ආර්ථික අර්බුදය : ජූලි 9 මොකද වෙන්නේ?

විරෝධාතාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජූලි 09 මොකද වෙන්නේ? කා අතරත් ඇත්තේ කුතුහලයකි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් ජාතික විරෝධතා දිනයක් ලෙස හෙට (ජූලි 09 වැනිදා) රටපුරාම දැවැන්ත විරෝධතාවක් සංවිධානය වෙමින් පැවතීම හේතුවෙනි.

මහා සංඝ රත්නය, කතෝලික පූජකවරුන් ප්‍රමුඛ ආගමික පූජකවරුන්, දේශපාලන ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරමින් ඇත. "09 වැනිදා උදේ 9ට මුළු රටම කොළඹට" නමින් විරෝධතා සංවිධානය වෙමින් තිබේ.

ඒ අනුව මේ වන විටත් පවතින ඉන්ධන අර්බුදය හමුවේ පා පැදි, දුම්රිය සහ පාගමනින් ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට සංවිධාන ගතව විරෝධතාවට සහභාගී වීමට කොළඹට පැමිණීමෙන් තිබෙන බව වාර්තා වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සඳහා ජනතාව දැනුවත් කිරීම සහ සංවිධානය කිරීම උදෙසා පෝස්ටු සංසරණය වීම ආරම්භ වූයේ මීට දින කිහිපයකට පෙර සිටයි.

සමාජ මාධ්‍ය පොස්ටු

ඡායාරූප මූලාශ්‍රය, Social Media

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආරාධනයක්

මහා සංඝරත්නය ඊයේ (ජූලි 07) පස්වරුවේ පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.

ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ අඩංගු යෝජනා වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිමින් මහා සංඝරත්නය මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබ ඇත.

ඊට එක්වෙමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමි අවධාරණය කළේ, "බංකර් ජනාධිපතිට අපි කියනවා, නන්දසේන රාජපක්ෂට තමන්ගේ පොලීසිය යොදව ගෙන, තමන්ගේ හමුදාව දහස් ගණන් යොදවා ගෙන ඔය බංකරය ඇතුලට වෙලා වැඩි කලක් ඉන්න ලැබෙන්නේ නැහැ."

"නන්දසේන රාජපක්ෂ ජනාධිපතිවරයාට අපි කියනවා, ඔයා උදම් ඇනුව මහා සංඝරත්නය තමයි ඔය පුටුවේ ඉන්දුවේ කියලා. අද අපි කියනවා මේ ආරම්භ කරන අරගලයෙන් මහා සංඝරත්නය තමයි ඔයාව ඔය පුටුවෙන් ඇදලා එලියට දාන්නේ කියලා, බය නැතිව අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා." උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

මේ අතර ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන ලෙස බලකරමින් සෙනසුරාදා (ජූලි 9 වැනිදා) පැවැත්වෙන විරෝධතාවට ජනතාවට ආරාධනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පාපැදිවලින් නුගේගොඩ සිට විරෝධතා පෙළපාලියකින් බ්‍රස්පතින්දා කොළඹ මහජන පුස්තකාලය දක්වා පැමිණියේය.

රට මුහුණදී තිබෙන අවදානම් තත්ත්වය තුළ සියලු දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ඇතුළු සියලුම පුරවැසියන් සෙනසුරාදා ආරම්භ කරන විරෝධතා ව්‍යාපාරයට සහභාගි වන ලෙස ආරාධනා කරන බව එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවසීය.

මේ අතර 'ඉවසුවා ඇති" යන මැයෙන් හලාවත සිට කොළඹ බලා විරෝධතා පාගමනක් ජූලි 07 වැනි ආරම්භ කෙරිණ.

විරෝධතාවයට එක්වූ විරෝධතාකරුවෙකු ප්‍රකාශ කළේය. "අපේ ඉවසීමේ සීමාව ඉවරවෙලා තියෙන්නේ අපි එන්නේ ඔයාව යවන්න ගෝඨාභය කියලා අපි පැහැදිලිව කියනවා.අපි එන්න කලින් ඔයා යන්න."

අන්තරේත් අද කොළඹට

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයද "රෝද බඳිමු පන්නමු" නමින් අද කොළඹදී විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබේ.

ඒ සඳහා ඊයේ රාත්‍රී දුම්රිය හරහා ශිෂ්‍යයන් කොළඹට පැමිණෙන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත ඔවුන් විසින් එකතු කොට තිබුණි.

