ශ්‍රී ලංකාව:විරෝධතාවන් ගැන ලෝකයට පැතිර ගිය ව්‍යාජ පුවත් පිළිබඳ විමසුමක්

Thousands of protesters broke through police barricades and stormed into the Prime Minister"s office on 13 July

ඡායාරූප මූලාශ්‍රය, EPA/CHAMILA KARUNARATHNE

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතාකරුවන් කොළඹදී අත්පත් කරගත් රජයේ ගොඩනැගිලි වලට අමතරව වෙනත් ගොඩනැගිලිද තම ග්‍රහණයට ගෙන ඇති බවට විදෙස් මාධ්‍යය මෙන්ම සමාජ මාධ්‍යය තුළ ව්‍යාජ ප්‍රකාශ පැතිරී තිබුණි.
    • Author, මේධාවී අරෝරා
    • Role, දුස් තොරතුරු විමර්ශන කණ්ඩායම, බීබීසී ලෝක සේවය

දශක කිහිපයක් තුළ ඇති වූ ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදය නිසා උත්සන්න වූ මහජන විරෝධතා අතර ජනතාව පසුගිය සතියේදී රජයේ ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක් අත්පත් කර ගත්හ.

කෙසේ වෙතත් ලිපිය ලියවෙන මොහොත වන විට ජනාධිපති ලේකම් කාර්යයාලය හැරෙන්නට අනෙක් සියලු ගොඩනැගිලි වලින් ජනතාව ඉවත්ව තිබේ.

අරගලකරුවන් ජනාධිපති නිල නිවසටත්, පසුව ජනාධිපති ලේකම් කාර්යාලයටත්, ඉන්පසුව අරලිය ගහ මන්දිරයටත් ඇතුළු වූ අතර පසුව ජුලි 13 වන දා අගමැති කාර්යාලය අත්පත් කර ගත්හ. එහෙත් තවත් වෙනත් අත්පත් කරගැනීම් පිළිබඳ සඳහන් නොමඟ යවනසුළු ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ ලෝකය වෙත පැතිර ගියේය.

ජාතික රූපවාහිනිය "අත්පත්කරගත් " බවට ප්‍රකාශයක් මෙන්ම විරෝධතාකරුවන් ශ්‍රී ලංකා මහ බැංකුවට කඩා වැදුණු බවට ද සඳහන් වීඩියෝවක් අපි දුටුවෙමු.

විරෝධතාකරුවන් ජාතික රූපවාහිනිය "අත්පත්කර ගත්තේ" නැත

පසුගිය බදාදා ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන ජාතික රූපවාහිනිය විරෝධතාකරුවන් විසින් අත්පත් කර ගත් බව වැරදියට වාර්තා කළේය.

සමහර සමාජ මාධ්‍ය පළ කිරීම්වල වැරදි ලෙස පළව තිබුණේ විරෝධතාකරුවන් ජාතික රූපවාහිනියේ විකාශන අයිතිය පවරාගෙන ඇති බවටයි.

බදාදා රූපවාහිනී පරිශ්‍රයේ සිදුවූයේ කුමක්ද යන්න තේරුම් ගැනීමට බීබීසී විසින් ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂකවරුන් සම්බන්ධ කර ගනු ලැබීය.

Misleading claim from news outlet says protesters took over national broadcaster in Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, විනාඩි 15 ක ගුවන් කාලයක් ලබා දුන් පසු විරෝධතාකරුවන් ජාතික රූපවාහිනී පරිශ්‍රයෙන් පිටව ගියහ

රූපවාහිනියේ සහකාර අධ්‍යක්ෂක සහ විදේශ ප්‍රවෘත්ති ප්‍රධානී ප්‍රසාද් කෞෂල්‍ය දොඩංගොඩගේ මහතාට අනුව විරෝධතාකරුවන් ඉල්ලීම් ලැයිස්තුවක් රැගෙන බදාදා පස්වරුවේ අනාරාධිතව පරිශ්‍රයට පැමිණියහ. ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂවරුන් සමඟ කළ සාකච්ඡාවකින් පසුව, ඔවුන්ට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන ලදී.

සම්මුඛ සාකච්ඡාවේදී එක් විරෝධතාකරුවෙක් නොමඟ යවන ප්‍රකාශයක් කළේ ය. ඒ, ජාතික රූපවාහිනිය මින් පසුව විකාශනය කරන්නේ අරගලයේ හෝ රජයට එරෙහි විරෝධතා ව්‍යාපාරයේ වැඩසටහන් පමණක් බවයි.

