කොවිඩ්: කොරෝනා නිසා රට පුරා අසරණ වුණු ජනතාව

කොරෝනා වෛරසය තුන්වන රැල්ල ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමත් සමග තමන් විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටින්නේ මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට බලධාරීන්ට නොහැකි වීම හේතුවෙන් බවට ජනතාව චෝදනා නගති.

රජය පවසන්නේ හොද මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබූ නමුත් මේ වතාවේදී ජංගම වෙළෙඳසල් හිමියන්ගේ ගේ උනන්දුව අඩු බවය.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමට ආරම්හ වූ 2020 මුලභාගයේ ඇති කළ නිරෝධායන ඇදිරිනීතිය සමයේ සමාජයේ ඇති වූ කතා බහනම් පාසල් සිසුනට නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට නිසි ක්‍රම වේදයක් නොමැති කම හා ජාලගත අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීමය.

වසරකට වැඩි කාලයක් ගතවී 2021 වසරේ මැයි මස වන විටත් මෙම ගැටලුවට නිසි විසඳුමක් තවමත් ලැබී නොමැත. ඊට මෑත උදාහරණයක් වූයේ මාතලේ ලග්ගල නාවුල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අක්කරහාඩුව ග්‍රාමයේ හිමි නමක් විහාරස්ථානයේ වැසිකිලියේ වහල මත නැඟ සූම් තාක්ෂණය ඔස්සේ දරුවන්ට ඉගැන්වීමේ කටයුතු වල නියැලෙන බවට පළවූ මාධ්‍ය වාර්තාය. අනතුරුව එක්තරා පෞද්ගලික ජංගම දුරකථන ආයතනයක් විසින් එම ප්‍රදේශයේ ජනතාවට රුපියල් තුන්දහසක මුදලකට ඇන්ටනා විකිණීම පිළිබඳ සිද්ධියක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයකින් හෙළි කළේය.

එහෙත් එම පෞද්ගලික ජංගම දුරකථන සේවා සමාගම බීබීසී සිංහල සේවය සමග පැවසුවේ සිය සමාගමේ නියෝජිතයන් එවැනි ඇන්ටනා අලෙවියක නොයෙදුණු බවය. එම ප්‍රදේශයේ දුරකථන සංඥා තීව්‍ර කර එම හිමි නමට තම සමාගමේ රවුටර හයක් නොමිලේ ලබාදී ප්‍රදේශයේ අනෙකුත් පුද්ගලයින්ට රුපියල් 3999ක් වන රවුටරය රුපියල් 3000ක මුදලකට අලෙවි කර ඇති බව ද සමාගම සඳහන් කළේය.

මෙයින් පැහැදිලි වන්නේ වසංගතය රට තුළ ව්‍යාප්ත වී වසරක් ගතවී ඇතත් තවමත් අවශ්‍ය මූලික පහසුකම් පවා සැපිරී නැති බවය.

මේ අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ මේ දිනවල අන්තර්ජාල සේවාවන්හි වේගය මන්දගාමී වීමක් නිරීක්ෂණය කිරීමට හැකිවී ඇති බවකි. ඒ හේතුවෙන් මාර්ගගත ක්‍රමයට එනම් අන්තර්ජාලය හරහා ඉගැන්වීම් ක්‍රියාවලීන් සඳහා සහභාගී වන පිරිස් මෙන්ම නිවසේ සිට අන්තර්ජාලය හරහා රැකියාවේ නිරතව සිටින (work from home) පුද්ගලයින් මහත් අපහසුතාවට පත්ව ඇති බවට තමන්ට පැමිණිලි ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කළේය.

"ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන් සියල්ල සඳහා සේවා සැපයීමට ශ්‍රී ලංකාවේ දැනට පවතින ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මින් පෙර අවස්ථා කිහිපයකදී පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා සපයන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමු නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කණගාටුවට පත්වනවා," යැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් පැවසීය.

ආර්ථිකය නගාසිටුවීමට ඩිජිටල් තාක්ෂණය වඩා ඵලදායි ලෙස යොදා ගැනීම රජයේ වගකීමක් වන අතර ඒ සදහා අත්‍යවශ්‍ය වන වේගවත් අන්තර්ජාල පහසුකම් ජනතාව වෙත ලබාදීමට කටයුතු කිරීම, අන්තර්ජාල සේවා සපයන සමාගම් නියාමනය කරන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වගකීමක් බවත් ඔහු පැවසීය.

