩිප් ආදේශ කළාය.

"මම දන්නවා ඒවාට දරුවන් පීනට් බටර්වලට තරම් කැමති නැති බව. ඒත් ඔවුන්ට කුමක් හෝ කන්න දෙන්න මට සිදුවෙලා තියෙනවා," ඇය පවසන්නීය.

ඇයට සහ ඇගේ කාර්ය මණ්ඩලයට අලුයම් කාලයේ මෙන් ම මැදියම් රාත්‍රියේ ද වෝල්මාර්ට් වැනි වෙළෙදසල්වල රාක්ක පීරමින් ආහාර වර්ග හඹා යාමට සිදුව තිබේ.

"සතියේ සෑම දවසක ම නගරයේ තියෙන සෑම යෝගට් එකක් ම මිල දී ගන්න අපට සිදුවුණා."

"ගොඩක් දරුවෝ පාසල් යන්න ලොකු කැමැත්තකින් ඉන්නවා. මට ඔවුන්ට කියන්න බෑ: 'අද යෝගට් හොයා ගන්න බැරි වුණා කියලා.'"

ශ්‍රී ලංකාවේ පිහිටට එන කොස්

මධ්‍යම පළාතේ මහනුවරට මදක් ඔබ්බෙන් වී වගාවේ නිරත වු අනෝමා කුමාරි පරණාතල දැන් ඇයගේ එළවළු වත්තෙන් මුං ඇට සහ මිංචි නෙළන්නීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කඩා වැටීමත් සමඟ රට පුරා පවතින අර්බුදය සිතා ගැනීමට පවා දුෂ්කර වී තිබේ. ලෝක බැංකුව විසින් නිකුත් කළ වාර්තා අනුව ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර 5 වන ස්ථානයට මේ වන විට පැමිණ තිබේ.

ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුලු සියල්ලේ මිල ඉහල ගොස් තිබේ. උසස් රැකියා කරන ජනයාට පවා මුලික අවශ්‍යතා මිල දී ගැනීම දුෂ්කර වී ඇත.

"දැන් මිනිස්සු ඔවුන්ගේ අනාගතය ගැන බියෙන් පසුවෙනවා," අනෝමා පරණාතල පවසයි. "තමන්ට කන්න කිසිම දෙයක් නැති වෙයි කියලා ඔවුන් බියෙන් සිටිනවා."

ඇයගේ පවුලට හිමි භූමියකි. කොරෝනා සමයේ ඔවුන් වගා කිරීමට යොමු වුයේ හුදෙක් විනෝදය පිණිසය. දැන් එය ඔවුන්ගේ ජීවිකාව වී තිබේ.

  • ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 90.9.%ක් විය.
  • ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ ආදායමෙන් 29.6%ක් ආහාර වෙනුවෙන් වැය කරති.

අනෝමා පරණාතල එළවළු වැවීමට ඉගෙන ගත්තේ, පොත්වලින් සහ යුටියුබ් වීඩියෝ මඟිනි. ඇයගේ ගෙවත්තේ මේ වන විට තක්කාලි, නිවිති, වැටකොළු , කිරි අල සහ බතල වගා කර තිබේ.

විශාල ඉඩකඩම් හිමිකාරිත්වය සඳහා සෑම අයෙකුම වාසනාවන්ත නැත. කෙසේ වෙතත්, බොහෝ ශ්‍රී ලාංකිකයෝ තවත් ආහාර මුලාශ්‍රයක් දෙසට යොමු වෙමින් සිටිති. ඒ, කොස් ගස ය.

"හැම ඉඩමකම වගේ කොස් ගහක් තියෙනවා," අනෝමා පරණාතල කියයි.

"කොස් ගැන මිනිසුන්ගේ ලොකු අවධානයක් තිබුණේ නෑ මේ වෙනකම්. කොස් ගෙඩි ගහ මුල වැටිලා නාස්ති වුණා."