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙන් ශිෂ්‍යයන් කොළඹට පැමිණෙන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Wasantha Mudalige/ IUSF

සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නැහැ

සාමකාමී විරෝධතා සඳහා බාධාවක් නොමැති බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පවසයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය මෙන්ම, සාමකාමීව රැස්වීමට ඇති නිදහසට ශ්‍රී ලංකා පොලීසිය සෑමවිටම ගරු කරන බව ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය සහ පුද්ගලික දේපළවලට හානි කිරීමෙන් සහ නිත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පුද්ගලික සේවකයින්ට බාධා කිරීමකින් වැළකී තම මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීම සඳහා කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පොලීසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ජූලි 8 සහ ජූලි 9 යන දිනවල කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට විරෝධතාකරුවන් ඇතුලුවීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන්නැයි කොටුව පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ජූලි 07 වැනිදා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම ඉල්ලීම ඉදිරිපත් කරන කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ජූලි 8 සහ 9 යන දිනවල දේශපාලන පක්ෂ සහ සිවිල් ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ඇතුළු පිරිස් විසින් ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට ඇතුළු වී අයුතු ජන රාශියක් වශයෙන් කටයුතු කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

මේ බව සඳහන් රහසිගත බුද්ධි වාර්තාවක්ද කවරයක බහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ ප්‍රදේශයේ යම් අපරාධමය සිද්ධියක් ඇති වූවොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිසියට බලතල තිබෙන බව පෙන්වා දෙමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ මෙම ප්‍රදේශයේ ජනාධිපති මන්දිරයට අමතරව මූල්‍ය මරමස්ථාන, තරු පහේ හෝටල් සහ රාජ්‍ය ආයතන ගණනාවක් පිහිටා ඇති බවයි.

යම් හෙයකින් නීති විරෝධී ජන රාශියක් වශයෙන් විරෝධතාකරුවන් කටයුතු කළහොත් ඉන් මෙරට ආර්ථිකයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවිය හැකි බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේය.

උද්ඝෝෂණවල නිරත වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන මූලික අයිතිය පොලිසිය පිළිගන්නා බව කී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා නීති විරෝධී ජන රාශියක් මතු වීම වැළැක්වීම සඳහා පොලිසිය තහනම් නියෝගයක් අපේක්ෂා කරන බවට අධිකරණය හමුවේ පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් නීති විරෝධී ජන රාශියක් මතු වන්නේ නම් ඊට අදාලව කටයුතු කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95, 96 සහ 97 වගන්ති යටතේ පොලීසියට බලය තිබෙන බව අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන භාෂණයේ නිදහස නැමැති මූලික අයිතිය කප්පාදු කිරීම සඳහා අධිකරණය ආයුධයක් වශයෙන් භාවිතා කිරීමට පොලිසිය දරන උත්සාහය අනුමත කළ නොහැකි බව ද ජනාධිපති නීතිඥවරයා පැවසීය.

පොලිසිය ඉල්ලා සිටින තහනම නිකුත් කරනු ලැබූ වුවොත් ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන පුරවැසියන්ට නිදහසේ ගමන් බිමන් යාමට තිබෙන මූලික අයිතියද කප්පාදු වන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසිය සඳහන් කර තිබෙන ප්‍රදේශවල ආර්ථික මර්මස්ථාන පිහිටා තිබෙන බව අධිකරණය විසින් ද පිළිගන්නා බව පැවසීය.

කෙසේවෙතත් අදාළ ප්‍රදේශයේ යම් අපරාධමය සිද්ධියක් මතු වූවොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය ඇති බව පැවසූ මහේස්ත්‍රාත්වරයා පොලිසිය කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

එමෙන්ම පිටකොටුව ඕල්කට් මාවත පිහිටි ප්‍රදේශයට විරෝධතාකරුවන්ට ඇතුළුවීම වළක්වාලමින් ජූලි 06 වැනිදා නිකුත් කළ වාරණ නියෝගය සංශෝධනය කිරීමට ද අධිකරණය තීන්දු කරනු ලැබීය.

ඒ අනුව පූජ්‍ය පක්ෂයට පමණක් එම ප්‍රදේශයේ විරෝධතා පැවැත්වීම අවසර දෙන ලෙස අධිකරණය නියෝග කළේය.

හික්ෂුන් වහන්සේ පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය අදාළ වාරණ නියෝගය සංශෝධන කිරීමට තීන්දු කරන ලදි.

