ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාරිභෝගික භාණ්ඩ මිල 'සීඝ්‍රයෙන් ඉහළ යාම' ගැන ජනතාවගෙන් මැසිවිලි
- Author, රංග සිරිලාල්
- Role, බීබීසී සිංහල
විවිධ ආහාර නිෂ්පාදනවල මිල ගණන් ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලගණන් සියයට දහයත් හැටත් අතර ප්‍රතිශතවලින් වැඩි වී ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. ඒ අනුව සහල්, තිරිඟුපිටි, සීනි, කිරි, කෝපි, සෝයා බෝංචි හා මස් වර්ගවල මිල සියයට දහසයක සිට තිස් දෙක දක්වා ප්‍රමාණයකින් තොග මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ධාන්‍ය හා පලතුරු ඇසුරෙන් නිපදවන අතුරු නිෂ්පාදනවල මිල එයටත් වඩා ඉහළ ගොස් ඇත. කිරිපිටි, බටර්, සෝයා තෙල් සහ විවිධ ආහාර ද්‍රව්‍ය එවැනි නිෂ්පාදන අතර වෙයි.
''එළවළු ගණන් ගිහින්. දවස් දෙකකට කලින් තිබුණු තොග මිළ නෙමෙයි දැන්. රුපියල් 80ට 100ට තිබුණු තක්කාලි දැන් 150-200 වෙලා. 80ට 100ට තිබුණු ගෝවා 150යි. රුපියල් 100-120 තිබුණු අමු මිරිස් දැන් 200-250 වගේ ගණන් ගිහින්. නොහිතපු විදියට බඩු මිළ වැඩි වෙලා තියෙන්නේ. බෝංචි 30 වෙනිදා 100-120ට වගේ තිබුණේ. අද වෙනකොට බෝංචි 200-220ට ගිහිල්ලා. නිසි කළමනාකරණයක් නෑ. පැහැදිලි වැඩපිළිවලක් නෑ. ඒකයි හේතුව. ගොවියොත් මේ වෙලාවේ උපරිම ගාණට දෙන්නයි බලන්නේ. '' කළුතර එළවළු වෙළෙඳසලක හිමිකරුවෙකු වන නුවන් තරංග බීබීසී සිංහල සේවය සමග පැවසීය.
කොරෝනා වසංගතය හමුවේ රටම සංචරණ සීමා යොදා අගුලු දමා ඇති මේ මොහොතේ ඇතැම් ගොවින් තම අස්වැන්න විකුණාගත නොහැකිව ඒවා හේන්වලම විනාශ වී යාමට ඉඩ දී සිටී. ආර්ථික මධ්‍යස්ථානවල අලෙවිකරගත නොහැකිවූ එළවලු විසිකර දමද්දී එම එළවලුවලටම විශාල මුදලක් ගෙවීමට මහජනතාවට සිදු වී තිබේ.
මේ අතර රජය විසින් රසායනික පොහොර තහනම් කරනු ලැබීමත් සමගම ගොවීන් පවසන්නේ අවශ්‍ය පොහොර නොමැති නිසා වගාවන් නිසියාකාරව කරගත නොහැකි බවය. තම අස්වනුවලින් නිසි ආදායමක් ලැබිය නොහැකි බැවින් වගාවෙන් ඉවත්වීමට සිදුවී ඇති බව ඇතැම් ගොවීහු පවසති. එසේ වුවහොත් නැවතත් මහජනතාවට තම ආහාර ද්‍රව්‍ය සඳහා විශාල මිලක් ගෙවීමට සිදුවීම වැළැක්විය නොහැක.
''හාල් මිල වැඩිවෙලා. කොරෝනාවලට කලින් රුපියල් 98ට තිබුණු සුදු හාල්වල තොග මිල දැන් 110ක් වෙලා. කැකුළු හාල් 90ට තිබුණු එක රුපියල් 100 වෙලා. සීනි තොග මිල තිබුණේ 110යි. ඒක 117 වෙලා. 190ට තිබුණු පරිප්පු තොග මිල 200 වෙලා. පාන්පිටි තිබුණේ 80යි. ඒක 87 වෙලා. දැන් ඉස්සර වගේ කඩේට මිනිස්සු එන්නේ නෑ. සුළු ප්‍රමාණවලින් හාල්, තුනපහ ගන්න අය තමයි එන්නේ. නැව් වලින් එන්න පරක්කු වෙනවා කියලා හිතලා තොග මිල වැඩි කරලද? එහෙමත් නැතිනම් දැන් පුද්ගලිකව ගිහින් බඩු ගේන නිසා මිල වැඩි වෙලාද කියන්න මම දන්නේ නෑ. ගනං වුණාට බඩු තියෙනවා.'' යනුවෙන් සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යන කේ. ප්‍රියංගනී බීබීසී සිංහල සේවය සමග පැවසීය.
