ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ් සහ දේශපාලන අස්ථාවරත්වයෙන් ඇතිවූ සාගතයෙන් පීඩා විඳින මිනිසුන්
දේශපාලනික අස්ථාවරභාවයත්, කොවිඩ් සීමාකිරීම් නිසාත් වේගයෙන් පිරිහෙමින් පවතින මියන්මාරයේ ආර්ථිකය මැද එරට දුප්පත්තු මේ දිනවල සාගින්නෙන් පෙළෙති. එරට බැංකු පද්ධතිය ද පවතින්නේ බිඳවැටීමට ආසන්නයේ ය.
"ආධාර කණ්ඩායමකින් බෙදන කැඳ ටිකක් ඉල්ලගන්න මං පෝලිමේ හිටියා. මං පැය බාගෙකටත් වඩා පෝලිමේ හිටියට මගේ වාරෙ එන්නත් ඉස්සරවෙලා කැඳ ඉවරවුණා," මා වායි පැවසූයේ කඳුළු අතරිනි.
"මං ගෙදර ගියේ හිස් අතින්. මට මගේ අවුරුදු හතරක දරුවා ගැන මහා දුකක් දැනුනා."
මධ්‍යම මියන්මාරයේ මොයෙවා ප්‍රදේශයෙන් පැමිණි හතළිස් දෙහැවිරිදි මා වායි, ධනවත් පවුල් සඳහා පිරිසිදුකරන්නියක සහ ගෘහ පාලිකාවක වශයෙන් සේවය කළා ය. නමුත් ජුලි මාසයේ දී කොවිඩ් තත්ත්වය දරුණු අතට හැරුණු විට, නිවෙස් හිමිකරු ඇයට පැවසුවේ සියලුදෙනා නිවස්වල රැඳී සිටිය යුතුයැ යි රජය නියෝගකර ඇති බැවින් රැකියාවට නොපැමිණෙන ලෙස යි.
පින්තාරුකරුවෙකු වන ඇගේ සැමියා ද කොවිඩ් සීමාකිරීම් නිසා රැකියාවක් අහිමිව සිටියි.
"ළඟ දී, මගේ මහත්තයා වැඩට යන්න හැදුවා. මම එයාට ගෙනියන්න කෑමත් හැදුවා, අමාරු කාලෙකට ගන්න අපි ඉතිරිකර ගත්තු හාල්වලින්," ඇය පවසයි.
"ඒ වුණාට මඟ දි හමුදාවෙන් එයාව නවත්තලා, ආපහු ගෙදර යන්න කියලා තිබ්බා. එයාට මොකවත් වැඩක් කරන්න හම්බවුණේවත් නෑ."
දවසට කන්නේ එක වේලයි
මා වායි සහ ඇගේ සැමියා දැනට මාස හතක් තිස්සේ රැකියා විරහිතව සිටින අතර, සිය දරුවන් සිව්දෙනාත්, ඔවුන් සමග වෙසෙන ඇගේ මවත් පෝෂණය කරන්නේ ලැබෙන ආහාර ආධාර මත යැපෙමිනි.
"සමහර වෙලාවට අපි දවසට එක වේලයි කන්නේ," ඇය පැවසීය. "අපි කවදාවත් මෙච්චර අමාරු අඩියකට වැටිලා නෑ."
ලෝක බැංකුවේ ඇස්තමේන්තුවලට අනුව මෙම මූල්‍ය වර්ෂය අවසන් වන විට මියන්මාරයේ ආර්ථිකය 18%ක ප්‍රතිශතයකින් සංකෝචනය වනු ඇති අතර, 2022 වන විට දරිද්‍රතා අගය දෙගුණ වනු ඇත.
ලෝක ආහාර වැඩසටහනට අනුව එරට සහල් මිල 18%කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර, පිසීමට ගන්නා තෙල්වල මිළ පසුගිය මාස 12 තුළ දී දෙගුණ වී තිබේ.
හමුදා රජයට විරුද්ධව උද්ඝෝෂණ සහ වැඩවර්ජන
මා වායි වෙසෙන මොයෙවා නගරය මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි කැරැල්ලේ මූලස්ථානයකි. පෙබරවාරි 1 දා සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව රටවැසියන් පැවැත්වූ පෙළපාලිවලට ඇගේ අසල්වාසී බොහෝදෙනා එක්වූහ.
"ඒ අතරේ හමුදාවෙන් අපේ ගෙවල් පැත්තට වෙඩි තිබ්බා. මගේ අහල පහළ අය කීපදෙනෙක් මැරුණා. සමහරුන්ට වෙඩි වැදිලා තුවාල වුණා," ඇය සිහිපත් කරයි.