කොටුව දුම්රියපොළ අසළට රැස්වන්නැයි ආරාධනයක්

ගාලුමුවදොර අරගල භූමියේ අඛණ්ඩව රැඳෙමින් අරගලයට එක්ව සිටින ගරු ජීවන්ත පීරිස් පියතුමා කියා සිටියේ, "අපි සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට ආරාධනා කරනවා මෙම ශ්‍රී ලාංකීය නිදහස් අරගලයේ මේ පුරවැසිභායට සාක්ෂි දරන්න සියලු දෙනාම කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටට පැමිණෙන්න. කිසිම කුමන්ත්‍රණයකට තවදුරටත් ශ්‍රී ලංකීය පුරවැසියෝ රැවටෙන්නේ නැහැ."

"මෙය සාමකාමී අරගලයක්. අවිහිංසාවාදී අරගලයක්. ඒ නිසා පොදු දේපළ හානිකිරීම් සිදුනොවෙන ඒවගේම ගෝඨාභය රනිල් නැමති මේ දූෂිත ආණ්ඩුව පන්නා දැමීම පමණක් පෙරටු කොටගත් මේ මහා පුරවැසි අරගලය, බලගැන්වුණු මොහොතට හැමෝටම ආරාධනා කරනවා," ජීවන්ත පීරීස් පියතුමා අවධාරණය කළේය.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක අවදාරණය කළේ රනිල් - ගෝඨාභය කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පලවා හැරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවයි.

"එළඹෙන 09 වැනිදා ගෝල්ෆේස් අරගලකරුවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා, ජාතික විරෝධාතා දිනයක්. ඒ වෙනුවෙන් ඒකාබද්ධතා සහයෝගයක් ලබා දීම අපි හිතනවා අපෙත් වගකීමක් කියලා. ඒ නිසා දේශපාන ව්‍යාපාරයක් හැටියට 09 වැනිදා ගෝඨාභය පලවා හැරීම සඳහාත්, රනිල් - ගෝඨාභය කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පලවා හැරීම සඳහාත් ගෙන තිබෙන එම ජාතික විරෝධාතා දිනයට අපි අපේ පැත්තෙන් සහයෝගය ලබා දෙන්න සූදානම්."

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කළේ , "ජනාධිපතිවරයා යවන සටනට පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනා එක්කහු වෙන්න ඕනේ."

"අපි 09 වැනිදා රටේ ඉන්න සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා කොටුව ස්ටේෂන් එකට උදේ 10 වෙනකොට එන්න" ඇය ආරාධනා කර සිටියාය.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ අවධාරණය කළේ, 09 වැනිදා සටන ශක්තිමත් කිරීමට රටපුරා සියලු නගරවල සියලු මංසන්ධිවලට මෙන්ම කොළඹ කොටුවටත් එකතු වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බවයි.

"මේ අරගලය අවසන් කළ යුත්තේ, මේ ජයග්‍රහණය සහතික කරලාමයි. එතනින් එහා අපිට නැවතුමක් නැහැ." වසන්ත සමරසිංහ අවධාරණය කළේය.

හදිසියේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මක නැහැ

ජුනි 8 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කැලණියේ සිට කොළඹ බලා පැමිණි විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයට ධුර වලින් ඉවත් වන්නැයි බලකරමින් ජූලි 09 වැනිදා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වීමට නියමිතව තිබියදී පොලිස් මූලස්ථානය (ජූලි 08) රාත්‍රී 9 සිට නැවත දැනුම් දෙන තුරු බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7ක සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

එලෙස පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය නිත්‍යානුකූල නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය,නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු සංවිධාන විසින් කඩිනමින් නිවේදනය කොට තිබුණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල දුම්රිය ධාවනය නොකෙරෙන බව දුම්රිය සාමාන්‍යධිකාරිවරයා විසින් රාත්‍රියේ නිවේදනයක්ද නිකුත් කොට තිබුණි.

නමුත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ජුනි 8 වන දින රාත්‍රියේ පනවන ලද පොලිස් ඇඳිරි නීතිය ජුනි 9 වන දින උදෑසන 8ට ඉවත් කෙරෙන බව සඳහන් නිවේදනයක් මේවන විට නිකුත් කර තිබේ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ඒ අනුව මහජනතාව කොළඹ නගරයට දුම්රිය, බස්රථ, පා පැදි මෙන්ම පා ගමනින් තවදුරටත් පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ.

අරගලයේ හෙට දවස
අරගලයේ හෙට දවස