ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය ඉවත් කළේ ඇයි? සහල් මිලට මොකද වෙන්නේ?
මෙතෙක් පාලන මිලක් පනවා තිබූ ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම භාණ්ඩවල පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ අනුව සීනි, ලොකු ළූණු, කුකුළු මස්, කට්ට කරවල, සාලයා කරවල, උම්බලකඩ, මුං ඇට, කඩල, සහ බඩ ඉරිඟු සඳහා මෙතෙක් පැවැති පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පියවර ගත්තේ ය. ඒ, පාලන මිල පනවමින් මීට පෙර නිකුත් කරන ලද ගැසට් නිවේදන 7ක් අවලංගු කරමිනි.
- 2021 සැප්තැම්බර් 2 දා සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පැනවූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය
- 2020 මාර්තු 17 දා මසූර් පරිප්පු, බී ළූණු, සහ ටින්මාළු සඳහා පැනවූ උපරිම සිල්ලර මිලට අදාල ගැසට් පත්‍රය
- 2020 මාර්තු 12 දා කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් ද, බඩ ඉරිඟු සඳහා උපරිම සිල්ලර මිලක් ද පනවමින් නිකුත් වූ ගැසට් පත්‍ර
- 2017 ජනවාරි 27 දා වියළි හාල්මැස්සන්, මුං ඇට, සහ ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්වූ ගැසට් පත්‍රය
- 2017 දෙසැම්බර් 06 දා කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කරමින් නිකුත් වූ ගැසට් පත්‍රය
- 2016 ජුලි 14 දා කඩල, තිරිඟු පිටි, සහ ආනයනික කිරිපිටිවලට උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කෙරුණු ගැසට් පත්‍රය
මෙසේ අවලංගුකර තිබේ.
සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් පාලනය කරමින් සැප්තැම්බර් 2 දා පැනවුණු ගැසට් පත්‍රය ද සැප්තැම්බර් 29 දා අවලංගු කෙරිණි.
පාලන මිල ඉවත් කළේ ඇයි?
හදිසියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක පාලන මිල ඉවත් කිරීමට හේතු වශයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇතිවීම වැලැක්වීම උදෙසා එම පියවර ගත්බව යි.
සීනි සහ බඩ ඉරිඟු සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදන හැර සෙසු පැරණි ගැසට් නිවේදන ප්‍රායෝගික නොවන බැවින් ඒවා ඉවත් කිරීමට පියවර ගත්බව එම අධිකාරිය පැවසීය.
ඒ අනුව විවෘත වෙළෙඳපොළේ ඉල්ලුම සහ සැපයුම අනුව තරගකාරී ලෙස මිල නියම වනු ඇති බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල පැවසීය.
ඔහු තවදුරත් සඳහන් කළේ, "අසාමාන්‍ය ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩල මිල ගණන් ඉහළ දැමීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට අවස්ථාවක් නොමැති බවත් එවැනි තත්ත්වයන් පිළිබඳ අඛණ්ඩව විමර්ශනය කිරීම, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුවන" බවයි.
මින් පෙර, පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ට පනවන දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළ නැංවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේ ය. එහෙත් මේ වන විට භාණ්ඩ සඳහා නියමවූ ඇති පාලන මිල ඉවත් කෙරුණු නිසා අදාල දඩය පැනවීමට නොහැකි බවට නීතිඥයින් පවසයි.
මේ වන විට වෙළෙඳපෙළේ ගෑස් සහ සිමෙන්ති හිඟයක් ද නිර්මාණය වී ඇති බවට මාධ්‍ය වාර්තා දැකගත හැකිය.
නමුත්, ලිට්‍රෝ සමාගම පවසන්නේ මේ වන විට ගෑස් තොග රැගත් නෞකා කොළඹ වරායට ළඟා වී ඇතිබව යි. ඒ අනුව ඉදිරියේ දී ගෑස් බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුවනු ඇතැ යි එම සමාගම සඳහන් කළේ ය.
සිමෙන්ති සමාගම් ද පසුගිය දා මුදල් අමාත්‍යංශය සමග පැවැති සාකච්ඡාවකින් පසු සඳහන්කර සිටියේ, දැනට වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය මසකින් පමණ සමනය වනු ඇතිබව යි.