පසුගිය දා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් ධීවරයන් මුහුදු යෑම නවතා දැමීම නිසා මත්ස්‍ය මිල ගණන් ද ඉතා ඉහළ ගොස් තිබේ. හලාවත හා වයඹ වෙරළ තීරයේ ගම්මානවල රුපියල් දෙසියයට පැවති හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් හාරසියය දක්වාත්, රුපියල් පන්සියයක්ව පැවති පරවා කිලෝවක මිල රුපියල් අටසියය දක්වාත්, රුපියල් තුන්සියයකට පමණ පැවති හුරුල්ලා කිලෝවක මිල රුපියල් පන්සියය දක්වාත් ඉහළ ගොස් තිබේ.
මැයි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය මාස 13 කින් වාර්තා වූ ඉහළම අගය වන 4.5% දක්වා ඉහළ ගිය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කරයි, මෙයට මුලික වශයෙන් හේතුවී ඇත්තේ මුහුදු ආහාර, සහල් සහ පොල්තෙල්වල පිරිවැය ඉහළ යෑමයි. නඩත්තු කිරීම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා ගෑස් වල පිරිවැය ද ඉහළ ගොස් තිබේ. මේ අතර, අපේ‍්‍රල් මාසය ට වඩා මැයි මාසයේ පලතුරු හා එළවළු මිල පහත වැටී තිබේ.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 3.9හි සිට 2021 මැයි මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ ගිය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 9.0හි සිට 2021 මැයි මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.8හි සිට 2021 මැයි මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගොස් ඇති බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කරයි.
එම දත්ත තවදුරත් පෙන්නුම් කරන ආකාරයට වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 මැයි මාසයේ දී සියයට 3.9හි නොවෙනස්ව පැවතුණි.
පෙර මාසය සමග සැසඳීමේදී 2021 මැයි මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 1.05ක් ලෙස වාර්තා විය. තවද, ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.69ක් සහ සියයට 0.36ක් ලෙස වාර්තා විය.
ඒ අනුව, ආහාර කාණ්ඩයේ නැවුම් මත්ස්‍ය, පොල්තෙල් සහ සහල් මිල ගණන් ඉහළ ගිය අතර, පලතුරු සහ එළවළු මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය. මේ අතර, සෞඛ්‍ය (වෛද්‍ය රසායනාගාර ගාස්තු, පෞද්ගලික රෝහල්/ සාත්තු නිවාස ගාස්තු) සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන ( නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, එල්.පී.ගෑස්) යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් වාර්තා වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්නුම් කරයි.
ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2021 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 3.0හි සිට 2021 මැයි මාසයේ දී සියයට 3.2ක් දක්වා ඉහළ ගියේය. මීට අමතරව, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 මැයි මාසයේ දී අඛණ්ඩව සිව්වන මාසයටත් සියයට 3.0හි නොවෙනස්ව පැවතුණි.
මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 මාර්තු මාසයේ පැවති සියයට 5.1හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 5.5 දක්වා ඉහළ ගියේය. 2020 අප්‍රේල් මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව මහා බැංකුව පවසයි.
ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ දී පැවති සියයට 8.8හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 9.7 දක්වා ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 2.0හි සිට 2021 අප්‍රේල් මාසයේ දී සියයට 2.2 දක්වා ඉහළ ගියේය.
ශ්‍රී ලංකා මහා බැංකුව පවසන්නේ 2021 අප්‍රේල් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සුළු වශයෙන් ඉහළ යෑමක් වාර්තා කිරීම සඳහා, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් හේතු වූ බවයි.
"ඒ අනුව, 2021 අප්‍රේල් මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්, පොල්තෙල්, නැවුම් මත්ස්‍ය, සහ පලතුරු මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණි. එසේ වුවද, මාසය තුළ දී පොල් සහ එළවළු මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය. තවද, රෙදිපිළි සහ පාවහන් (රෙදිපිළි), ප්‍රවාහන (ලිහිසි තෙල්) සහ විවිධ භාණ්ඩ සහ සේවා (කොණ්ඩය සහ රැවුල කැපීමේ ගාස්තු) උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 අප්‍රේල් මාසයේ දී වාර්තා විය," යනුවෙන් මහා බැංකුව පැවසීය.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර :