ඩලස්,රනිල්,අනුර කුමාර ජනපති සටනට;සජිත් නාමයෝජනා නොදෙයි

මේ වන විට සියලු ශ්‍රී ලාංකිකයින් දැඩි උනන්දුවකින් බලා සිටින රටේ මීළඟ ජනපති සටනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නම් අද (ජූලි 19) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී යෝජනා ස්ථිර විය.

ඒ ඩලස් අලහපෙරුම, රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායකයි.

විනාඩි 10ක් පැවතී පාර්ලිමේතු සභා වාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩලස් අලහපෙරුමගේ නම ජනපතිධුරය සඳහා යෝජනා කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් එම යෝජනාව ස්ථිර කළේය.

පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී මනුෂ නානයක්කාර විසිනි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ නම යෝජනා කළ අතර මන්ත්‍රීනි හරිනි අමරසූරිය එම යෝජනාව ස්ථිර කළාය.

මේ අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම් පැවසුවේ ජනපති ධුරය සඳහා එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා වී ඇති නිසා ඡන්ද විමසීම ජූලි 20 වන බදාදා පැවැත්වෙන බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුව ජූලි 20 වන බදාදා උදෑසන 10 දක්වා කල් තබන ලදී.

පාර්ලිමේන්තු සභාව ආරම්භයට පෙර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ "මා ආදරය කරන මගේ රටේ සහ මා ආදරය කරන ජනතාවගේ යහපත වෙනුවෙන් මම මගේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගනිමි. ඩලස් අලහපෙරුම ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය, අපගේ සන්ධානය සහ අපගේ විපක්ෂ හවුල්කරුවන් දැඩි ලෙස ක්‍රියා කරනවා." යනුවෙනි.