ජුනි 23 වනතෙක් පෙට්‍රල් නැහැ - ඉන්පසු අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන

Drivers wait in long queues at a petrol station in Colombo, Sri Lanka on June 18, 2022, due to fuel shortages amid the country's economic crisis.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

විනෝද ගමන් වැනි අත්‍යවශ්‍ය නොවන ගමන් සීමා කරන ලෙසත් හදිසි අත්‍යවශ්‍ය සේවා නොවන්නේ නම් ජුනි 23 වැනිදා දක්වා වන ඉදිරි දින කීපය තුළ පෙට්‍රල් පෝලිම් වෙත නොඑන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අමාත්‍ය කංචන විජේසේකර මෙම ඉල්ලීම සිදුකරන්නේ අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින් අද (ජුනි 20) සිට සති දෙකක් නිවසට වී රාජකාරී කිරීමට අවසර ලබා දී ඇති පසුබිමක ය.

බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගරවල ද, සෙසු පළාත්වල ප්‍රධාන නගරවල ද පිහිටි පාසල් මෙම සතිය තුළ නොපැවැත්වීමට රජය තීරණය කර ඇත.

රට තුළ ඉන්ධන බෙදා හැරීම හා පවතින ඉන්ධන සංචිත පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජුනි 23 වැනිදා පෙට්‍රල් නැවක් ද, ජුනි 24 වැනිදා ඩීසල් නැවක් ද ලබා ගැනීමට බලාපොරොත්තු වන බව යි.

එහෙත් මජනහ්ටව නොකඩවා ඉන්ධනහල් ඉදිරිපිට දිචු පෝලිම් වල සිටිනු අපට දල්ක්නට ලැබෙන අතර මේ වන විට ස්ථාන දෙකකදී පසුගිය දින දෙක තුළදී ඇතිවූ නොසන්සුන්තාවයන් හේතුවෙන් ආරක්ෂක අංශ අහසට වෙඩිතැබීමේ සිද්ධීන් දෙකක් වාර්තාවිය.

ඉන්ධන සංචිතවල තත්ත්වය

මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක තොග දිවයිනට ලැබී ඇති බවත් සපුගස්කන්ද පිරිපහදුවෙන් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 600ක් නිශ්පාදනය කෙරන බවත් අමාත්‍යංශය පවසයි.

පෙට්‍රල් සංචිත පහළගොස් ඇති අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4000 දක්වා පහත වැටී තිබේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8300 දක්වා අඩුව ඇත.

ලංකා IOC සමාගම සතු ඔක්ටේන් 92 පෙට්‍රල් සංචිත ප්‍රමාණය මෙට්‍රික් ටොන් 10000කි.

මීට අමතරව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 350ක් සපුගස්කන්ද පිරිපහදුවෙන් දෛනිකව නිශ්පාදනය වේ.

පොදු ප්‍රවාහනයට ප්‍රමුඛත්වය

ඉන්ධන නිකුත් කිරීමේ දී පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ ය.

දුම්රිය ධාවනය සඳහා දෛනිකව මෙට්‍රික් ටොන් 150ක ඉන්ධන අවශ්‍ය වන අතර, එම ඉන්ධන අවශ්‍ය පරිදි සපයා ඇති බවට ඔහු පවසයි.

ලංගම සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 600ක ඉන්ධන අඛන්ඩව ලබාදීමට සහ සියලු ලංගම ඩිපෝ සඳහා ඩීසල් ලීටර් ලක්ෂ 9ක් ලබාදීමට පියවර ගෙන තිබෙන බවට ඔහු පැවසීය.

අමාත්‍යවරයා දැනුම් දුන්නේ, සියලු පෞද්ගලික බස්රථ සඳහා ආසන්නතම ලංගම ඩිපෝව මඟින් ඉන්ධන සැපයීමට පියවර ගන්නා බැවින් වෙනත් පිරවුම්හල් වෙත නොයන ලෙස යි.

පාසල් බස් රථ, සේවක ප්‍රවාහන බස් සහ විදේශීය සංචාරකයින් ප්‍රවහන බස් හා වෑන් රථවලට ද ඩීපෝ මඟින් ඉන්ධන සැපයෙනු ඇති බවට අමාතයවරයා පැවසීය.

"අදින් පස්සේ කාටවත් කියන්න බැහැ පොදු ප්‍රවාහනය අඩාල වෙලා තිබෙනවා, එහෙම නැත්නම් කාර්යාලයට සේවා පහසුකම් සපයන ඒවා අඩාල වෙලා තියෙනවා, එහෙම නැත්නම් සංචාරකයින් ගෙනියන ඩීසල් බස් රථ, වෑන් රථ අපහසුතාවට පත්වෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේක නිරන්තරයෙන් සම්බන්ධීකරණය කරනවා. අපේ අමාත්‍යංශය හැටියට සහතික කරනවා අවශ්‍ය ඉන්ධන ටික ලබා දෙන්න," අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

වෘත්තීමය ත්‍රීරෝද රථ සඳහා ප්‍රාදේශීය සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පෝලීසිය එක්ව පූර්ණකාලීනව ධාවනය කරන ත්‍රිරෝද රථ හඳුනාගෙන නාම ලේඛනයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත් ඔවුන්ට ආසන්න බල ප්‍රදේශයේ පිරවුම්හලක් වෙන්කර දී ඉන්ධන සැපයීමට නියමිත බවත් ඔහු පැවසීය.

"ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි වෙන්න යන්න එපා. ඒක ප්‍රාදේශීය සභාව, ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ පොලීසිය එක්ව සකස් කරයි," අමාත්‍යවරයා කියා සිටියි.

"කළු කඩවලට මුදල් වෙන්කරන්න එපා. ඒකට උනන්දු වෙන්න එපා," ඔහු ඉල්ලීමක් ද සිදුකළේ ය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන

ඉහත සඳහන් කළ රථවාහන හැරුණුකොට අනෙකුත් සියලුම රථවලට සතියකට දින දෙකක් පමණක් වාහනයේ අංක තහඩුවේ සඳහන් අවසන් අංකය අනුව ඉන්ධන සැපයීමට යෝජනා වී ඇති බවට අමාත්‍යවරයා පැවසීය.

"උදාහරණයක් හැටියට ගත්තොත් සමහර විට 0 සහ 1, 2 අවසන් වෙන ඒවා සඳුදා සහ බ්‍රහස්පතින්දා දින වෙන්න පුළුවන්. 3, 4, 5 අවසන් අංක සහිත ඒවට අඟහරුවාදා සහ සිකුරාදා වෙන්න පුළුවන්. 6, 7, 8, 9 කියන ඉලක්කම්වලින් අවසන් වෙන ඒවා බදාදා, සෙනසුරාදා, ඉරිදා වගේ වෙන්න පුළුවන්. ඒක තමා අපි දැනට යෝජනා කරමින් ඉන්නේ," අමාත්‍ය විජේසේකර පැහැදිලි කළේ ය.

"මේකෙන් පෝලිම්වලින් තුනෙන් දෙකක් දෛනිකව ඉවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා."

වෛද්‍යවරුන් ඇතුළු හදිසි අත්‍යාවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ පොලිස් නිල රථවලට මෙම සතියේ සිට තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් සිකුරාදා දිනයේ ඉන්ධන ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදීමට අවධානය යොමු වී ඇතැ යි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඊට අමතරව විදුලිබල හා ජල සම්පාදන වැනි හදිසි බිඳවැටීම් සේවාවල නිරත වාහනවලට ද සීමාවන්ට යටත්ව එලෙස ඉන්ධන ලබාදීමට අවධානය යොමුවී ඇතැ යි ඔහු පැවසීය.

පිරිපහදුව යළි වැසෙයි ද?

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තත්ත්වය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 24 වැනිදා දක්වා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් බොරතෙල් තොග පවතින බව යි.

"තිබෙන තොග කළමනාකරණය කළහොත් සමහරවිට ලබන 28, 29 වෙනකන් පිරිපහදුව පවත්වාගෙන යා හැකියි," ඔහු පැවසීය.

ලබන 29, ජුලි 10 හා, ජුලි 14 වෙනිදා බොරතෙල් රැගත් නෞකා දිවයිනට ළඟා වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

"සමහරවිට දින තුනක පමණ විරාමයක් ගන්න වෙයි මේ තියන තත්ත්වය උඩ. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම විටක පිරිපහදුව වහලා කටයුතු කරන්න," ඔහු අවධාරණය කළේ ය.

පෙරවරුවේ විදුලි කප්පාදුවක් නැහැ

අද සිට පෙරවරු 7 - දහවල් 12 අතර කාලයේ දී විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කළේ ය.

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යංශය කළ ඉල්ලීමකට අනුව ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලට පහසුකම් සැලසීම සඳහා අදාළ කාලසීමාව තුළ විදුලි කප්පාදු නොකිරීමට තීරණය කළ බව යි.

කෙසේවෙතත් අද සිට, දහවල් 12 - රාත්‍රී 10.30 දක්වා දෙපැයකුත් මිනිත්තු 30ක දෛනික විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී ඇත.

ඉන්ධන බෙදා හැරීමට තවත් ඛණිජ තෙල් නිෂ්පාදන සමාගම්වලට ආරාධනා

ඛණිජ තෙල් නිෂ්පාදනය කරන රටවල ඛණිජ තෙල් සමාගම්වලට මෙරට ඉන්ධන කේෂත්‍රයට පිවිසීම සඳහා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ය.

"සිපෙට්කෝ පමණක් නොවේ, IOC පමණක් නොව තවත් ඉන්ධන නිෂ්පාදන සමාගම්වලට අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා," ඔහු නිවේදනය කළේ ය.

"මේක ඉතිහාසයේ ලංකාවේ තිබුණා. අපි ගත්ත වැරදි තීන්දුවක් තමා මේක තනි තෙල් ඒකාධිකාරයක් සඳහා තීන්දුවක් ගත්ත එක. IOC එක වගේම, IOC එක තව වර්ධනය කරනවා නම් ඔවුන්ටත් තව අවස්ථාව ලබා දෙනවා. අපි කොන්දේසියක් බවට පත්කර ගත යුත්තේ අඩුම තරමේ අවුරුද්දක කාලයක්වත් ණය ක්‍රමයක් යටතේ ඉන්ධන රටට ගේන්න කියලා."