හමුදා කුමන්ත්‍රණය සිදුවූ දා පටන්, ගුරුවරුන් සහ දුම්රිය සේවකයින්ගේ සිට වෛද්‍යවරුන් සහ හෙදියන් දක්වා දස දහස් ගණනින් සිවිල් සේවකයින් හමුදා රෙජීමයට සේවය කිරීම ප්‍රතික්ෂේපකර ඇත.
බලයෙන් පහ කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පිහිටුවන ලද ජාතික සමගි ආණ්ඩුවට අනුව, රජයේ සේවකයින් 410 000කට වැඩි පිරිසක් තවමත් වැඩවර්ජනයේ නිරතව සිටියි.
බැංකු සේවාවන්ගේ සිට රාජ්‍ය ලොතරැයිය දක්වාත්, බියර් සහ සිගරට්වල සිට දරකථන සන්නිවේදන සේවා දක්වාත් හමුදා රජය සතු සේවා වර්ජනය කරන්නැ යි ද මෙම ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඔවුන්ගේ අරමුණ වන්නේ හමුදාවට ඔවුන් සතු ප්‍රධාන ආදායම් මාර්ගයන් අහිමි කිරීම ය.
ජනතාව විදුලි බිල්පත් ගෙවීම ද ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ, එම මුදල් හමුදාවේ භාණ්ඩාගාරයට යන බැව් කියමිනි. හමුදාව විසින් මෙහෙයවෙන ව්‍යාපාරවලට එරෙහිව ක්‍රියාත්මක වන මෙවැනි ජනතා සම්බාධක සැලකිය යුතු තරමේ බලපෑමක් ඇතිකර තිබේ.
එරට හමුදාවේ නියෝජ්‍ය හමුදාපති වන ජෙනරාල් සෝ වින්, හමුදා රජයට ලැබෙන්නේ අඩු ආදායමක් බව අගෝස්තු මාසයේ දී පැවති අය වැය රැස්වීමේ දී පිළිගත්තේ ය.
දුෂ්කරතා මධ්‍යයේ ප්‍රතිරෝධයේ නියැලෙන රජයේ සේවකයෝ
යැංගොං නුවරට කි. මී. 60ක් නැගෙනහිර දෙසින් පිහිටි කායාන් නගරයේ රජයේ විදුලිබල මණ්ඩල කාර්යයාලයේ 43ක් වූ කාර්යමණ්ඩලයෙන් අඛණ්ඩව සේවයට පැමිණි එකම සේවකයා වූයේ හිටපු හමුදා කපිතාන්වරයෙකි.
අනිත් සේවකයින් සියල්ලෝම වැඩවර්ජනයට එක්වූහ. ඉන් පහළොස් දෙනෙකු තවමත් වැඩවර්ජනයේ නියැලෙයි. ඔවුන්ගේ මේ සාමූහික ක්‍රියාව රට හමුදාව බාරයට ගැනීමේ ක්‍රියාවලියට බාධා කළ නමුත්, ඒ සඳහා පුද්ගලිකව වන්දි ගෙවීමට ඔවුනට සිදුවිය.
"මට දැන් කිසිම ආදායමක් නෑ. ඒ වුණාට මාත්, මගේ සහෝදර සේවකයොත් ආපහු හමුදා ආණ්ඩුවේ සේවයට නොයනවා කියන දැඩි අධිෂ්ඨානෙන් ඉන්නේ," කින් ක්යී තාර් පැවසුවා ය.
"මගේ පඩිය වුණේ කියාට් 150 000ක් (රු. 15 600ක් පමණ). පහුගිය අප්‍රේල් ඉඳලා ඒකත් මට නෑ. අපේ ටවුමේ තිබ්බ ආධාර කණ්ඩායමක් මට පොඩි මුදලකින් උපකාර කළා. නමුත් පස්සේ ඒකෙ නායකයට පණ බේරගන්න පැනලා යන්න වුණා," ඇය පැවසීය.
රාජ්‍ය සේවක සහායට ලොතරැයියක්
ජනතාවගේ දුක්බර සැහැල්ලු කිරීමේ ප්‍රයත්නයක් වශයෙන්, වර්ජනයේ යෙදී සිටින සිවිල් සේවකයින් සඳහා මුදල් රැස් කිරීමට ජාතික සමගි රජය අගෝස්තු මාසයේ දී මාර්ගගත ලොතරැයියක් දියත් කළේ ය.
ඉන් එකතුවන මුදලින් 70%ක් වර්ජනයේ යෙදී සිටින ජනයා වෙත සෘජුව ප්‍රදානය කෙරෙන බවත්, 30%ක මුදලක් ලොතරැයි ජයග්‍රාහකයින් සඳහා පිරිනැමෙන බවත් එම කණ්ඩායම පවසයි.