ඇය කොස්වලට පොල් කිරි යොදා උකු ව්‍යංජනයක් සකසා ගැනීමට පුරුදු විය. එය වෙළෙද පොළේ මිල අධික එළවළුවලට සහ මස් සදහා ආදේශකයක් වී තිබේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආහාරයක් වන කොත්තු සඳහා ද දැන් කොස් භාවිත කරයි. ඇතැම්හු කොස් ඇටවලින් පිටි සකසා පාන්, රස කැවිලි සහ රොටී සදහා භාවිත කරති.

වසර කිහිපයකට පෙර සිට ලොව පුරා ඉහළ පෙළේ ආපන ශාලාවල මස්වලට ආදේශකයක් ලෙස කොස් භාවිත කෙරුණ ද, ආහාර අර්බුදයක් ඇති වනතුරු කොස් වැවෙන ශ්‍රී ලංකාව තුළ එය ජනප්‍රිය කළ නොහැකි විය.

කොස්වල රහ මොන වගේ ද? "ඒක වචනයෙන් කියන්න බැරි රසක්," ඇය පවසන්නීය. "ඒක දිව්‍ය භෝජනයක් වගේ රසයි."

'වඳ වෙමින් පවතින' නයිජීරියාවේ බේකරි

සාමාන්‍යයෙන් එම්මානුවෙල් ඔනුඕරා දේශපාලනය පිළිබද කිසිදු කැමැත්තක් නොදක්වයි. බේකරිකරුවෙකු වන ඔහුට අවශ්‍ය පාන් විකිණීම පමණි.

එහෙත්, මෑතකදී නයිජීරියාව තුළ මෙම රැකියාව කළ නොහැකි තත්ත්වයකට පත්වී තිබේ.

"පසුගිය වසරේදී තිරිඟු පිටි මිල 200%කින් ඉහළ ගියා, සීනි මිල 150%කට ආසන්න ප්‍රතිශතයකින් වැඩි වුණා, බිත්තර මිල 120%කින් වැඩි වුණා," ඔහු කියයි.

"අපි දැන් පාඩු පිට මේක කරගෙන යන්නේ," ඔහු පවසයි. ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ 350 දෙනාගෙන් 305 දෙනෙකු ඉවත් කිරීමට ඔහුට සිදුවිය. "ඔවුන්ගේ පවුල්වලට කන්න දෙන්නේ කවුද?"

නයිජීරියාවේ පාන් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ඔහුට මෙම අර්බුදයට මැදිහත් වීමට සිදුව තිබේ. ජුලි මාසයේදී 'සේවාවලින් ඉවත්වීමේ' වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හරහා දින හතරක් පුරා බේකරි ලක්ෂ 5ක් වසා තැබීමට කටයුතු කළේය.

රජය මෙම තත්ත්වය වටහාගෙන බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා ආනයනික අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු මුදල් පහළ දමනු ඇතැයි ඔහු අපේක්ෂාසහගතව සිටී.

අස්වනු අඩුවීම සහ වසංගත තත්ත්වය හමුවේ ඉල්ලුම ඉහළ යාම නිසා ලෝකය පුරා තිරිඟු පිටි සහ එළවළු තෙල් මිල ගණන් ඉහළ ගියේය.

නයිජීරියාව, බේකරි නිෂ්පාදන සදහා අවශ්‍ය අමුද්‍රව්‍යවලින් වැඩි සංඛ්‍යාවක් ආනයනය කරයි. එහෙත්, පාන් රාත්තලක් අලෙවි කරනුයේ, යුරෝපයේ මිල ගණන්වලට සාපේක්ෂව ඉතාමත් අඩු මිලකටය. එහෙයින්, පාන් මිල ඉහළ දැමීම අතිශය දුෂ්කර කටයුත්තකි.

  • නයිජීරියාවේ වාර්ෂික උද්ධමනය 22%ක් ලෙස ජුලි මාසයේදී වාර්තා විය.
  • නයිජීරියානුවෝ තමන්ගේ ආදාමෙන් 59.1%ක් ආහාර වෙනුවෙන් වැය කරති.