පෞද්ගලික ජංගම දුරකථන සේවා සපයන සමාගමක ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග පැවසුවේ පවතින තත්ත්වය හමුවේ එකවර දුරකථන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ප්‍රයෝගික ගැටලු මතුව ඇති බවය. පවතින කොරෝනා තත්ත්වය හමුවේ ජංගම දුරකථන සේවා සඳහා පවතින ඉල්ලුම ඉතාමත් සීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර ඒ සදහා අවශ්‍ය යටිතලපහසුකම් වර්ධනය ඉතා ඉක්මණින් කළ නොහැකි බව ඔහු සඳහන් කළේය.

එළවළු වෙළෙඳාම

මේ අතර දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථානයන්හි පැන නැගී තිබූ තත්ත්වයපසුගිය දා මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. රටේ සංචරණ සීමා නැවත වරක් පැනවීම නිසා නැවතත් තමන්ගේ අස්වනු විකුණා ගැනීමට නොහැකිව ඒවා විනාශවී ගිය බවට ගොවීහු මැසිවිලි නැගූහ.

මෙසේ තම අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවී ඇත්තේ ඒවා මිලදී ගැනීමට නිසි ක්‍රියාමාර්ගයක් තවමත් සකස් කිරීමට රජය අපොහොසත් වීම නිසා බව ගොවින්ගේ චෝදනාව ය.

දඹුල්ලේ ගොවින් පමණක් නොව රටේ අනෙක් පළාත්වල ගෝවීන් මුහුණ දෙන තත්ත්වය මෙයට වෙනස් නොමැති බව පෙනේනේ එම ප්‍රදේශයන් හි ගොවීන් මුහුණදෙන තත්ත්වය ද විමසා බැලීමේදීය.

"මම බඩ ඉරිඟු වගේම ගම්මිරිස් වගාවයි කරන්නේ. හැම අවුරුද්දෙම හොඳ සරු අස්වැන්නක් නෙලා ගන්නවා. අපි ගොඩාක් වියදම් කරලයි මේ ගොවිතැන් කරන්නේ. බඩ ඉරිඟු වලට සේනා දළඹුවෙක් ඇවිත් බොහෝම අමාරුවෙන් තමයි ගොවිතැන ආරක්ෂා කර ගත්තේ. එහෙම කරලා හදාගත්තු වගාවේ අස්වැන්න නෙලලා විකුණ ගන්න බැරි තත්ත්වෙකට අද පත්වෙලා. ඉරිඟු ටික මෝරන්න කලින් කඩා ගන්න ඕනි. ඒ වුණාට නගරෙ තියෙන පොළවල් වහලා නිසා මේ වෙනකොට ඵලදාව විකුණගන්න බැරිවෙලා තියෙනවා' වෙනදාට නම් පාර අයිනේ තියෙන අපේ කඩේ ඉස්සරහ ඉරිඟු තම්බලා විකුණනවා. නමුත් අද ඉරිඟු තැම්බුවට කන්න මිනිස්සු නැහැ. අපිට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා," යනුවෙන් ගොවිමහතෙකු වන ඩී.එම්. පුංචිබණ්ඩා පැවසීය.

මේ වන විට පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් දැඩි අසීරුවකට ලක්ව ඇති බව නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් පිරිස ද පැවසූහ.

"බඩු වල මිල ඉතා දුර්වලතාවයේ තමා තියෙන්නේ. ගොඩක් අඩු වෙලා තියෙන්නේ මිල. ඔක්කොගෙම වගේ මිල අඩුයි. වෙළෙන්දොත් නැ විකුණගන්නත් බෑ. ගොවියෝ ඔක්කොම අසරණ වෙලා වෙළෙන්දොත් අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවේ." එළවලු ව්‍යාපාරික ශාන්ත නිහාල් පැවසීය.