එරට ජනයා රජයට අයත් ලොතරැයි ටිකට්පත් මිල දී ගැනීම නැවැත්වූ අතර, නව ලොතරැයිය දියත්කර ඉකුත්වූ පළමු පැය තුළ දී එකක් ක්යාට් 2000ක වටිනාකමින් (රු. 208ක් පමණ) යුතු වූ ටිකට්පත් 250,000ක් විකිණී ගියේ ය.
එයට ප්‍රතිචාර වශයෙන් සමගි රජයේ ලොතරැයිය තහනම් කළ හමුදා රජය, බැංකු ගිණුම් ගණනාවක් අවුරා දැමුවේ ඒවායේ හිමිකරුවන් ටිකට්පත් මිළට ගනිමින් සිටින්නේ ය යන සැකය හේතුවෙනි.
බැංකු පද්ධතිය කඩා වැටීමට ඔන්න මෙන්න
මේ වන විට මියන්මාරයේ බැංකු පද්ධතිය කඩා වැටීමේ අද්දර පවතියි. එරට වැසියෝ හමුදා කුමන්ත්‍රණය සිදුවූ ආසන්නයේ දීම බැංකුවලින් සිය ඉතුරුම් ඉවත්කර ගැනීමට උත්සුක වූහ. බැංකුවලින් ඊට දැක්වූ ප්‍රතිචාරය වූයේ මිනිසුන්ට ලබාගත හැකි මුදල සීමා කිරීම යි.
මියන්මාරයේ මහබැංකුව මාර්තු මාසයේ සිට එක් පුද්ගලයෙකුට සතියකට ලබාගත හැකි මුදල ක්යාට් මිලියන දෙකක් ද (රු. 207 800ක් පමණ), බොහෝ සමාගම් සඳහා ක්යාට් මිලියන 20ක් ද (රු. 2 078 000) වශයෙන් මුදල් ලබාගැනීම සීමාකර ඇත.
යැංගොං නුවර බොහෝදෙනා මෙන්ම මා කයින් ද අලුයමින් අවදි වී ATM යන්ත්‍ර අසල දිගු පෝලිම්වල රැඳී සිටින්නේ යම් මුදලක් ආපසු ලබාගත හැකිය යන බලාපොරොත්තුවෙනි.
ඇය යන මියන්මාරයේ KBZ බැංකුව පෙ.ව. 6ට විවෘත කෙරෙන අතර, සීමිත පාරිභෝගිකයින් සංඛ්‍යාවක් සඳහා පමණක් ටෝකන්පත් නිකුත් කරයි. ඔබ ටෝකනයක් ලැබූ වාසනාවන්තයින්ගෙන් අයෙකු වුව ද ඔබේ වාරය පැමිණෙන විට ATM යන්ත්‍රයේ මුදල් ඉතිරිව තිබේයැ යි සහතික වීමක් නොමැත.
"මැෂින් දහයෙන් තුනයි එක සැරේකට වැඩ කරන්නේ. බැංකුවෙන් ඒවට ආයේ සල්ලි දාන්නෙත් නෑ," මා කයින් පැහැදිලි කළා ය.
"ඔබට පෝලිමේ ඉන්න බැරි නම් කළු කඩේට ගිහින් කොමිස් එකක් ගෙවන්න වෙනවා," ඇය වැඩි දුරටත් පවසා සිටියි.
පසුගිය මාසයේ දී එසේ සිදුකළ මා කයින්ට තමාගේම මුදල් ආපසු ලබාගැනීම සඳහා 12%ක කොමිස් මුදලක් ගෙවීමට සිදුවිය.
අනීතිය රජයයි
ජනතාවට ලබාගත හැකි මුදල පුද්ගලික බැංකු විසින් තව දුරටත් සීමාකර ඇත.
උදාහරණයක් ලෙස, ඉරවාඩි ඩෙල්ටා ප්‍රදේශයේ පිහිටි CB බැංකුව පුද්ගලික ගනුදෙනුකරුවන්ට සති දෙකක කාලයක් තුළ දී ලබාගැනීමට ඉඩකඩ සලසා ඇත්තේ ක්යාට් මිලියන බාගයක් (රු. 60 000ක් පමණ) පමණි.
"මේ සීමා නිසා පොඩි පොඩි ව්‍යාපාරවලට සෑහෙන පහරක් වැදෙනවා," පුද්ගලික බැංකුවක තම සැබෑ නම හෙළි කිරීමට අකමැති වූ ශාඛා කළමනාකරුවෙකු වන ටුන් ටුන් පැහැදිලි කළේ ය.
