මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ආර්ථිකයට දැක්වූ දායකත්වය ප්‍රස්ථාර 7කින්

මහින්ද රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ස්වාති ජෝෂි
    • Role, බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම

2019 නොවැම්බරයේ දී මහින්ද රාජපක්ෂගේ සොයුරු, ජනපති ගෝටාභය රාජපක්ෂ ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන විට, රට නව දැක්මකින් ඉදිරියට ගෙන යන බවට මහින්ද රාජපක්ෂ පොරොන්දු විය. පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ යෝජනා කළ ප්‍රධාන ප්‍රතිපත්ති 10 මඟින් 'ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක්' ද පොරොන්දු විය.

නව ආණ්ඩුව පත්වී තෙවසරකට පසු ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය, දශක ගණනාවකින් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය යි. සාමාන්‍ය ජනයා මේ වන විට ඉන්ධන හිඟය සහ උද්ධමනය සමග පොරබදිමින් සිටිති.

මහින්දගේ අගමැති ධුරකාලය තුළ ඔහුගේ ආර්ථික දායකත්වය නිර්ණය කිරීම සඳහා, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය, උද්ධමනය, ප්‍රේෂණ, වෙළඳ හිඟය, සංචාරක ඉපැයීම්, සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් වැනි ප්‍රධාන දර්ශක කිහිපයක් BBCය සමාලෝචනය කළේ ය.

වැඩිවන උද්ධමනය

Price inflation in Sri Lanka

මහින්දගේ ධුරකාලය ආරම්භයේ දී, ජාතික පාරිභෝගික භාණ්ඩ මිල දර්ශකයට අනුව ලංකාවේ උද්ධමනය 4.1%කි.

2020 පෙබරවාරි වන විට උද්ධමන ප්‍රතිශතයේ වාර්ෂික වෙනස්වීම 8.1% දක්වා ඉහළ ගියේ ය. මහින්දගේ ධුරකාලය අතරතුරේ වූ අඩුම උද්ධමන අනුපාතය (3.7%) 2021 ජනවාරි මාසයේ දී වාර්තා විය.

2021 සැප්තැම්බරයෙන් පසු උද්ධමන අනුපාතය වේගයෙන් ඉහළ නගින්නට වූ අතර, මේ වසරේ මැයි මාසය වන විට එය 39.1%කි.

විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ

Workers' remittances

2019 නොවැම්බර් මාසයේ දී මහින්ද අගමැතිධුරයට පත්වන විට විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 515.3ක් විය. 2019 නොවැම්බර් සහ 2022 අප්‍රේල් අතර සමයේ දී එහි උපරිමය පැවතියේ 2020 දෙසැම්බරේ සහ 2021 මුල් භාගයේ දී ය.

කෙසේ වෙතත්, මෙම වසරේ ප්‍රේෂණ වසර ආරම්භයේ සිටම අඩු මට්ටමක පැවති අතර, අවමය වූ ඩොලර් මිලියන 204.9 පෙබරවාරි මාසයේ දී වාර්තා විය. 2022 අප්‍රේල් මාසයේ දී ලැබුණු ප්‍රේෂණවල වටිනාකම ඊට පෙර වසරට වඩා 52%කින් අඩු ය. එම මුදල ඇ. ඩො. මිලියන 248.9කි.

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම

Sri Lankan Rupee vs Dollar

2019 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය පිහිටුවන විට ඇ.ඩො. 1ක් රුපියල් 179ක් පමණ විය. 2021 දෙසැම්බර් වන විට ඇ.ඩො. 1ක මිළ රු. 203 දක්වා ඉහළ ගියේ ය.

2022 මැයි මාසයේ දී, රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රුපියල තියුණු ලෙස පහත වැටුණි. මැයි 9 වෙනිදා ඩොලරය රුපියල් 365ට ඉහළගිය අතර, එය මහින්දගේ පාලන කාලය තුළ වාර්තා වූ ඉහළම අගය විය. දැනට ඇ.ඩො. 1ක අගය රු. 360කි. 2022 මැයි 9 දක්වා ගතවූ වසර තුළ දී ඇ. ඩොලරයට සාපේක්ෂව රුපියල 45%කින් අවප්‍රමාණය විය.