එරට ක්‍රියාත්මක බලශක්ති සැපයුම අක්‍රමවත්ය. එහෙයින්, බොහෝ ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ ඩීසල් භාවිත කරන පෞද්ගලික විදුලි ජනක යන්ත්‍ර භාවිතයෙනි. එහෙත්, ඉන්ධන මිල 30%කින් ඉහළ ගොස් තිබේ. ඉන්ධනවලින් පෝෂිත රටක් වුව ද, නයිජීරියාව තුළ ඇත්තේ, පිරිපහදු ආයතන ඉතා අඩු සංඛ්‍යාවකි. එහෙයින්, නයිජීරියාවට අවශ්‍ය ඩීසල් වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුව තිබේ.

ඔහුගේ වියදම තුන් ගුණයකින් ඉහළ ගිය ද, ඔනුඕරා පවසන්නේ, ඔහුගේ ආහාරවල මිල ගණන් 10-12% වැනි ප්‍රතිශතයකින් පමණක් ඉහළ දමන බවයි. ඒ ඔහුගේ පාරිභෝගිකයින්ට ඊට වඩා වැඩි මුදලක් වියදම් කළ නොහැකි බැවිනි.

"නයිජීරියානුවෝ ඉතා දුප්පත්. ව්‍යාපාර වැහීගෙන යනවා. පඩි වැඩි වෙන්නේ නැහැ. ඔවුන්ට තවත් බරක් පටවන්න අපට බැහැ," ඔහු පවසයි.

සාමාන්‍යයෙන් නයිජීරියානුවෝ සිය ආදායමෙන් 60%කට ආසන්න ප්‍රතිශතයක් ආහාර වෙනුවෙන් වැය කරති. අමෙරිකාවේ එම අගය 7%කි.

මේ තත්ත්වය දිගටම පැවතියහොත් බේකරිවලට පැවැත්මක් නැති වනු ඇත. "අපි කරගෙන යන්නේ පුණ්‍යායතනයක් නෙවෙයි, අපි කරන්නේ ලාභ ලැබිය යුතු ව්‍යාපාරයක්."

"මොනවා වුණත් අපි මේක කරගෙන යනවා," ඔහු පවසයි, "ඒ නිසා නයිජීරියාවන්ට කුසගින්නේ ඉන්න ඕන නෑ."

පේරු වැසියන් 75 දෙනෙකුට ආහාර දෙන ප්‍රජා ඇතිලිය

මීදුමෙන් වැසුණු ලිමා නගරය දෙස බලාගෙන පටු මාර්ගයක ඉදිරියට ඇදෙන ජස්ටිනා ෆ්ලෝරස් අද දිනයේ කුමක් පිසින්නේ ද? යන්න සිතා ගැනීමේ උත්සහයක නිරතව සිටී.

එය ඇය දිනපතා මුහුණ දෙන විසදුම් නැති ප්‍රශ්නයකි.

වසංගතයේ උච්චතම අවස්ථාව වන විට ඇය තම අසල්වැසියන් 60 දෙනෙකු සමඟ එකතු වී ඔවුන්ට පිස ගැනීමට තිබු ආහාර පිළියෙල කර ගත්තාය. සැන් ජුවාන් මිරාෆ්ලෝරෙස්හි පදිංචිකරුවන්ගෙන් බහුතරය කෝකියන්, ගෘහ සේවිකාවන්, ළමුන් බලා ගන්නන්, සහ උද්‍යාන කම්කරුවන් ආදී ගෘහස්ථ සේවකයින් වුහ. එහෙත්, වසංගත සමයේදී ෆ්ලෝරස් ඇතුලු විශාල පිරිසකට සිය රැකියා අහිමි විය. එම පවුල් කුසගින්නේ පසුවිය.

ඔවුන් සියලු දෙනා ජස්ටිනාගේ නිවසෙන් පිටත දර ලිපක් තනා ඒ මත තැබු ඇතිළියක ඉවුම් පිහුම් කළහ. පසුව ඔවුන් කුඩා පැලක් සකසා ගත් අතර, ප්‍රදේශයේ පුජකවරයෙක් උඳුනක් ලබා දුන්නේය. ඉවත දමන ආහාර තමන්ට ලබා දෙන ලෙස ඇය වෙළෙන්දන්ගෙන් ඉල්ලීමක් කළාය.