"ඒවා සමාගම් විදියට ලියාපදිංචි වෙලා නැති නිසා, සමාගම්වලට දෙන මුදල් ප්‍රමාණය ගන්න ඒ අයට අවසරයක් නැහැ. ඒ මුදල තනි පුද්ගලයින්ට දෙනවාට වඩා දස ගුණයකින් විතර වැඩියි," ඔහු BBC හා සඳහන් කළේ ය.
"දැන් ඉතිරි කරන්නේ බොහොම සුළු පිරිසයි. සතියක දී සල්ලි ඉතිරි කරන්න එන පිරිස එක් අතක ඇඟිලිවලින් ගණන් කරන්න පුළුවන්. අනික් අතට, දාස් ගාණක් ගිණුම් හිමිකරුවෝ දවස ගාණේ තමන්ගේ සල්ලි ආපහු ගන්නවා."
බැංකුවෙන් බැංකුවකට මුදල් හුවමාරු කිරීම ද තීරණය වන්නේ, මුදල් ලබන බැංකුව සතු මුදල් ප්‍රමාණය මත ය.
"සල්ලි ට්‍රාන්සර් කරද්දී අපට සිද්ධවෙලා තියෙනවා අනිත් ශාකාවට කතා කරලා, ඒ මුදල ගෙවන්න තරම් වූ සල්ලි එයාලා ළඟ තියෙනවා ද කියලා අහන්න," ටුන් ටුන් පැවසුවේ ය.
නොනවත්වාම කඩා වැටෙන ආර්ථිකය
පෙබරවාරියේ දී සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාර ක්යාට්හි අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 20%කටත් වඩා වැඩි ප්‍රතිශතයකින් අවප්‍රමාණයට ලක්විය. යැංගොංහි ජනයා පවසන්නේ විදේශ මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයන්හි දී මෙම අගය 40%කටත් වඩා ඉහළ බව යි.
දැන් දැන් ජනයා සිය වත්කම් ඇමරිකානු ඩොලර්වලින් තබාගැනීමට හෝ රන් මිලට ගැනීමට වැය කිරීමට තෝරාගන්නා බව පෙනේ. පෙබරවාරියේ සිට ගෙවුණු සෑම මසක දීම රන් මිල වාර්තාගත අයුරින් ඉහළගොස් ඇත.
"කෙසෙල් සඳහා ආයෝජනය කරන්න"
ජෙනරාල් මින් අවුං හ්ලේන් ආර්ථිකය දියුණු කිරීම සඳහා තමාගේ වන බලාපොරොත්තුව පිළිබඳව දිගින් දිගටම කතාබහකර තිබෙන්නේ ය.
ඔහුගේ අති විශිෂ්ට අදහස්වලින් එකක් වන්නේ කෙසෙල් වගාව සඳහා ජනතාව උනන්දු කරවීම යි. ජුනි මාසයේ දී පැවති හමුදා කවුන්සිල පරිපාලන රැස්වීමක දී, අපනයන කිරීමේ අරමුණින් රිදී බ්ලගූ කෙසෙල් වගා කරන මෙන් ජෙනරාල්වරයා ජනතාව දිරිමත් කළේ ය.
හිටපු හමුදා නායක ජෙනරාල් තැන් ශ්වේ ද ඊට සමාන ව්‍යාපෘතියක් හරහා එඬරුතෙල් නිපදවීමේ සැලසුමෙන් එඬරු වැවීමට උත්සාහ දැරූ නමුත්, එම සැලැස්ම අසාර්ථකත්වයෙන් අවසන් විය.
ඒ හා සසඳා බැලූකල කෙසෙල් වගාව වඩාත් යථාර්ථවාදී බව හැඟෙයි. චීන ආයෝජකයෝ කචින් ප්‍රාන්තයේ කෙසෙල් වගාවන් සඳහා ආයෝජනය කරන්නේ වසර ගණනාවක සිටය.
කෙසේ වෙතත්, දැනටමත් තම ඊළඟ ආහාර වේල සපයාගැනීමේ අසීරුවෙන් පසුවන මිලියන ගණනක් දෙනා පෝෂණය කිරීමට එයට හැකිවෙතැ යි කීම අසීරු ය.
මැයි මාසයේ සිට, ලෝක ආහාර වැඩසටහන විසින් යැංගොං නුවර තදාසන්නයේ වෙසෙන 800 000ක් අසරණ පුද්ගලයින් හට ආහාර සැපයෙයි. නමුත් ඒජන්සිය පවසන්නේ මේ වන විට උපකාර අවශ්‍යව සිටින මිලියන 3.3ක ජනතාවට මාස 6ක් සඳහා ආහාර ලබාදීමට තම ආයතනයට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 86ක් වත් අවශ්‍ය බව යි.