රූපවාහිනිය මෙයට දායක නොවන බව ප්‍රසාද් මහතා බීබීසීයට පැවසීය. විනාඩි 15ක ගුවන් කාලයක් ලබා දීමෙන් පසු විරෝධතාකරුවන් පරිශ්‍රයෙන් පිටව ගියහ. විකාශනය කෙටි කාලයකට අත්හිටුවා, පසුව නැවත ආරම්භ වූ අතර රූපවාහිනිය සුපුරුදු පරිදි වැඩසටහන් කරගෙන යනු ලැබීය.

ඒ වන විට, විරෝධතාකරුවන් ජාතික රූපවාහිනිය "අත්පත් කරගත්" බවට වන නොමඟ යවනසුළු ප්‍රකාශය මිලියන ගණන් අනුගාමිකයන් සිටින, ප්‍රවෘත්ති සපයන ප්‍රධාන පුද්ගලයන්/ආයතන විසින් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස පළ කර තිබුණි.

නැත, විරෝධතාකරුවන් ශ්‍රී ලංකා මහ බැංකුවට කඩා වැදුනේ නැත

මිලියන 1.5 කට අධික පිරිසක් නරඹා ඇති ට්විටර් වීඩියෝවක් පෙන්වා දුන්නේ විරෝධතාකරුවන් ශ්‍රී ලංකා මහ බැංකුවට කඩා වැදී ඇති බවයි. ස්වාධීන ප්‍රවෘත්ති ඒජන්සියකට අයත් යැයි කියන ගිණුමකින් මෙම වීඩියෝව පළ කර තිබුණි.

විරෝධතාකරුවන් විශාල පිරිසක් විශාල ගේට්ටුවක් විවෘත කර ගොඩනැගිලි පරිශ්‍රයකට ඇතුළු වන ආකාරය එහි තිබුණි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කළු ඇඳුමින් සැරසී, හෙල්මට් පැළඳ සිටි අතර, තවත් සමහරු ශ්‍රී ලංකා ධජය රැගෙන ප්‍රීති ඝෝෂා නගමින් සිටින අයුරු වීඩියෝවේ දැක්වේ.

නමුත් සත්‍ය වශයෙන් විරෝධතාකරුවන් මහ බැංකුවට කඩා වැදුනේ නැත.

Misleading claim says protesters stormed Sri Lanka's Central Bank
ඡායාරූප ශීර්ෂ වැකිය, මහබැංකුව පිහිටි මාර්ගයේ පිහිටි ගේට්ටුවක් කඩාගෙන විරෝධතාකරුවන් ආයතනයක් තුළට ඇතුළු වන අයුරු වීඩියෝවේ දැක්වුණ ද එහි මහ බැංකු ගොඩනැගිල්ල පෙනෙන්නට නැත.

බීබීසී ය මෙම වීඩියෝව හොඳින් විශ්ලේෂණය කළේය. එහි දැක්වෙන්නේ ජනාධිපති මාවතේ එනම්, මහ බැංකුව පිහිටි මාර්ගයේ පිහිටි ගේට්ටුවක් කඩාගෙන විරෝධතාකරුවන් පැමිණෙන ආකාරයයි.

එහෙත් විරෝධතාකරුවන් මහ බැංකුවට ඇතුළු වන අයුරු වීඩියෝවේ දක්නට නොලැබේ.

බීබීසී ය මෙය දේශීය මූලාශ්‍ර සමඟ සහ වොච් ඩෝග් නම් ශ්‍රී ලංකාවේ දත්ත පිරික්සුම් සේවාවක් මගින් තහවුරු කරගන්නා ලද අතර, කිසිදු විරෝධතාකරුවෙකු මහ බැංකුවට ඇතුළු නොවූ බව ඔවුන්ගේ කණ්ඩායම් සාමාජිකයින් තහවුරු කළ බව පැවසුණි.

ගූගල් මැප්ස් වලට අනුව ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ මහ බැංකුවේ සිට මීටර් 400 ක් දුරිනි.

මෙම සාවද්‍ය ප්‍රකාශය සමාජ මාධ්‍යවල පුළුල් ලෙස හුවමාරු විය. ට්විටර් සමාගම මේ සම්බන්ධව දරන අදහස දැනගැනීම සඳහා බීබීසී ය ඔවුන්ව සම්බන්ධ කර ගත් අතර, ඉන්පසු එම නොමඟ යවන ප්‍රකාශය සහිත ට්වීට් වලට ට්විටර් සමාගමේ ප්‍රතිපත්තිවලට අනුකූලව "ව්‍යාජ තොරතුරකි" යන ලේබලයක් එක් කරනු ලැබීය.