වසර දෙකකට පසු මේ වන විට ඔවුහු පුද්ගලයින් 75 දෙනෙකුට වේල් තුනක් සදහා ආහාර සපයති. කොවිඩ් වසංගතයට පෙර මුළුතැන්ගේ සහයිකාවක ලෙස සේවය කළ ෆ්ලෝරෙස් මේ වන විට ඇගේ ප්‍රජාව අතර සැබෑ නායකයෙකු බවට පත්ව සිටී.

  • පේරුහි වාර්ෂික ආහාර උද්ධමනය ජුලි මාසයේදී 11.59%ක් ලෙස වාර්තා විය.
  • පේරු ජනතාව සිය ආදායමෙන් 26.6%ක් ආහාර සදහා වැය කරති.

බත් සමග මස් සහ එළවළු යෙදු ප්‍රණීත ස්ටු පිළියෙල කිරීමට ඇය පුරුදු වී සිටියාය. එහෙත්, පසුගිය මාස කිහිපයේදී ආහාර පරිත්‍යාග කිරීම් අඩු වුණු අතර සෑම ආහාරයක්ම සපයා ගැනීම දැඩි ලෙස දුෂ්කර විය.

"අපි අසරණ වෙලා ඉන්නේ, ආහාර ප්‍රමාණය අඩු කරන්න මට සිද්ධ වුණා," ෆ්ලෝරස් පවසයි. ඇයට බත් වැනි මුලික ආහාර ද්‍රව්‍ය පවා සොයා ගැනීම දුෂ්කර වී ඇත.

ගොවියන්, ප්‍රවාහන සේවකයින් අප්‍රේල් මාසයේදී කළ විරෝධතා සහ වැඩ වර්ජන හේතුවෙන් ආහාර සැපයුමට තවදුරටත් බාධා එල්ල විය.

වියදම් ඉහළ යද්දී, මස් වර්ග ලබා දීම නතර කිරීමට ෆ්ලෝරස්ට සිදුවිය. ඇය අක්මා, ඇටකටු වැලි බොක්ක වැනි දේ ආහාර සදහා ලබා දුන්නේ ඒවායෙහි මිල ගණන් දැරිය හැකි මට්ටමක පැවති හෙයිනි. එහෙත්, ඒවායෙහි මිල ගණන් ද විශාල ලෙස ඉහළ යාම නිසා ඒ වෙනුවට ඇය බිත්තර බැද දුන්නාය. බැදීම සදහා භාවිත කරන තෙල් මිල ඉහළ යාමෙන් පසු ඇය තම තමන්ගේ නිවෙස්වලට ගොස් පිස ගැනීමට බිත්තර ලබා දුන්නාය. මේ වන විට බිත්තරත් නොමැත.

ඇය දැන් ළූණු සහ තවත් පැළෑටිවලින් සකසන ලද සෝස් වර්ගයක් සමඟින් පැස්ටා පිළිගන්වයි.

වැඩ වර්ජනය කිරීම් ගැන හෝ ආහාර හිඟය සම්බන්ධයෙන් ඇය ගොවියන්ට දොස් නොකියයි.

"අපිට පුළුවන් ආහාර පැළෑටි වගා කරන්න. ඒත් රජය අපට උපකාර කරන්නේ නෑ," ඇය පැවසීය.

ජෝර්දානයේ කුකුළු මස් වර්ජනය

#Boycott_Greedy_Chicken_Companies යන හෑෂ් ටැගය හරහා කුකුළු මස් අනුභව කිරීමෙන් වළකින ලෙස නාදුනන ට්විටර් ගිණුමක් මඟින් මැයි 22 වන දා අරාබි බසින් ට්වීට් කර තිබිණි.

ඉන් දින කිහිපයකට පසු එම දැනුවත් කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වී ඇතැයි සලාම් නස්රල්ලා දැනගෙන තිබුණේ, ඇය වෙළෙද සලේ සිට නිවස බලා ගමන් කරමින් සිටියදීය.

"හැම තැනකින් ම ඒක අපට ඇහෙන්න පටන් ගත්තා, අපේ යාළුවෝ සහ පවුල් මේ ගැන කතා කරන්න ගත්තා. ඒ ගැන සමාජ මාධ්‍ය සහ රූපවාහිනියේ පවා විකාශය වුණා," නස්රල්ලා පවසයි.