සංචාරක කර්මාන්තය

Earnings from tourism

2019 වසරේ සංචාරකයින් ලක්ෂ 20ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉන් 18.6%ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. සංචාරක කර්මාන්තයෙන් ලද ඉපැයීම් ඩොලර් මිලියන 3606.9ක් විය. මහින්දගේ ධුරකාලය තුළ උපරිම සංචාරක ඉපැයීම වූ ඩොලර් මිලියන 456ක්, 2019 දෙසැම්බර් මාසයේ දී වාර්තා විය.

කෙසේ නමුත්, කොවිඩ් වසංගතය නිසා 2020 මාර්තු 18 සිට සියලුම මඟී ගුවන් යානා සහ නැව් පැමිණීම් අත්හිටුවීම හා සංචාරක වීසා ලබාදීම නවතා දැමීමත් සමග 2020 මාර්තු මාසයේ දී සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 95.9 දක්වා පහත වැටුණු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2020 අප්‍රේල් සිට නොවැම්බර් දක්වා සංචාරක ඉපැයීම් කිසිවක් නොමැත.

2021 අගෝස්තු වන විට, ඉපැයීම් වැඩිවීමට පටන්ගත් අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී එහි උපරිමය වන ඇ.‍ඩො. මිලියන 233.3ට පැමිණියේ ය එහෙත් රටේ මේ වන විට පවතින ආර්ථික අර්බූදය හමුවේ නැවත සංචාරක පැමිණීම් පහත වැටෙමින් පවතින බවට දත්ත පෙන්නුම්කරයි.

වෙළඳ හිඟය

Sri Lanka's trade deficit

ආනයන සහ අපනයන යන ද්විත්වයම පහත වැටීමෙන් 2019 නොවැම්බර් මාසයේ දී (වාර්ෂික) වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස සංකෝචනය වුණි. 2019 නොවැම්බර් මාසයේ වෙළඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 800කට ආසන්න විය.

2009 අගෝස්තු මාසයෙන් පසු අඩුම මාසික හිඟය වාර්තා කරමින් 2019 ජුනි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 316ක හිඟයට සාපේක්ෂව, 2020 ජුනි මාසයේ දී වෙළඳ හිඟය ඇ.ඩො. මිලියන 161ක් දක්වා පහත වැටුණි.

2021 අගභාගයේ දී වෙළඳ හිඟය නැවතත් පුළුල්වීමට පටන්ගත් අතර, එය ඩොලර් මිලියන 1085 දක්වා ඉහළ ගියේ ය.

රජයේ ආදායම

Government Revenue

ආනයන අඩුකිරීම් හේතුවෙන් වක්‍ර බදුවලින් ලැබෙන ආදායම පහත වැටීම, සහ විශේෂයෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිගින් දිගටම පැවති දුර්වල ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් 2019 වසරේ දී රජයේ ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබුණි.

අලුතින් ක්‍රියාත්මක කරන ලද දේශීය ආදායම් පනත යටතේ ආදායම් බදුවල කැපී පෙනෙන වැඩිවීමක් සිදුවුව ද, වක්‍ර බදු ආදායම අඩුවීම එය ඉක්මවා ගියේ ය.

නව රජය පතිවිමත් සමග 2019 අග සිට ක්‍රියාත්මක කරන ලද බදු සංශෝධන, කොවිඩ්-19 වසංගතයේ බලපෑම සහ ව්‍යාපාර සහ පුද්ගලයින්ට ලබාදුන් බදු සහන යන හේතූන්හි එකතුවක් ලෙස 2020 වන විට රජයේ ආදායම 27.7%කින් පහත වැටුණි.

2021 දී රජයේ ආදායම මන්දගාමී වර්ධනයක් වාර්තා කළේ වාර්ෂික ප්‍රතිශතය 6.5%ක්, එනම්, රු. බිලියන 1,457.1ක් බවට පත් වෙමිනි.

භාණ්ඩ මිල

දිනපතා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සමාලෝචනය කිරීම සඳහා අපි මූලික අයිතම කිහිපයක් තෝරාගතිමු. පිටි, සීනි, ළූණු, තක්කාලි, පරිප්පු, කිරි, මාළු, පාන්, පොල්, පොල්තෙල්, අමු මිරිස්, සහ කහ කුඩු ඊට ඇතුළත් ය. වත්මන් මිල ගණන් 2019 නොවැම්බර් මාසය හා සසඳන ලදී.

වැඩිම මිල ඉහළ යාමක් පෙන්නුම් කෙරුනේ පරිප්පු සහ සහල්වලිනි. පරිප්පු මිල 436%කින් ඉහළ ගිය අතර සහල් මිල 142%කින් ඉහළගොස් ඇත.

භාණ්ඩ මිල