ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉදිරි ගමන

ඡායාරූප මූලාශ්‍රය, EPA
ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වී රටින් පලා යාමෙන් පසු ශ්‍රී ලංකාව දේශපාලන හා ආර්ථික අවුලෙන් මිදීමට මේ වන විට මගක් සොයමින් සිටී.
රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස සිකුරාදා දිවුරුම් දුන් අතර ඔහුට එම භූමිකාව ස්ථිරවම භාර ගැනීමට ආණ්ඩු පක්ෂයේ සහාය ලැබෙමින් ලැබී තිබේ.
ඊයේ ඉරිදා දින රාත්‍රියේ ( ජුලි 17) නිකුත් කළ ගැසට් පත්‍රයකින් මේ වන විට රට තුළ හදිසි අවස්ථා තත්වයක්ද වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට ඇත.
ගෝඨාභය සිංගප්පූරුවට පලා යාමත් සමඟ කොළඹ අරගල භුමීය ආශ්‍රිතව සැමරුම් දිස් විය.
ශ්‍රී ලාංකිකයන් ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් උග්‍ර හිඟයකට මුහුණ දී සිටින අතර, මෙම ආර්ථික අර්බුදයට වැඩි දායකත්වයක් දක්වමින් එයට මුල පිරූවන් ලෙස රාජපක්ෂවරුන්ට දොස් පවරා තිබේ.
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු සිකුරාදා උදෑසන කොළඹ ව්‍යාපාරික ස්ථාන සහ වෙළඳසැල් නැවත විවෘත කළ නමුත් තවමත් ප්‍රධාන මාර්ගවල සොල්දාදුවන් දැකගත හැක.
ඒ සමඟම දහස් ගණන් ජනතාව ඉන්ධන පිරවුම්හල්වලින් පිටත දිගු පෝලිම්වල නැවතී සිටිති.
පාර්ලිමේන්තුවේ නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය සෙනසුරාදා ආරම්භ වූ අතර මන්ත්‍රීවරුන් ජූලි 20 වැනිදා ඡන්දය විමසීමට නියමිතය. මූලික හමුව පැවතියේ මිනිත්තු 13ක් පමණක් වන අතර, ගෝඨාභය එවූ ලිපිය එහිදී කියවන ලදී.
"අපි දැනටමත් මුහුණ දී සිටි ආර්ථික අර්බුදය මධ්‍යයේ පවා අපේ ජනතාව වසංගතයෙන් ආරක්ෂා කිරීමට මට හැකි වීම මට සතුටට කරුණකි," ඔහු එහි ලියා තිබුණි.
AFP පුවත් ඒජන්සියට අනුව, කොවිඩ් වසංගතය නිසා ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 16,500 කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඔහුගේ නිල කාලය තුළ රටේ නිල විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 7.5 (පවුම් බිලියන 6.3) සිට ඩොලර් මිලියන 1 දක්වා පහත වැටුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු, ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයකු පත් කිරීමට කඩිනමින් ක්‍රියා කරන බවට රනිල් වික්‍රමසිංහ පොරොන්දු විය.
"රටේ නීතියේ ආධිපත්‍යය සහ සාමය ස්ථාපිත කිරීමට මම කඩිනම් පියවර ගන්නවා. සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය මම 100%ක් පිළිගන්නවා. නමුත් ඇතැමුන් කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න උත්සාහ කරනවා," ඔහු පැවසීය.
ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් ඇති බැවින් රාජපක්ෂ පවුල සමඟ සමීප සබඳතා පවත්වන වික්‍රමසිංහට මන්ත්‍රීවරුන් සහාය දක්වනු ඇතැයි ඇතැම්හු පවසන නමුත් ඒ ගැන ඇත්තේ තවමත් දෙගිඩියාවකි
නමුත් ශ්‍රී ලංකාවේ මහජනතාව මෙය පිළිගන්නවා ද යන්න වෙනම කාරණයකි, මන්ද වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන බැවිනි.
පසුගිය සතිය ආරම්භයේදී, ආරක්ෂක අංශ සමඟ ගැටෙමින් හිටපු අගමැතිගේ පරිශ්‍රයට ජනතාව බලෙන් ඇතුළු විය.
රනිල් වික්‍රමසිංහට එරෙහිව විරෝධතා රැලියක් ඉදිරි දිනවලදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව එම අවස්ථාවේ උද්ඝෝෂකයෙකු වන මනුරි පබසාරි බීබීසීයට පැවසීය.
"ඔහුට ජනවරමක් නැහැ. [එයා] ප්‍රසිද්ධ රාජපක්ෂ ආධාරකරුවෙක්," ඇය වැඩිදුරටත් පැවසුවාය. "මම කියන්නේ නව ජනාධිපතිවරයා සහ නව අගමැති රාජපක්ෂවාදියෙකු නොවිය යුතුයි."

මේ අතර සිංගප්පූරුව පවසන්නේ බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභය ඔහු එහි පැමිණෙන විට දේශපාලන රැකවරණ ලබා දෙන්නැයි ඉල්ලා නොසිටි බවයි.
තම බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනෙකු සමඟ පැමිණි හිටපු ජනාධිපතිවරයාට තවදුරටත් රාජ්‍ය නායකයෙකු ලෙස නීත්‍යානුකූල මුක්තියක් නොමැත. එබැවින් ආරක්ෂිත රටක් සොයමින් සිටින ඔහුගේ තත්ත්වය දැන් වඩාත් අවදානම් මට්ටමක පවතී.
ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට පෙර ටික කලක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආරක්ෂක ආරංචි මාර්ග AFP පුවත් සේවයට පැවසීය.











