තෙල් පෝලිමේ ගෙවෙන රියදුරන්ගේ ජිවිත:"මම දවස් තුනකට සැරයක් නානවා"

Pratheem, a 43-year-old minibus driver, is pictured waiting to fill his vehicle with petrol
ඡායාරූප ශීර්ෂ වැකිය, පෝලිමේ සිය ස්ථානය රැකගැනීම සඳහා පසුගිය සතියේ සිටම තමාට සිය රථය තුළ නිදාගැනීමට සිදුවූ බව මිනිබස් රථ රියදුරෙකු වන 43 හැවිරිදි ප්‍රතීම් පවසයි.

ඉල්ලුමට සරිලන ලෙස ඉන්ධන ආනයනය කළ නොහැකි තරම් වන ගැඹුරු ආර්ථික අර්බුදයකින් ශ්‍රී ලංකාව වෙලී සිටින බැවින්, ඉන්ධන සඳහා සෑදී ඇති ඉතා දීර්ඝ පෝලිම් සුලබ දසුනක් වී තිබේ.

කොළඹින් ආරම්භ වන එක් පෝලිමක් මුහුදු තීරය දිගේ කි.මී. 5ක් දක්වා දිගට ඇදී යයි. මේ වන විට පෝලිමේ ඉදිරිපසට ආසන්නව සිටින, මිනිබස් රථයක් පදවන 43 හැවිරිදි ප්‍රතීම් දින 10ක් පෝළිමේ සිට ඇත.

"පහුගිය බ්‍රහස්පතින්දා ඉඳලා මම වාහනේ නිදාගත්තේ," ඔහු ඉන්ධන පෝලිමේ සිට BBCයට පැවසීය. "හරිම අමාරු යි, ඒත් අපි මොනවා කරන්න ද... මට ෆුල් ‍ටෑන්ක් ගහගන්නවත් ලැබෙන්නේ නැහැ."

ප්‍රතීම් සංචාරක ප්‍රවාහනය සේවයේ යෙදෙන්නෙකි. මින්පෙර ඔහු සංචාරකයින් රට පුරා ගෙනගිය නමුත් දැන් ඔහුට වැඩිදුර ගමන්කළ නොහැකි බැවින් ගුවන්තොටුපළට මඟීන් ප්‍රවාහනය කිරීමට පමණක් සීමා වී සිටියි.

මෙතරම් කල් පෝලිමේ සිටිය ද ලැබෙන ඉන්ධන ප්‍රමාණයෙන් ඔහුට ගුවන්තොටුපළට ද යා හැක්කේ ගමන් වාර 3කි. අනතුරුව නැවතත් පෝලිමට පැමිණීමට ඔහුට සිදුවේ.

ප්‍රතීම්ගේ පුත්‍රයා හෝ සහෝදරයා පැමිණ ප්‍රතීම්ට නිවෙසට ගොස් ඒමට පැය කීපයක ඉඩක් සාදා දුන්න ද, පෝලිමේ සිටින බහුතරයට එය ද කළ නොහැකි ය.

ඔහුට පිටුපසින් පෙළගැසී ඇත්තේ පෞද්ගලික බස් රථ ගණනාවකි. කොන්දොස්තර ගුණේ සහ රියදුරු නිශාන්ත ජීවත්වන්නේ බොහෝ දුර බැහැර බැවින් ඔවුන්ට පොදු වැසිකිළි මත යැපීමට සිදුවී ඇත.

"මම දවස් තුනකට සැරයක් නානවා" ගුණේ කියයි. "මුත්‍රා කරන්න රුපියල් 20යි, නාන්න රුපියල් 80යි.

Guna, a bus conductor, and driver Nishantha are pictured inside a bus as they queue for petrol in Colombo
ඡායාරූප ශීර්ෂ වැකිය, බස් කොන්දොස්තර ගුණේට (වම්පස) සහ රියදුරු නිශාන්තට (දකුණුපස) ඉන්ධන පෝලිම්වල සිටිය දී පොදු වැසිකිළි මත යැපෙන්නට සිදුව තිබේ

'මේක හරිම භයානකයි'

ජනතාව ආහාර මිළ දැඩි ලෙස ඉහළයෑම නිසා ද පීඩාවට පත්ව සිටිති. මේ වන විට උද්ධමනය 50% ඉක්මවා තිබේ. පෝලිම් ඇරඹුණු දා සිට රට පුරාමත්, දේශපාලනයේත් කැළඹීම් දැකගත හැකි අතර, කෝපයට පත් විරෝධතාකරුවන් දහස් ගණනක් වීදි බැසීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පළායාමට සහ ඉල්ලා අස්වීමට සිදුවිය.

කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් සංචාරක කර්මාන්තය අඩාලවීම ද රටේ දරුණු ආර්ථික අර්බුදයට යම් වශයෙන් වගකිව යුතු නමුත්, බදු කපාහැරීම සහ රසායනික පොහොර හදිසියේ තහනම් කිරීම ඇතුළු රජයේ ව්‍යසනකාරී මූල්‍ය ප්‍රතිපත්ති මාලාවක් ඊට වැඩි වශයෙන් වගකිව යුතු බව විශ්ලේෂකයින් පවසයි.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත දැන් දැඩි සේ හීනවී ඇත - රටට ඉන්ධන සහ ඖෂධ මෙන්ම ඇතැම් ආහාරද්‍රව්‍ය ආනයනය සඳහා ද ගෙවීමට ඩොලර් අවශ්‍ය ය.

