ජූලි 19 සහ 20 වන දින පාර්ලිමේන්තුවේ සිදු වෙන්නේ කුමක්ද?

මහජන උද්ඝෝෂණ හමුවේ රටෙන් පලාගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර පුරප්පාඩුවූ එම තනතුර සඳහා නව ජනපතිවරයකු තෝරාපත්කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇත. ඒ සඳහා ජූලි 19 හා 20 වැනිදා යොදාගෙන ඇති බවට පලිමේන්තුවේ මහලේකම් වරයා පසුගියදා පැවසීය.

මෙරට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබදව මීට පෙර එක් අත්දැකීමක් තිබුණත් මෙවර එම ක්‍රියාවලිය විශේෂත්වයක් ගෙන තිබේ. මීට පෙර 1993 වසරේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ අභාවය නිසා එවකට වැඩබලන ජනාධිපති ඩී.බී විජේතුංග; ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය සදහා තේරී පත් වූයේ ඒකමතිකවයි. එනම් ඡන්ද විමසීමක් නොමැතිවයි.

නමුත් මෙවර අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන බව දැනටමත් පවසා ඇති නිසා එසේ වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවන බවට පාර්ලිමේතු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට නවමු අත්දැකීමක් වනු ඇති බවට ඔවුන් පවසයි.

ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපතිධුරය හිස් වුවහොත් පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටියට අදාළ කරුණු දක්වා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 1981 අංක 2 දරන ජනාධිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත මඟිනි.

ජූලි19 වැනිදා සිදුවන්නේ කුමක්ද?

  • ජනාධිපතිධුරය පුරප්පාඩු වී ඇති බව නිවේදනය කිරීමේ සිට පැය 48කට (දින දෙකකට) කලින් නොවන එමෙන්ම දින හතකට පසු නොවන දිනයක මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවෙන් නාම යෝජනා භාරගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතුයි.
  • මේ නිසා 19 වැනි අඟහරුවාදා උදෑසන 10.00 ට පාර්ලිමේන්තුව රැස්වී නාම යෝජනා භාරගැනීම කළ යුතු බව මහලේකම්වරයා සභාවට පසුගිය 16 වැනි සෙනසුරාදා දන්වා සිටියේය.
  • මේ අනුව 19 වැනිදා වෙන් වන්නේ ජනාධිපතිධුරය සදහා නාම යෝජනා භාරගැනීම සදහා පමණි.
  • නාම යෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන නිලධාරියා හෙවත් තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයායි.

නාමයෝජනා බාරදෙන්නේ කෙසේද?

  • පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා තෝරාපත් කර ගනු ලැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයෙකුම තමා විසින් එසේ යෝජනා කිරීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරයා තේරී පත්වුනොත්, ජනාධිපති ධුරයෙහි සේවය කිරීමට එම මන්ත්‍රීවරයා කැමති බවට ලිඛිත එකඟත්වය කලින් ලබාගත යුතුයි. එම නිසා එහි පිටපතක් නාම යෝජනා භාරගනු ලබන 19 වැනිදා මහලේකම්වරයාට භාර දිය යුතුයි.
  • එමෙන්ම පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා යම් මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයෙකු වශයෙන් තෝරා පත්කර ගැනීමට දක්වා ඇති නුසුදුසුකම් පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය වේ.
  • ඒ අනුව එදින මන්ත්‍රීවරයෙක් මහලේකම්වරයා අමතමින් වෙනත් මන්ත්‍රීවරයෙක්ව ජනාධිපතිධුරයට යෝජනා කළ යුතුයි. එසේ යෝජනා කරන මොහොතේ තමා එසේ යෝජනා කරන මන්ත්‍රීවරයා සභා ගර්භයට පැමිණ සිටීම අත්‍යවශ්‍ය වන අතර ඊට පසු ඒ යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථීර කළ යුතුවේ. මේ පිළිබඳව වාද විවාද කිරීමට කිසිම අවසරයක් නැත.

එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා වුවහොත් ?

යම් ආකාරයකින් එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා කර; ස්ථීර කළහොත්, එම මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරනු ලැබ තිබෙන බව එදිනම මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි. ඒ අනුව මෙම කටයුත්ත ඉන් අවසන් වෙයි.

1993 දී ඩී.බී විජේතුංග ජනාධිපතිවරයා පත්වුනේ මේ ආකාරයටයි.

එසේ නොමැතිව එක් මන්ත්‍රීවරයකුට වඩා වැඩි දෙ‍නෙකුගේ නම් යෝජනා කොට ස්ථීර කළහොත් නාම යෝජනා භාර ගැනීමේ වේලාවෙන් දින දෙකකට පසුව නොවූ දිනයක ඡන්ද විමසීම පැවැත්විය යුතුයි.

ජූලි 20 වැනිදා සිදුවන්නේ කුමක්ද?

  • ඒ අනුව ජූලි 19 වැනිදා නම් දෙකක් හෝ කිහිපයක් යෝජනා වුවහොත් 20 වැනිදා වෙන් වන්නේ ඡන්ද විමසීම පවත්වා ජනාධිපතිවරයා තෝරා ගැනීමටයි.
  • මෙහිදීත් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කරයි.

ඡන්ද විමසීම පැවැත්වෙන්නේ කෙසේද?

  • ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර තේරීම්භාර නිලධාරියා විසින් හිස් ඡන්ද පෙට්ටිය හෝ හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තැබීම ( සීල් කිරීම) සිදුකරයි.
  • මෙම ඡන්ද විමසීමේදී කථානායකවරයාටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවීම විශේෂත්වයකි.
  • මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහලේකම්වරයා, කථානායකවරයා ඇතුළු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලබයි. එවිට එම මන්ත්‍රීවරයා තේරීම්භාර නිලධාරියා ගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගත යුතුයි. එවිට එම මන්ත්‍රීවරයා ඉදිරියේදීම තේරීම්භාර නිලධාරියා ඡන්ද පත්‍රිකාවේ පසුපස තම මුලකුරු සමඟ කෙටි අත්සන යෙදීම සිදු කරයි.
  • ඉන්පසු ඡන්ද පත්‍රිකාව ලබාගත් මන්ත්‍රීවරයා සභාගර්භයේ මැද සකස් කර ඇති කුටියට ගොස් ඡන්ද පත්‍රිකාව ලකුණු කොට තේරීම් භාර නිලධාරියාගේ කෙටි අත්සන පෙනෙන ලෙස නවා තේරීම් භාර නිලධාරියාගේ මේසය මත ඇති පෙට්ටියට දැමිය යුතුය.

ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්නේ කෙසේද?

  • එක් මන්ත්‍රීවරයෙකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි "1" යන ඉලක්කම යොදා ඡන්දය සළකුණු කළ යුතුය.
  • අපේක්ෂකයින් කිහිපදෙනෙක් සිටින විට මනාප සළකුණු කිරීමටද අවස්ථාව පවතී. ඒ අනුව ඉදිරිපත්වී ඇති අපේක්ෂකයන් ගණන අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2,3 ආදී ලෙස මනාපයන් අනුපිළිවෙල අනුව ලකුණු කිරීමට හැකිය.
  • මෙහිදී මන්ත්‍රීවරයෙකු අතින් අතපසුවීමක් සිදුව ඡන්ද පත්‍රිකාවක් ලකුණු කිරීමකදී වැරදීමක් සිදුවුවහොත් (පනතේ මෙය සදහන් වන්නේ, මන්ත්‍රීවරයෙතු විසින් අනවධානයෙන් ඡන්ද පත්‍රිකාවක් නරක් කරන ලද්දේ නම්... යනුවෙනුයි) එය තේරීම්භාර නිලධාරියාට ආපසු දිය හැකි අතර මේ පිළිබඳ තේරීම්භාර නිලධාරියා සෑහීමකට පත්වන්නේ නම් වෙනත් ඡන්ද පත්‍රිකාවක් ඔහුට දිය යුතුය. එසේම එම නරක් වූ ඡන්ද පත්‍රිකාව තේරීම්භාර නිලධාරියා විසින් නොපමාවම අවලංගු කළ යුතුයි.
  • නම අඬ ගැසූ විට ඡන්දය නොදුන් යම් මන්ත්‍රීවරයෙකුගේ නම ඡන්දය දීම අවසන් කළයුතු වෙලාවට පෙර දෙවන වරටත් අඬ ගසන අතර එහිදී ද එම මන්ත්‍රීවරයා ඡන්දය නොදී සිටී නම් ඔහු ඡන්දය දීමෙන් වැළකී සිටියා ලෙස සලකනු ලබයි.

ඡන්දය ගණන් කොට ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන්නේ කොහොමද?

ජයග්‍රහණය සදහා ඡන්ද 113 ක් ලබා ගත යුතුද?

  • ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් සටහන් කරනු ලැබූ මනාප සංඛ්‍යාව ගණන් කිරීම සිදුකරයි. ඡන්දය ගණන් කිරීම සිදුකරන ස්ථානයට යම් අපේක්ෂකයෙකු පැමිණීමට කැමති නම් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමිවන අතර එසේ නොමැතිනම් තමා නියෝජනය කිරීමට වෙනත් මන්ත්‍රීවරයකු එම ස්ථානයට යෑමට පත්කිරීමට එම අපේක්ෂකයාට හැකියාව පවතී.
  • දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව මෙහිදී තේරීම්භාර නිලධාරියා එනම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා නොපමාව ප්‍රකාශයට පත් කරයි.
  • දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකු ලබා නොමැතිනම්. එවිට අඩුම ඡන්ද සංඛාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කරයි. එසේ තරගයෙන් ඉවත් කළ අපේක්ෂකයාට පළමු මනාපය ලෙස ඡන්දය දුන් එක් එක් මන්ත්‍රීවරයාගේ තම දෙවන මනාපය ඇති නම් ඒවා අදාළ අපේක්ෂකයාට එකතු කිරීම සිදුකරයි.
  • එසේ සිදුකොටත් කිසිම අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ‍දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් ලබා ගෙන නොමැති නම් එක් එක් ගණනය කිරීමකදී අවම මනාප සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කරමින් දෙවන, තෙවන... යනාදී වශයෙන් මනාප ඉතිරි අපේක්ෂකයන්ට එකතු කරමින් ඡන්දය ගණන් කිරීම සිදුකරයි.
  • එසේ සිදුකොටත් කිසිම අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකක් ලබා ගෙන නොමැති නම් ඉහත පරිදි ගණන් කිරීම අවසානයේ බහුතර ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගත් බව තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කරයි.
  • එසේම අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට තේරීම් භාර නිලධාරියාගේ පරම අභිමතය පරිදි කුසපත් ඇදීමක් සිදු වේ.
  • එසේම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සිට දින තුනක් ඇතුළත අපේක්ෂකයාගේ නම මහලේකම්වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කළ යුතුයි.