ශාන්ත නිහාල් කියා සිටියේ ගොවීන්ගේ එළවලු මිලදී ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙලක් තිබිය යුතු බවය. එසේ නොමැති නම් සිය අස්වනු විකුණාගත නොහැකි වීම නිසා ඉදිරි කන්නවලදී ගොවීන් ගොවිතැනින් ඉවත්වීමෙන් රට ආහාර හිඟයකයට මුහුණ දිය හැකි බවය.

"දැන් බඩු විකුණන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. කෝවිඩ් 19 තත්ත්වය අනුව අපෙන් බඩු ගන්න වෙළෙන්දෝ එන්නේ නැති තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ගොඩක් ආර්ථික (මධ්‍යස්ථාන) වහලා දැනට. අනිත් එක අරන් යන එළවලු ටික වෙළෙන්දන්ට විකුණ ගන්න බැරි නිසා අද දවසේ එන වෙළෙන්දා පහුවදා එන්නේ නැහැ. අපි දැක්කා රටේ ප්‍රදේශ කීපයක එළවලු මිලදී ගන්න රජයෙන් වැඩපිළිවෙලක් කරලා තියනවා. අපේ රටේ අපිට තියෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල. අපි ගැන කිසි දවසක හොයලා බලලා නැහැ .මාධ්‍ය උනත් කතා කරන්නේ දඹුල්ල ගැන විතරයි . ඒ නිසා රජය වුණත් බලන්නේ දඹුල්ල ගැන විතරයි." යනුවෙන් මොහොමඩ් ඉර්ෂාඩ් පැවසීය.

මාළු වෙළදාමට ඇති බලපෑම

රටේ ප්‍රධාන මත්ස්‍ය වෙළෙඳපොළ අතර හලාවත මත්ස්‍ය වෙළෙඳපොළට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. විවිධ ප්‍රදේශවලින් මාළු මිලදී ගැනීම සඳහා බොහෝ පිරිසක් හලාවතට පැමිණෙන අතර රටේ ප්‍රදේශ රැසකින් හලාවත මාළු වෙළෙඳපොළට තොග ලැබෙයි.

හලාවත මාළු වෙළෙඳපොළේ පැරණිම සාමාජිකයකු වන හැටහය හැවිරිදි ප්‍රේමරත්න රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසුවේ පවතින තත්ත්වය හමුවේ සිය රැකියාවට "ආයුබෝවන් කීමට" සුදනම්ව සිටින බවකි.

"මේ ගමේ මිනිස්සු විතරයි එන්නේ. පිට මිනිස්සු එන්නේ නෑ. පිට අයට එන්නේ වෙළෙන්දො පමණයි. ඉතින් ඒක හින්දා වෙළෙඳාම හොදටම අඩපණ වෙලා තියෙන්නේ. ගමේ මිනිස්සු එන්නේ යන්නේ බොහොම අමාරුවෙන්. තව එකක්, පිටින් එන්නේ අයිඩින්ටි නොම්බරේ හැටියට." යනුවෙන් ඔහු පැවසිය.

"කොරෝනා වලට පෙර දවසකට අපි සැලකියයුතු මුදලක් හොයා ගත්තා. දැන්නම් රුපියල් හාර පන්සියක් හොයා ගන්නේ අමාරුවෙන් . මිනිස්සු මාළු ගන්න එන්නේ නැහැ. ධීවරයෝ මුහුදු යාම අඩුකරලා. මිනිස්සු අයිඩින්ටි නම්බර් එක විදියට තමා එන්නේ. මාලු ගණන් හින්දා ගන්නෙත් නෑ. විකුණගන්නත් අමරුයි. එක දවසක් එන කෙනා අනෙක් දවසේ එන්නේ නැහැ." මාළු අලෙවියේ නිරත 43 හැවිරිදි ආර්. එම්. සුසන්ති පැවසුවාය.

වසර පහළොවක පමණ කාලයක් හලාවත මත්ස්‍ය වෙළෙඳපොළේ රැකියාවේ නියුතු හතලිස් හත් හැවිරිදි සුභාෂිනී දම්මිකා ප්‍රනාන්දු පවසන තත්ත්වය ද ඊට වෙනස් නැත.