බස් කොන්දොස්තර ගුණේ පවසන්නේ එක් අවස්ථාවක විරෝධතාකරුවන් අගමැති නිල නිවසට බලහත්කාරයෙන් ඇතුළුවූ විට තමන් ද ඊට එක්වූ බව යි. "එයා ජීවත්වෙන හැටි දැකලා මම පුදුම වුණා," අගමැති නිවසේ වූ සුඛෝපබෝගී පුටුවක හිඳගත් විට දේශපාලන ප්‍රභූන් ගෙවන ජීවිතය හා සිය ජීවිතය අතර ඇති වෙනස තමාට දැණුනු බව ඔහු BBCය වෙත පැවසුවේ ය.

පෝළිමේ තවත් පිටුපසට වන්නට සිටියේ ඥාති සොහොයුරන් කීපදෙනෙකි. එක් අයෙකු මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන අතර අනෙකුන් බැංකුකරුවන් ය. ඔවුහු පෝලිමේ කල් ගෙවීමට "රොටේෂන්" ක්‍රමවේදයක් සකස්කරගෙන සිටිති. පිරිසෙන් අඩක් රැය ගෙවීමට නිවෙස් බලා යන අතර, ඉතිරි පිරිස සිය රථයන් පෝලිමේ ඉදිරියට ගෙනයාම සහ සොරුන්ගෙන් ඒවා ආරක්ෂාකර ගැනීම සඳහා මෝටර් රථවලම රැය ගෙවති.

"මේක හරි භයානක යි. මට ඒක වචනවලින් කියන්න බැහැ," එවන්ත BBCයට පැවසීය. ඒ අසල පිහිටි කැෆේවල හෝ මෝටර් රථය හිඳ සිය ලැප්ටොප් පරිගණකයෙන් රැකියා කටයුතු සිදුකිරීමට උත්සාහ දරන ඔහු පෝලිමේ පිරිස අතර පවතින සුහදත්වය ද අගය කරයි.

ඇතැමුන් පෝලිම්වල නිරන්තර රණ්ඩු දබර ඇතිවන බව කියූ නමුත් එවන්ත පවසන්නේ ජනතාව අතර සහයෝගීතාවක් ඇති බව යි. උදාහරණයක් ලෙස, අවට වෙළඳසැල් පෝළිම්වල සිටින්නන්ට සිය වැසිකිළි භාවිතා කිරීමට ඉඩ සලසන බව ඔහු පැවසීය.

මෙම සාමූහිකත්වය ඇතැම් අවස්ථාවල දී අපරාධකරුවන් අතර පවා පවතියි. "එකපාරක් මම කාර් එකේ නිදාගන්න ගියා මගේ සෙරෙප්පු එළියේ තියලා. මම ඇහැරෙනකොට සෙරෙප්පු දෙක නැහැ," එවන්ත BBCයට පැවසුවේ සිනහවකිනි. සොරා සිය කැඩුණු සෙරෙප්පු යුගල එවන්ත වෙනුවෙන් තබාගොස් තිබිණි.

අගමැති සහ වත්මන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ නව නායකයාවීමේ අපේක්ෂාවෙන් සිටීම පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයන් මෙන්ම එවන්ත ද සිටින්නේ දැඩි කෝපයෙනි.

"එයත් රාජපක්ෂ කෙනෙක්," පෝළිමේ සිටි යුනුස් මෙහිදී පැවසීය.

Sri Lanka fuel queue

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්ධන සඳහා විශාල පෝලිම් සෑදීම මේ වන විට ලංකාවට සාමාන්‍ය දසුනකි

'කාලය නාස්තියක්'

මේ සතියේ දී පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා ලෙස තෝරාගැනීමට බොහෝදුරට ඉඩ ඇති අපේක්ෂකයායැ යි දැනට සැලකෙන්නේ රනිල් වික්‍රමසිංහ ය. නමුත් විරෝධතාකරුවන් ඔහුව පිළිනොගන්නා බව අවධාරණය කර ඇති අතර තවත් දේශපාලනඥයන් ද ඊට එකඟ වෙමින් සිටියි.

ඒ කවුරුන් ධුරය භාරගත්ත ද මෙම ආර්ථික අර්බුදය විසඳීම දැවැන්ත අභියෝගයක් වනු ඇත. ණය ගෙවීම පමා කරගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇතිකර ගැනීම සහ වැඩිපුර ඉන්ධන ආනයනය එහි මූලික පියවර වේ.

රජය නව යෝජනා ක්‍රමයක් හරහා රියදුරන් ඩිජිටල් මාර්ගයෙන් ලියාපදිංචිකර සතියේ නිශ්චිත දිනවල දී පමණක් නිශ්චිත ඉන්ධන කෝටාවක් නිකුත් කිරීමට උත්සාහ දරයි. නමුත් රට යථා තත්ත්වයට පත්වීම සඳහා වසර ගණනාවක් ගතවනු ඇති අතර දුෂ්කර මූල්‍ය තීරණ රාශියක් ගැනීමට සිදුවනු ඇත.

ජීවිත රක්ෂණ ආයතනයක සේවය කරන්නෙකු වන චන්ද්‍ර පෝළිමේ අවසාන කෙළවරේ සිට ඊළඟ සතියත් සිය මෝටර් රථයේම ගෙවීමට සූදානම් වෙමින් සිටියි. ඔහු ළඟ පෙට්‍රල් ඉතිරිව ඇත්තේ යාන්තමින් නිසා පෝළිමේ ඉදිරියට යාමේ දී මෝටර් රථය තල්ලු කිරීමට ඔහුට සිදුවනු ඇත.

"මගේ කාලෙ නිකන් නාස්ති වෙනවා," ඔහු බලාපොරොත්තු සුන්වූ ලෙස BBCය වෙත පවසා සිටියේ ය.

key indicators of SL economy