තමන්ගේ බිල් පත නිරීක්ෂණය කිරීමේදී මිල ඉහළ ගොස් තිබු ආකාරය ඇය දැනගෙන තිබිණි. දරුවන් දෙදෙනෙකුගේ මවක වන ඇය, ඇගේ දෙමාපියන්, සොහොයුරියන්, ලේලියන් සහ බෑණාවරුන් වෙනුවෙන් කුකුළු මස් විශාල ප්‍රමාණයක් මිල දී ගන්නීය.

ඒ අනුව, කුකුළු මස් වර්ජනය කිරීමේ ව්‍යාපෘතියට එක්වීමට ඇයට ද පෙළඹවීමක් ඇති විය.

ඇය දින 10ක කාලයක් කුකුළු මස් කෑම වර්ජනය කළාය. එය ඉතා අසීරු කාර්යයක් විය. වෙනත් මස් වර්ග සහ මාළු මිල අධික වු හෙයින් සලාම් සහ ඇගේ පවුල දිනපතා කුකුළු මස් අනුභව කළ පවුලක් විය.

ඔවුහු මස් වර්ග වෙනුවට වෙනත් ආදේශක ආහාරයට ගත්හ. කුකුළු මස් වර්ජනය ආරම්භ වී දින 12ක් ගත වෙද්දී කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල තුනෙන් එකක් එනම් ඩොලර් එකකින් අඩු විය.

  • ජෝර්දානයේ ජුනි මාසයේ වාර්තා වු පරිදි ආහාර උද්ධමනය 4.1%ක් විය.
  • ජෝර්දාන වැසියෝ සිය ආදායමෙන් 26.9%ක් ආහාර වෙනුවෙන් වැය කරති.

කුකුළු ගොවිපොළ සහ මස් අලෙවි සල් හිමිකරුවෙකු වන රාමි බාර්හවුෂ් කුකුළු මස් වර්ජනයට සහය දැක්වුව ද, එය වැරදි මතයක් බව ඔහු සිතයි.

මේ වසරේ මුල සිට ඉන්ධන සහ කුකුළන්ගේ කෑම මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඔහු දුෂ්කර තත්ත්වයට පත්ව සිටී.

ඉන්ධන සහ ධාන්‍ය වර්ගවල මිල ඉහළ යාමට ගෝලීය කරුණු කිහිපයක් බලපා තිබේ. ඒ අතර, සුකර උණ වසංගතයෙන් පසු චීනය ඌරන්ගහනය වැඩි කිරීමට ක්‍රියා කිරීම, දකුණු අමෙරිකාවට බලපෑ නියඟය සහ යුක්‍රේනයේ යුද්ධය යන කරුණු ප්‍රධාන වේ.

ජෝර්දාන රජය කුකුළු මස් සහ තවත් නිෂ්පාදන කිහිපයක් සදහා මිල සීමා පැනවීමට යෝජනා කර තිබේ.

රාමසාන් අවසන් වන තුරු කුකුළු මස් මිල පාලනය කිරීමට කුකුළු ගොවියන් එකඟ වී තිබිණි. එහෙත්, මැයි මස මුලදී විශාල අගයකින් මිල ඉහළ දැමීමට බල කෙරිණි. පසුව සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධයක් මතු විය.

"සියලු ම භාණ්ඩවල මිල ඉහළ යාමෙන් ඇති වුණු නොසතුට පළ වුණේ කුකුළු මස්වලටයි," ඔහු පවසයි.

විරෝධය හරහා ඇති වු බලපෑම සම්බන්ධයෙන් නස්රල්ලා සතුටු වන නමුත් ඒ හරහා ප්‍රශ්නයට විසදුමක් නොලැබීම ගැන ඇය කනගාටු වන්නීය.

"මේකෙන් පීඩාවට පත් වුණේ කුඩා පරිමාණ කුකුළු ගොවියන් සහ වෙළෙන්දන්. ගොවියන්ට අමුද්‍රව්‍ය විකුණන මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට කිසි ම බලපෑමක් වුණේ නෑ."