වෙළෙඳපොලේ මේ වන විට සීනි හිඟයක් ද පවතිනා අතර සීනි හිඟය උග්‍රවීම වැලැක්වීම සඳහා, පසුගිය සැප්තැම්බර් 2 දා සීනිවලට පැනවූ පාලන මිල ඉවත්කර තිබේ.
උපරිම මිල ක්‍රියාත්මක වූ නිසා ආනයනකරුවන් සීනි ආනයනය සීමාකර තිබුණි.
මේ අතරේ, ආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01කට පනවා තිබූ රුපියල් 65ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ද ඉදිරි මාස 6 සඳහා ශත 25 දක්වා අඩුකර ඇත.
විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙලෙස බදු අඩු කර ඇති අතර, බදු අඩු කිරීමේ මාස 6ක කාලය බලපැවැත්වෙන්නේ නොවැම්බර් 02 වැනිදා සිට බවට එම නිවේදනයේ සඳහන් වේ.
මෙම බදු සහනය යටතේ, සහල් ආනයනය සඳහා රාජ්‍ය ආයතනවලට අමතරව පෞද්ගලික ආනයනකරුවන්ට ද හැකියාව ලැබේ.
සහල් මෙට්ට්‍රික් ටොන් 15,000 ක් ගෙන්වීමට ඇනවුම්
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන් මෙම තීරණය ගෙන ඇත්තේ රජය පසුගිය 02 වැනිදා සිට සහල් ආනයන බද්ද අඩු කිරීමට සමගාමීව සහල් මෙට්ට්‍රික් ටොන් 15,000 ක් කඩිනමින් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන් පියවර ගෙන ඇත. රජය ලබා දී ඇති අවසරයට අනුව සම්බා, නාඩු සහ කැකුළු ආනයනය කිරීමට නියමිත බව ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසීය.
ඒ අනුව සහල් තොග කඩිනමින් ආනයනය සදහා දැනටමත් ඇණවුම් කර ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළාය.
ආනයන කළ සහල් තොග ලබන සතිය වනවිට මෙරටට ලැබෙනු ඇති බවට ඔවුන් පවසන අතර ආනයනික සහල් අළෙවි කරන මිල සම්බන්ධයෙන් තීරණය කරන්නේ එම සහල් තොග මෙරටට පැමිණීමෙන් පසුව බවද නිහාල් සෙනෙවිරත්න පැවසීය.
ඩොලර් ප්‍රශ්නය
ඩොලර් වෙළඳපොලේ නොමැති ගැටළුව සහල් ආනයනයට බාධාවක් වී ඇති බවද අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමය කියා සිටින්නේ, එය විසඳා දීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවයි. "ප්‍රශ්නය තියෙනවා. අපි හිතනවා ඉදිරියේදි තත්ත්වය හොඳවෙයි කියලා. ඩොලර් ප්‍රශ්නය නැතිනම් හොඳම වර්ගයෙන් සහල් ගෙන්වීමට ඕනෑම අයෙකුට හැකියාව තියෙනවා දැන්." නිහාල් සෙනෙවිරත්න පැවසීය.
ඔහු පවසන්නේ ආනයනික සහල් තොග ලැබීමත් සමග සාධාරණ මිලකට සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනු ඇති බවයි. සහල් තොග පිටරටින් ඇනවුම් කිරීමත් සමග මේවන විටත්, දේශීය වෙළෙඳපොළේ සහල් මිල අඩුවීමක් සිදුව ඇති බව ඔහු කියා සිටියේය.
සතොසෙන් සහල් හෝ සීනි පමණක් ගන්න බැහැ!
ඊයේ පැවැති මාධ්‍ය හමුවක දී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, සතොසෙන් සහල් හෝ සීනි පමණක් මිලට ගැනීමට අද සිට අවස්ථාව ලබා නොදෙනබව යි.
"සහල් හෝ සීනිවලට අමතරව, අඩුම වශයෙන් තවත් භාණ්ඩ පහක්වත්" මිලට ගත යුතුයැ යි අමාත්‍යවරයා පැවසීය.