"අයිඩෙන්ටි සාස්තරේ මෙහෙ මිනිස්සු දන්නේ නැහැ. ඉරට්ට ද මොකද්ද ඒක දන්නෙත් නැහැ. ටී වී එක බලද්දී පිස්සු හැදෙනවා. අපිට ඕවා තේරෙන්නේ නැති නිසා මිනිස්සු එලියට බහින්නේ නැතුව සම්බෝලයි බතුයි කාලා හරි ගේ ඇතුළට වෙලා ඉන්නවා.

කොරෝනා තත්ත්වය හමුවේ වෙළෙඳුන් පමණක් නොව බහුතර සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත්ව සිටිති.

"මම දැන් අවුරුදු 30ක් විතර කරන්නේ ත්‍රීවීල් රස්සාවයි. බිරිඳ සහ දරුවන් දෙදෙනා ජීවත් කරවන්නේ මේ රස්සාව කරලයි. පහුගිය කාලේ උදේ පාක් එකට ගිහින් හවස් වෙද්දී අපි ගෙදර ආවේ බොහෝම සතුටින්. මට හොඳට හයර් තියෙනවා. ඉතින් වාහනයේ ෆිනෑන්ස් ගෙවන්න. දරුවන්ගේ අධ්‍යාපනයට උදවු වෙන්න වගේම දරුවන්ගේ හා බිරිඳගේ වගේම මගේ අවශ්‍යතාවයන් හොඳින් කරගත්තේ මේ ත්‍රීවීල් රස්සාවෙනුයි," රංජිත් වීරසිංහ බීබීසී සිංහල සේවය සමග පැවසීය.

"නමුත් දැන් අවුරුදු දෙකක විතර ඉඳලා අපි පුදුම කරදරේකයි වැටිලා ඉන්නේ. වාහනේ ෆිනෑන්ස් ගෙවන්න විදිහක් නැහැ. මේ කොරෝනා වසංගතය කවදා ඉවර වේදැයි හිතාගන්නවත් බැහැ. අපේ පාලකයින්ගේ ඉඳලා බොහෝ දෙනෙක්ගේ වැරදි හින්දා අද ගොඩාක් මිනිස්සු දුක් විඳිනවා. වෙනදා වගේ අද හයර් නැහැ. තුන් දෙනෙක්ව වාහනේ දාගෙන යන්න බැරි එකත් අපිට බලපානවා. මේ දවස්වල ඔත්තේ ඉරට්ටේ අංක වලටයි නගරෙට යන්න වෙලා තියෙන්නේ'. මේ කිසිම දෙයක් බඩ දන්නේ නැහැ. බඩගින්න හැම ගින්නකටම වඩා ලොකුයි."

මේ අතර රජය පවසන්නේ වර්තමානයේ පවතින තත්ත්වය රටේ සාමන්‍ය තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක වන ස්වභාවයට සම කළ නොහැකි බවය.

රජය විසින් කොරෝනා පළමු රැල්ලේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කොට තිබුණු අතර මෙවරද එලෙසම නැවත වතාවක් ගොවීන් ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රම වේදයක් සකස් කොට තිබූ බව කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේය. එමෙන්ම කෘෂි කර්මාන්ත, වැවිලි කර්මාන්ත හා ආහාර වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවාහනය ඇතුළු කරුණුවලට නිදහස ලබා දෙමින් අදාළ ක්‍රමවේදය සකස් කොට තිබෙන බව ඔහු කියා සිටියේය.

"හැබැයි මේ වතාවේදී අපි කියන්න අවශ්‍යයි පළමුවෙනි වතාවට වඩා ඒ ජංගම වෙළෙඳ මහතුන්ගේ සහ ඒ ව්‍යාපාර වල නිරත වෙච්ච අයගේ උනන්දුවෙ අඩු කමක් තිබුණා. අපි විශ්වාස කරනවා මේ වතාවේ නැවත වතාවක් ඒ තත්ත්වය ඇතිවෙයි කියලා. නමුත් අපි ඒ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. කෘෂි කර්මාන්ත අමාත්‍යංශය එකට මැදිහත් වෙනවා ඒ වගේම තමයි ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳසල් හරහා ආහාර ලබාදෙන්නටත් එක ගමකට අවම වශයෙන් වෙළෙඳසල් දෙකක් විවෘතව කොට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට අවශ්‍ය පහසුකම් සකස් කොට තියෙනවා." යනුවෙන් ඔහු පැවසීය.

තවත් තොරතුරු;